ඇමදීමේ අනුසස්

වන්දනාව සඳහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නො සළකා නො යා යුතුය. තමන් පැමිණි විට මලසුන්වල පරමල් ඇති නම් ඉවත් කළ යුතුය. මලසුන් අපවිත්‍ර වී ඇති නම් සෝදා පිරිසිදු කළ යුතුය. විහාරගෙය අපිරිසිදු වී නම් ඇමද පිරිසිදු කළ යුතුය. මිදුල් ඇමද පිරිසිදු කළ යුතුය. දාගැබ අවට බෝධිය අවට කසල ඇති නම් ඇමද ඉවත් කළ යුතුය. තණ හා වල් පැළෑටි වැවී ඇති නම් ඉවත් කළ යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමෙකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කරගත හැකි පින්කමෙකි.

ඇමදීමෙන් ලැබෙන බොහෝ අනුසස් සකිං සමජ්ජක ථෙරාපදානය, බෝධිසමජ්ජක තෙරාපදානය යන දෙක්හි දක්වා තිබේ. උපදින උපදින ජාතියේ අංග ප්‍රත්‍යංග සම්පූර්ණ වීම, උසමහතින් යුක්ත වීම, ශරීරය වර්ණවත් වීම, සම සිනිඳු වීම, ජනප්‍රිය වීම, දීර්ඝායුෂ්ක වීම, ශරීරය ශක්තිමත් වීම, බෝ කල් දුක් විඳින ජනයාට අප්‍රිය වන ලාදුරු පරංගි කඩුවේගන් වන හා නොයෙක් නපුරු කුෂ්ඨ රෝග ඇති නොවීම, සුදුකබර වායු ගෙඩි ඉණිගැට සුදුලප කළුලප කුරුළෑ අලුහන් තොල් අතුල් පතුල් පැලීම සම ඉරිතැලීම යන මේ රෝග නො හට ගැනීම ඇමදීමේ අනුසස් වශයෙන් විශේෂයෙන් කියා තිබේ.

ස්ත්‍රීන්ට, සත්පුරුෂයන්ට අපරාධ කිරීම, පරසන්තක වස්තුව පැහැර ගැනීම ආදී පව්කම්වලින් කුෂ්ඨ රෝගය හට ගන්නා බවත් කුෂ්ඨ රෝගියා මළ පසු එය භවාන්තරයට යන බවත් වෛද්‍ය ග්‍රන්ථවල කියා තිබේ. ගුණවතුන්ට අපරාධ කිරීමේ පවින් කුෂ්ඨ රෝගය හටගන්නා බව බුදුදහමෙහි ද කියා තිබේ. කෙතෙක් ප්‍රතිකාර කළ ද නිෂ්ඨාවට සුව නොවන කුෂ්ඨ රෝගයට සිද්ධස්ථානය ඇමද පිරිසිදු කිරීම හොඳ ප්‍රතිකාරයෙකි. කලක් එසේ කිරීමෙන් සමහර විට කුෂ්ඨ රෝගය නිෂ්ඨාවටම සුව වේ.

ඇමදීම කය පිරිසිදු වීමට පමණක් නොව සිත පිරිසිදු වීමට ද හේතු වන පින්කමෙකි. “මාගේ මේ ව්‍යායාමයෙන් මේ ස්ථානය පිරිසිදු වන්නාක් මෙන් ලෝභ - ද්වේෂ - මෝහ - මාන - දෘෂ්ටි - විචිකිත්සාදි කෙලෙස් කසළින් මාගේ සිත ද පිරිසිදු වේවා” යන අදහස ඇතිකර ගෙන ඇමදීම කළ යුතුය. එසේ කළ කල්හි ඇමදීමේ කුශලයෙන් චිත්තපාරිශුද්ධිය ද ලැබේ. චිත්තපාරිශුද්ධිය සත්ත්වයනට ඉතාම අවශ්‍ය දෙයකි. සත්ත්වයන් නොයෙක් පව්කම් කොට නැවත නැවත අපායෙහි උපදින්නේ ද චතුස්සත්‍යාවබෝධ කොට නිවනට නො පැමිණිය හැකිව සසර රැඳී සිටින්නේ ද සිතෙහි අපිරිසිදු බව නිසාම ය. චිත්තපාරිශුද්ධිය ලැබීමට කරන්නට ඇති හොඳම පින්කම සිද්ධස්ථාන පවිත්‍ර කිරීම ය.

