රතන සූත්‍රයේ නිධාන කථාව

පෙර දඹදිව වේසාලි නම් ඉතා සමෘද්ධිමත් නගරයක් විය. එහි රජවරු සත්දහස් සත්සිය සත්දෙනෙක් විසූහ. එපමණ ම යුවරජ ඇමති භාණ්ඩාගාරිකාහු ද විසූහ. බොහෝ මනුෂ්‍යයෝ ද විසූහ. සත්දහස් සත්සිය සතක් ප්‍රාසාද ද එපමණම කූටාගාර උයන් පොකුණු ද විය. එක් කලෙක ඒ නගරයට වැසි නො ලැබිණ. ගොවිතැන් පාළු විය. ආහාර හිඟයක් විය. සෑහෙන පමණට ආහාර නො ලැබීමෙන් බොහෝ දෙනා රෝගාතුර වූහ. දුප්පත්තු මැරෙන්නට වූහ. මළමිනී නගරය සමීපයේ ම දැමීම නිසා නගරයේ කුණප ගන්ධය පැතිරිණ. ඒ හේතුවෙන් බොහෝ අමනුෂ්‍යයෝ නගරයට ඇතුළු වූහ. එයින් වඩාත් මිනිස්සු මැරෙන්නට වූහ. අහිවාතක නම් වූ නපුරු රෝගයක් ද නගරයෙහි පැතිරිණ. රෝගභය අමනුෂ්‍ය භය දුර්භික්ෂ භය යන තුනෙන් නගරය විනාශ වන්නට විය.

නගර වැසියෝ රජු වෙත ගොස් දේවයන් වහන්ස දැන් මේ නගරය රෝග භය අමනුෂ්‍ය භය දුර්භික්ෂ භය යන උවදුරු තුනෙන් විනාශ වේගෙන යන්නේ ය. පෙර රජවරුන්ගේ කාලවලදී මෙබඳු විපතක් නො වීය. ඔබ වහන්සේගේ අධාර්මිකත්වය නිසා මේ විපත පැමිණියහ යි සිතම්හ යි කීහ. රජතුමා තමා අතින් සිදුවූ කිසි වරදක් නො දැක සන්ථාගාරයට ජනයා රැස් කරවා මාගේ අදමිටු කමක් ඇතිවේදැ යි විමසන්නට විය. මහජනයා ද රජුගේ වරදක් නුදුටූහ. රජුගේ දෝෂයක් නො දක්නා වූ ඔවූහු මේ විපත සන්සිඳවන්නේ කෙසේදැ යි කථා කළහ. එකල පූරණ කාශ්‍යපය, මක්ඛලීගෝසාලය, අජිතකේශකම්බලය, පකුධකච්චායනය, නිගන්ඨනාථපුත්තය, සඤ්ජය බෙල්ලට්ඨිපුත්තය යි “අපි බුදුම්හ” යි ප්‍රතිඥා කරන ශාස්තෲවරයෝ සදෙනෙක් දඹදිව විසූහ. ඇතැම්හු ඔවුන්ගෙන් කෙනෙකු මේ නුවරට පමුණුවා ගතහොත් මේ භය දුරු විය හැකි යයි කීහ. ඇතැම්හු දැනට බුදුන් වහන්සේ ලොව පහළව සව් සතුන්ගේ යහපත පිණිස දහම් දෙසන්නාහ. උන්වහන්සේ මහා සෘද්ධි ඇති සේක. මහානුභාව ඇතිසේක. උන්වහන්සේ මෙහි පමුණුවා ගත හොත් සියලු භය දුරු වනු ඇතැයි කීහ. බොහෝ දෙනා ඒ අදහසට එකඟ වී අප විසින් දූතයන් යැවුව හොත් උන්වහන්සේ මෙහි වැඩම කරනු ඇත්දැ යි කතා කළහ. බුදුවරයෝ අනුකම්පකයෝ ය. අප දූතයන් යැවුවහොත් උන්වහන්සේ පැමිණෙනු ඇතැයි අන්‍යයෝ කීහ. ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වැඩ වෙසෙති. බිම්සර රජ උන්වහන්සේට උවටැන් කරයි. සමහර විට බුදුන්වහන්සේට මෙහි වැඩම කිරීමට ඔහු ඉඩ නො දෙනු ඇතැයි ඇතැම්හු කීහ. එසේ නම් බිම්සර රජුට දන්වා යවා බුදුන්වහන්සේ මෙහි වැඩම කරවා ගනිමු යයි බොහෝ පඬුරු සහිතව ලිච්ඡවි රජුන් දෙදෙනෙකු සේනාව ද සමග බිම්සර රජු වෙත යැවුහ. ඔවූහු රජගහ නුවර බිම්සර රජු වෙත ගොස් පඬුරු දී කාරණය එතුමාට කියා බුදුන්වහන්සේ තමන්ගේ නගරයට එවන ලෙස කීහ. රජතුමා එය නො පිළිගෙන “එසේ නම් එය කර ගන්නා සැටි තෙපිම දැන ගනිව්” යයි කීය. එකල්හි ඔවූහු බුදුරදුන් වෙත ගොස් “ස්වාමිනි, අපේ නගරයට භය තුනක් පැමිණ ඇත්තේ ය. අප කෙරෙහි අනුකම්පා කොට නුඹ වහන්සේ එහි වැඩම කළ හොත් අපට ශාන්තියක් වන්නේය” යි සැල කළහ.

