දුමක් වශයෙන් ද, වතුරක් තෙලක් කල්කයක් චූර්ණයක් වශයෙන් ද, සුවඳ පූජා කළ හැකි ය. සඳුන් කපුරු මල් ආදී සුවඳ ඇති ද්‍රව්‍යයන් ද සුගන්ධ පූජාවක් වශයෙන් පිදිය හැකිය. සුවඳ පූජාවෙහි විශේෂ ආනිසංසයක් වශයෙන් කිය යුත්තේ උපනුපන් ජාතියේ අන්‍යනයන්ට ප්‍රිය පුද්ගලයෙකු වීමය.
සිද්ධාර්ථ නම් බුදුරදුන් විසූ කුටියට සුවඳදුම් දුන් පින්වතෙක් ඒ පිනෙන් කල්ප අනූසතරක් දෙව්මිනිස් දෙගතියෙහි බොහෝ සැප ලබා අප බුදුරජාණන් වහන්සේ වැඩ විසූ කාලයේ මිනිස් ලොව ඉපිද බුදුසස්නෙහි පැවිදිව සිව්පිළිසිඹියාපත් මහරහත් නමක් වී සසර දුකින් මිදී නිර්වාණ පුරයට පැමිණි උන්වහන්සේ ධූපදායකස්ථවිර නම් වූහ.
“යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං,
සබ්බේසම්පි පියො හොමි ධූපදානස්සිදං ඵලං
-
චතුනවුතිතො කප්පෙ යං ධූපමදදිං තදා,
දුග්ගතිං නාභිජානාමි ධූපදානස්සිදං ඵලං”
මේ ධුපදායක රහතන් වහන්සේ ගේ ප්‍රකාශයකි. මම යම්යම් ජාතියක උපන්නෙම් ද දෙවි වූද මිනිස් වූ ද සෑම ජාතියේ ම සැමටම ප්‍රිය වූවෙමි. එය ධූපදානයේ ඵලය ය. මේ කපින් සිව් අනූවන කපෙහි යම් ධූපදානයක් කලෙම් ද එතැන් පටන් මේ වන තෙක් දුර්ගතියට නො ගියෙමි. මේ ධූපදානයේ ඵලය ය යනු එහි තේරුම ය.