පඤ්චානිසංස සම්මජ්ජනියා සකචිත්තං පසීදති පරචිත්තං පසීදති දෙවතා අත්තමනා හොන්ති, පසාදික සංවත්තනිකං පුඤ්ඤං උපචිනාති, කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.

(පරිවාර පාළි)

තේරුම:

ඇමදීමෙහි අනුසස් පසෙකි. තමාගේ සිත පහදී, අනුන්ගේ සිත පහදී, දෙවියෝ සතුටු වෙති, රූප ශෝභාව දෙන පිනක් රැස් කරයි. මරණින් මතු ස්වර්ගයෙහි උපදී.

මේ දේශනාව පිළිබඳ සමන්තපාසාදිකා නම් වූ විනය අටුවාවෙහි එන විස්තරය මෙසේ ය.

කටකන්දරවාසී ඵුස්සදේව තෙරණුවෝ සෑමළුව හැමද නිකමල් අතුලාක් මෙන් සමව පිහිටි වැලි ඇති සෑ මලුව බලමින් බුද්ධාලම්බණ ප්‍රීතිය උපදවාගෙන සිටියහ. එකල්හි මාරයා පර්වත පාදයේ උපන් කළු වඳුරෙක් මෙන් වී එහි පැමිණ ගොම විසුරුවා සෑ මළුව අපවිත්‍ර කර පළා ගියේය. එයින් තෙරුන් වහන්සේට අර්හත් ඵලයට නො පැමිණිය හැකි විය. දෙවන දවස ද තෙරුන් වහන්සේ මළුව ඇමද ප්‍රීතිය උපදවා බලා සිටින කල්හි මාරයා මහලු ගොන් වෙසකින් පැමිණ මළුව අපවිත්‍ර කර ගියේය. තුන්වන දින සෑමළුව ඇමද තෙරුන් වහන්සේ බලා සිටින කල්හි මාරයා කොරකුගේ වේශයෙන් පැමිණ පා අදිමින් ගොස් සෑ මළුව විරූප කළේය. එකල්හි තෙරුන් වහන්සේ මෙබඳු භයානක පුරුෂයෙකු යොදුනක් පමණ ඇති මේ ගොදුරු ගමෙහි දැක නැත. මොහු මාරයාවත්දෝ යි සිතා “නුඹ මාරයාදැ” යි ඇසූහ. “එසේය” යි පිළිතුරු දිණ. නැවත “ඔබ බුදුරදුන් දැක ඇත්තෙහිදැ” යි තෙරුන් වහන්සේ ඇසූහ. “එසේය” යි මාරයා පිළිතුරු දිණ. “මාරයා නම් මහානුභාව ඇතියෙක. ඔබට බලය ඇති නම් බුදුරදුන්ට සමාන ඇත්මභාවයක් මවන්න” යයි තෙරණුවෝ කීහ. “හිමියනි බුදුරදුන් වැනි ආත්මභාවයක් නො මැවිය හැකිය. එහෙත් තරමක සමාන ආත්මභාවයක් මවමි” යි කියා මරු බුද්ධ වේශය ගෙන තෙරුන් වහන්සේට පෙනී සිටියේය. තෙරුන් වහන්සේ මරු දෙස බලා බුද්ධ වේශයෙන් සිටිනා කල්හි කෙලෙස් සහිත වූ මොහු මෙතරම් හොබනේ නම් නික්ලේශී වූ තථාගතයන් වහන්සේ කොතරම් ශෝභමාන වන්නට ඇතිදැ යි සිතා බුද්ධාලම්බණ ප්‍රීතිය උපදවා විදසුන් වඩා අර්හත් ඵලයෙහි පිහිටියේය. ඒ බව දත් මාරයා “ඔබ විසින් රවටන ලද්දෙමි” යි කීය. තෙරුන් වහන්සේ “මාරය නුඹ වැනියන් රවටන්නේ කුමකටදැ” යි කීහ.