තථාගතයන් වහන්සේ ආවර්ජනා කරන සේක් එහි වැඩම කර රතන සූත්‍රය දේශනා කළ කල්හි වේශාලි නගරයේ භය සන්සිඳෙන බව හා එහි ආරක්ෂාව කෝටි ලක්ෂයක් සක්වළවල පිහිටන බවත් සුවාසූ දහසක් සත්ත්වයනට ධර්මාවබෝධ වන බවත් දැන ඔවුන්ගේ ආරාධනාව ඉවසා වදාළ සේක. බිම්සර රජු තථාගතයන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කිරීමේ ආරාධනාව ඉවසා වදාළ බව අසා උන්වහන්සේට වැඩම කරනු පිණිස නගරයේ සිට ගංගාව දක්වා පස් යොදුන් මග සමතලා කරවා යොදුනෙන් යොදුන විහාර කරවා වැඩමවීමට කාලය තථාගතයන් වහන්සේට දැන්වීය. තථාගතයන් වහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේ ද සමග මගට පිළිපන් සේක. රජතුමා මග මල් අතුරුවා මග දෙපස පුන්කලස් කෙසෙල් ගස් පිහිටවා කොඩි ඔසවා තථාගතයන් වහන්සේට සේසත් දෙකක් හා භික්ෂූන් වහන්සේට එක් එක් සේසත බැගින් ඔසවා තමාගේ පිරිවර ජනයා සමග සුවඳ මල් ආදියෙන් පුදමින් එක එක දිනක් එක් එක් විහාරයක බුදුරදුන් සහිත මහ සඟන වාසය කරවමින් මහ දන් දෙමින් මහත් වූ පෙරහරින් සංඝයා සහිත තථාගතයන් වහන්සේ ගංතෙර දක්වා වැඩම කරවා තථාගතයන් වහන්සේ ගඟින් එතෙර කරවනු පිණිස නැව් පිළියෙල කරමින් තථාගතයන් වහන්සේ ගංතෙරට පැමිණ ඇති බව විශාලා මහ නුවර රජුන්ට දන්වා යැවීය. ඔවුහු අපි ද්වීගුණ කොට තථාගතයන් වහන්සේට පුදමු යයි විසල් පුරයේ සිට ගංගාව දක්වා තුන් යොදුනක් මග සරසවා ගංතෙරට පැමිණියහ. බිම්සර රජතුමා පිළියෙල කරවූ නැවට නැග තථාගතයන් වහන්සේ එහි පනවන ලද බුද්ධාසනයෙහි වැඩහුන් සේක. රජතුමා තථාගතයන් වහන්සේ අනුව යන්නේ ගඟ දියට බැස ජලයෙහි කරවට දක්වා ගමන් කොට “ස්වාමිනි, ඔබ වහන්සේ වැඩම කරන තුරු මම මේ ගංතෙරම වෙසෙමි” යි සැළ කොට නැවතුණේ ය. යාත්‍රාව ගඟ දියෙහි ගමන් ගත්තේය. ගඟෙහිදී දෙවියෝ ද නාගයෝ ද තථාගතයන් වහන්සේට මහෝත්සවයෙන් පූජා පැවැත්වූහ. තථාගතයන් වහන්සේ පිළිගැනීම සඳහා ලිච්ඡවීහු ද කරවට තෙක් ගඟ දියට බැස ආහ. එකෙණෙහි සතර දිගින්ම මහ වැසි කළු නැග එන්නට විය. තථාගතයන් වහන්සේ ලිච්ඡවීන්ගේ බිම පා තබනු සමගම මහ වැසි වස්නට විය. ඒ ඒ තැන දන පමණට උකුල පමණට කරවට පමණට ජලය ගලායන්නට විය. මළකුණු සියල්ල පා වී ගියේය. මුළු පෙදෙස පිරිසිදු විය.

