මල්ලිකා දේවි

star_outline

සැවැත් නුවර එක් මල්කරුවෙකුට සොළොස් හවුරුදු වියට පැමිණි රූමත් දුවක් වූවා ය. දිනක් ඕ තලප ගුළි තුනක් පැසෙහි ලා ගෙන තවත් දැරියන් හා එක්ව මල්වත්ත බලා ගියා ය. එදින සංඝයා පිරිවරා පිඬු පිණිස සැවැත් නුවරට වඩනා බුදුරජාණන් වහන්සේ ඇයට අතරමඟදී හමු වූහ. බුදුරදුනට පිදීමට අනිකක් නැත්තා වූ ඕ තමා ගෙන යමින් සිටි තලප ගුළි තුන තථාගතයන් වහන්සේට පිළිගැන්වූවා ය. තථාගතයන් වහන්සේ ඇගේ පූජාව පාත්‍රය එලවා පිළිගත් සේක. ඕ උන්වහන්සේගේ පා වැඳ බුද්ධාලම්බණ ප්‍රීතියෙන් තථාගතයන් වහන්සේ දෙස බලා සිටියා ය. එකල්හි තථාගතයන් වහන්සේ ඇය දෙස බලා සිනා පහළ කළ සේක. බුදුවරයෝ විශේෂ කරුණකට මිස සාමාන්‍ය මිනිසුන් මෙන් අකාරණයෙන් සිනා පහළ නො කරන සේක. එබැවින් අනඳ තෙරණුවෝ සිනා පහළ කිරීමේ කරුණ තථාගතයන් වහන්සේ ගෙන් විචාළහ. “ආනන්දය! මේ කුමරිය තලප පූජා කිරීමේ පිනෙන් අද ම කොසොල් රජුගේ අගමෙහෙසිය වන්නීය” යි තථාගතයන් වහන්සේ වදාළහ.

කුමාරිකාව උයනට ගොස් මිහිරි ගී ගයමින් එහි උන්නා ය. එදිනම කොසොල් රජ අජාසත් රජු හා යුද කොට පැරදී අසකු පිටින් පලායන්නේ උයන සමීපයේ දී ඇගේ ගී හඬ ඇසී අසු උයනට යැව්වේ ය. කුමරිකාව සෙසු දැරියන් සේ බිය වී පලා නො ගොස් නො බා රජු ඉදිරියට ගොස් අසුගේ රැහැන අල්ලා ගත්තා ය. රජ අසු පිට හිඳම සැමියකු ඇති නැති බව විචාරා සැමියකු නැති බව දැන අසු පිටින් බැස ඇගේ උකුලෙහි හිස තබා මඳ වේලාවක් හිඳ විඩා සන්සිඳවා ගෙන ඇය ද අසු පිට නංවා බලකාය හා නගරයට පිවිස ඇය ඇගේ නිවසෙහි රඳවා රජ මැදුරට පිවිස සවස් කාලයේ රථයක් යවා මහත් සත්කාරයෙන් සම්මානයෙන් ඇය ගෙන්වා රුවන් රැසක සිටුවා අභිෂේක කරවා අග මෙහෙසිය කර ගත්තේ ය. ඕ රජුට අතිශයින් ප්‍රිය වූවා ය.

(ජාතකට්ඨකථා සත්තකනිපාතයෙන්)