චෛත්‍යයට හෙවත් දාගැබට වැඳීම දෙයාකාරයකින් කළ හැකි ය. චෛත්‍යවල තථාගතයන් වහන්සේගේ ශාරිරික ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඇත්තේය. තථාගත ශරීරයේ කොටස් වන ඒ ධාතූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ලෙස ම සලකා ඒවා ඇති චෛත්‍යයට බුදුන් වහන්සේට වඳින ලෙස ම වැඳිය හැකිය. පිදිය හැකි ය. ඒ එක් ක්‍රමයකි. එසේ වඳින කල්හි බුදුරදුන්ට වඳින ගාථා කියා වැඳිය යුතු ය. පූජනීය වස්තූන් පිහිටුවා කළ චෛත්‍යය ම පූජනීය වස්තුවකි. එබැවින් චෛත්‍යයට ම වැඳීම එක් ක්‍රමයකි. එසේ වඳින තැනැත්තා විසින් චෛත්‍ය වන්දනා ගාථා කියා වැඳිය යුතු ය. ඒ ඒ චෛත්‍යවලට වැඳීමට වෙන් වෙන් වූ ගාථා ඇත්තේ ය. රටේ චෛත්‍යයෝ බොහෝ ය. ඒ ඒ චෛත්‍යවලට වෙන් වෙන් වශයෙන් ගාථා කියා වඳින්නට යත හොත් ගාථා පාඩම් කොට ඉවරයක් නො කළ හැකිය. එය දුෂ්කර කාර්යයකි. ඒ නිසා කවර චෛත්‍යකට වුව ද කියා වැඳීමට සුදුසු ගාථාවක් දක්වනු ලැබේ. මේ ගාථාව කියා චෛත්‍යය වඳිනු.
සබ්බපාප විසුද්ධස්ස - අනන්තගුණ ධාරිනො,
නමාමි ලොකනාථස්ස - සාදරං ධාතු චෙතියං.
සකල පාප මලයෙන් පවිත්‍ර වූ අනන්ත ගුණ දරන්නා වූ ලොකනාථයන් වහන්සේගේ ධාතු චෛත්‍යය සාදරයෙන් වඳිමි.