ලිච්ඡවීහු තථාගතයන් වහන්සේට සේසත් සතරක් ද භික්ෂූන්ට සේසත් දෙක බැගින් ද ඔසවමින් මහ පෙරහරින් යොදුනෙන් යොදුන තථාගතයන් වහන්සේ වාසය කරවමින් මහ දන් දෙමින් තෙදිනකින් තථාගතයන් වහන්සේ විසල් නුවරට පමුණුවා ගත්හ. තථාගතයන් වහන්සේ නගර ද්වාරයට පැමිණෙන කල්හි මහේශාක්‍ය දේවතාවෝ ද එහි පැමිණියහ. ඔවුන්ගේ පැමිණීමෙන් බොහෝ අමනුෂ්‍යයෝ නගරයෙන් ඉවත් වූහ. තථාගතයන් වහන්සේ නගර ද්වාරයේදී ම අනඳ මහතෙරුන් අමතා මේ සූත්‍ර ධර්මය උගෙන ලිච්ඡවි කුමරුවන් සමග විසල්පුර ප්‍රාකාරත්‍රය ඇතුළත ඇවිදිමින් පිරිත් කරන්න යයි මහානුභාව සම්පන්න රතන සූත්‍ර ධර්මය වදාළ සේක. ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ශෛලමය පාත්‍රයට පැන් ගෙන පිරිත් බෙණෙමින් පැන් ඉසිමින් මුළු නගරය සැමතැන ම සංචාරය කළහ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ පිරිත් ආරම්භ කෙරෙත් ම නගරයෙහි තැන තැන සැඟ වී ඉතිරි වී හුන් අමනුෂ්‍යයෝ ද පළා ගියහ. අමනුෂ්‍යයන් පළා යෙත් ම මිනිසුන්ගේ රෝග සුව විය. නිරෝග වූ මනුෂ්‍යයෝ ගෙවලින් නික්ම සුවඳ මල් ආදියෙන් තෙරුන් වහන්සේ පිදුහ. මහජනයා නගරය මැද රැස්වීම ශාලාව සරසා භාග්‍යවතුන් වහන්සේ එහි පැමිණ වූහ. භික්ෂු සංඝයා වහන්සේ ද එහි වැඩ සිටියහ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ ද සියළු නගරයෙහි ඇවිද පිරිත් කර නගරවාසීන් හා එහි පැමිණියහ. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ ද දෙදෙව්ලොව දෙවියන් හා එහි පැමිණ සිටියේය. තථාගතයන් වහන්සේ ඒ සමාගමයේදී රතන සූත්‍රය දේශනා කළ සේක. ඒ ගාථාවල ආඥාව කෝටි ලක්ෂයක් සක්වළ අමනුෂ්‍යයෝ පිළිගත්හ. දේශනාවසානයෙහි සකලෝපද්‍රවයෝම සන්සිඳුණා හ. මහජනයා සුවපත් වූහ. සවාසූ දහසක් සත්ත්වයනට ධර්මාභිසමය විය. මෙසේ පිළිවෙලින් තථාගතයන් වහන්සේ එහි දින සතක් ම ඒ සූත්‍රය දේශනා කළහ. දිනපතා ම ස්වාසූ දහස බැගින් සත්ත්වයෝ නිවන් දුටහ.