ලෝකන්තර විහාරයේ දත්ත නම් තරුණ භිෂුවක් ද චෛත්‍යංගණය හැමද බලා සිට ඕදාත කසින ධ්‍යානය ලැබ අෂ්ට සමාපත්තිය උපදවා විදසුන් වඩා සෝවාන් සකෘදාගාමී අනාගාමි යන ඵලත්‍රයට පැමිණියේ ය.

පරසිත් පැහැදීම:

තිස්ස නම් තරුණ භික්ෂුවක් දඹකොළ සෑ මළුව හැමද කසළ ඉවත කරන පැස අතින් ගෙන සිටියේ ය. එකල්හි තිස්ස දත්ත නම් මහ තෙර නමක් නැවකින් බැස අවුත් සෑ මළුව බලා ඇවිදින්නේ සිත දියුණු කළ කෙනෙකු විසින් අමදින ලද තැනක් බව දැන සතුටු වී තරුණ භික්ෂුවගෙන් ප්‍රශ්න දහසක් ඇසීය. තරුණ භික්ෂුව සියල්ල විසඳුයේය. එක්තරා විහාරයක තෙර නමක් සෑමළුව ඇමද තැබුයේය. යෝනක රටින් චෛත්‍යවන්දනාව සඳහා ස්ථවිරවරුන් සතර නමක් එහි පැමිනියහ. හැමද පිරිසිදු කර තිබූ සෑ මළුව දැක සිත පැහැදී එක් තෙර නමකට අටකපක් අතීතය සිහි කළ හැකි විය. එක්නමකට සොළොස් කපක් සිහි කළ හැකිවිය. එක් නමකට විසි කපක් සිහි කළ හැකි විය. එක් නමකට තිස් කපක් සිහි කළ හැකි විය.

දෙවියන් සතුටු වීම:

එක් විහාරයක භික්ෂුවක් සෑ මලුව හා බෝ මලුව ඇමද නෑමට ගියේය. දෙවියෝ මේ විහාරය කළ තැන් පටන් කිසි දිනෙක මෙසේ වත සම්පූර්ණ කොට ඇමදූ භික්ෂුවක් නො වීය යයි ප්‍රසන්නව මල් ගෙන භික්ෂුව එන මඟ බලා සිටියෝ ය. භික්ෂුව අවුත් ඔවුන් දැක “තෙපි කවර ගමකදැ” යි ඇසීය. “ස්වාමිනි අප මෙහි ම ය. මේ විහාරය කළ තැන පටන් මේ වන තුරු මෙසේ වත සම්පූර්න කොට ඇමදීම කළ අන් භික්ෂුවක් නැති නිසා අපි පැහැදී නුඹ වහන්සේට මල් ගෙන ආවෙමු” යි දේවතාවෝ කීහ.

රූප ශෝභාව ඇතිවීම:

පෙර අනුරාධපුරයෙහි විසූ අභය තෙරුන් වහන්සේ ගේ රූප ශෝභාව ඉතා මනහර විය. උන්වහන්සේ සුන්දර රූපය ඇතියෙකු වශයෙන් ප්‍රසිද්ධ කෙනෙක් වූහ. එසේම රූප ශෝභාවෙන් ප්‍රසිද්ධ අමාත්‍ය පුත්‍රයෙක් ද විය. ඒ දෙදෙනාගෙන් වඩා ශෝභමාන තැනැත්තා කවරේ ද යන කථාව ජනයා අතර ඇති විය. ඒ දෙදෙනා එක් තැනකදී දැකිම සඳහා දිනක් අමාත්‍ය පුත්‍රයා ගේ ඥාතීහු ඔහු හොඳ ඇඳුම් පැලඳුම් වලින් සරසා චෛත්‍යය වන්දවන්නෙමුය යි රුවන්වැලි මහා සෑය වෙත කැඳවා ගෙන ආහ. අභය තෙරුන් වහන්සේගේ මව ද ලස්සන සිවුරක් පිළියෙල කර තෙරුන් වහන්සේට යවා හිස රැවුල් බාවා ගෙන මේ සිවුරු පොරවාගෙන වන්දනාව සඳහා රුවන්වැලි මහා සෑය වෙත එන ලෙස දන්වා යැවුවාය. අමත්‍ය පුත්‍රයා නෑයන් පිරිවරා ගෙන ප්‍රාචීනද්වාරයෙන් රුවන්වැලි මහා සෑමළුවට ඇතුල් විය. අභය තෙරුන් වහන්සේ ද භික්ෂුන් පිරිවරා දක්ෂිණද්වාරයෙන් සෑ මළුවට පිවිසියහ. දෙදෙනා එක් වූ කල්හි “ඔබ මහළු තෙරුන් වහන්සේ හැමදූ තැන කසළ ගෙන ගොස් දමා මා හා තරඟ කරන්නෙහිදැ” යි අභය තෙරුන් වහන්සේ අමාත්‍ය පුත්‍රයාට කීහ. අතීත ජාතියේ අභය තෙරුන් වහන්සේ මහතෙර නමක් වී කතරගම සෑ මලුව ඇමදූහ. අමාත්‍ය පුත්‍රයා මහ උවසුවකුව සිට උන්වහන්සේ ඇමද එක් කළ කසළ ඉවත් කළේය. ඒ දෙදෙනාට විශේෂ රූප ශෝභාව ඇති වුයේ එයිනි.

(සමන්තපාසාදිකාවෙන්)

තියුණු නුවණ ලබීම:

කාශ්‍යප බුදුරදුන්ගේ සසුන පවත්නා කල්හි එක් ගංතෙරක බොහෝ භික්ෂූන් වෙසෙන සංඝාරාමයක් විය. එහි වෙසෙන වත් සම්පූර්ණ කරන භික්ෂුහු උදයෙන් ම නැගිට ඉදල් ගෙන බුදුගුණ සිහි කරමින් මිදුල් අමදිති. එක් තෙර නමක් ඇමදූ කසළ එකතු කොට සමීපයෙන් යන සාමණේර නමක් දැක “සාමණේරය මේ කුණු ඉවත් කරන්න” යි කීය. සාමණේර නම නො ඇසුනාක් මෙන් ගියේය. දෙවන තුන් වර ද එසේ කී නමුත් සාමණේර නම ඇහුන්කන් නො දුන්නේය. තෙර නම කිපී සාමණේර නමට ඉදල් මිටින් පහරක් ගැසීය. සාමණේර තෙමේ බිය වී හඬමින් කසල ගොඩ ගෙන ගොස් දමා “මේ කසළ ඉවත් කිරීමේ පිනෙන් මම නිවනට පැමිණෙන තුරු උපදින උපදින ජාතියේ නභෝමධ්‍යගත සූර්යයා සේ මහාතේජස් ඇති වෙම්වා” යි පැතීය. ඉක්බිති සාමණේර නම නෑම සඳහා ගඟට ගොස් එහි රළ වේගය දැක කුණු ඇද දැමීමේ පිනෙන් “මතු උපදින උපදින ජාතියේදී මේ රළ වේගය බඳු ස්ථානෝචිත ප්‍රඥාව ඇත්තේ වෙම්වා! ක්ෂය නොවන ප්‍රඥාව ඇත්තේ වෙම්වා!” යි දෙවනුව ද පැතීය. මහතෙර නම ඉදල තැන්පත් කොට නෑම සඳහා තොටට ගියේ සාමණේර නමගේ ප්‍රාර්ථනාව අසා මාගේ නියමය නිසා කසළ ඉවත් කළ මොහුට කොපමණ මහත් දෙයක් සිදුවේ නම් සැදැහැයෙන් ඇමදීම කළ මට මෙතරම් මහත් අනුසසක් ලැබෙන්නට ඕනෑ දැයි සිතා “නිවනට පැමිණෙන තුරු මම උපදින උපදින ජාතියේ මේ රළ වේගය මෙන් ක්ෂය නොවන නුවණ ඇත්තේ වෙම්වා! මොහුගේ සකල ප්‍රශ්නයන් විසඳීමට සමත් වෙම්වා!” යි පැතීය. පසු කාලයේ මිළිඳු රජ වූයේ ඒ සාමණේර නමය. නාගසේන තෙරුන් වූයේ ඇමදූ තෙර නමය.

(මිළින්ද ප්‍රශ්නයෙන්)