සුමන මල්කරු

අප බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ රජගහ නුවර බිම්බිසාර රජතුමාට දිනපතා මල් සපයන සුමන නම් මිනිසෙක් විය. එක් සමයෙක් හි තථාගතයන් වහන්සේ පෙරවරු කාලයේ මහා භික්ෂු සංඝයා විසින් පිරිවරන ලදුව සවණක් ඝණ බුදුරැස් මාලාවන් විහිදුවමින් මහත් වූ බුද්ධානුභාවයෙන් බුද්ධ ලීලාවෙන් පිඬු පිණිස රජගහ නුවරට වන් සේක. රජුට සමන් මල් නැළියක් ගෙන යන්නා වූ සුමන මල් කරු ෂට්වර්ණ රශ්මි මාලාවෙන් හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසූ අනුඛ්‍යඤ්ජනයෙන් ශෝභාවත් වූ රුවන් පහන් ගසක් වැනි තථාගතයන් වහන්සේ ගේ ශ්‍රී දෙහය දැක, අතිශය පහන් වූ සිත් ඇත්තේ කුමකින් තථාගතයන් වහන්සේට පූජාවක් කරන්නෙම්දෝ යි සිතනුයේ පූජා කිරීමට අන් දෙයක් නොදක්නේ රජුට ගෙන යන්නාවූ මේ මලින් තථාගතයන් වහන්සේ පුදමියි සිතා නැවත “දිනපතා රජුට ගෙන ගිය මේ මල් නො ගෙන ගියහොත් රජු කිපී මා සිර කරන්නට ද පිළිවන, එහෙත් කරන්නට දෙයක් නැත. රජු මට කරන දෙයක් කරාවා. මේවා රජුට ගෙන යාමෙන් ඔහු මට දෙතත් දෙන්නේ මේ ආත්ම භවයේ ජීවත් වීමට තරම් සුළු දෙයකි. මේ මලින් බුදුන් වහන්සේ පිදුවහොත් මට එය අනේක කල්ප කෝටීන්හි සැප ගෙන දෙන පිනක් වන්නේය. ඒ නිසා වන්නක් වේවා, මේ මල මම බුදුනට ම පුදමි” යි සිතා පළමුවෙන් මල් දෙමිටක් ගෙන තථාගතයන් වහන්සේ දෙසට විසි කළේය. ඒ මල් එකකුදු බිම නො වැටී තථාගතයන් වහන්සේ මතුයෙහි අහස් හි වියනක් මෙන් සැදී සිටියේය. එය දැක අතිශයින් පහන් වූ සුමන තවත් මල් දෙමිටක් ගෙන බුදුරදුන් දෙසට විසි කළේය. ඒ මල් බුදුරදුන් දකුණු පසින් තිරයක් මෙන් සෑදී අහස්හි සිටියේය. තවත් දෙමිටක් විසි කළේය. ඒවා තථාගතයන් වහන්සේ පිටිපසින් තිරයක් සේ සෑදී සිටියේය. තවත් දෙමිටක් විසි කළේය. ඒවා තථාගතයන් වහන්සේගේ වම් පසින් තිරයක් සේ සෑදී සිට ගත්තේය. බුදුරජාණන් වහන්සේ රිදීපටින් වසන ලද්දකු සේ ඉදිරියට වැඩම කළහ. මල් ද එකකුදු නොවැටී තථාගතයන් වහන්සේ අනුව ගියේය. තථාගත ශරීරයෙන් නික්ම උන්වහන්සේ වටා තුන්යලක් ගමන් කොට ඉදිරියට දුවන්නා වූ බුදුරැස් දහරාවන් නිසා ඒ මල් වඩාත් ශෝභාවත් විය. ඒ ප්‍රාතිහාර්ය දැක සතුටට පත් ජනයා ඔල්වරසන් නගමින් සළු උඩ දමමින් සළු හිස වට කරකවමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් ගමන් ගත්හ. තථාගතයන් වහන්සේ ද මල්කරුගේ ගුණය ප්‍රසිද්ධ වනු පිණිස නගරයේ ප්‍රධාන මාර්ගයේම ගමන් කළහ. මල් කරුගේ සකල ශරීරය පස්වනක් ප්‍රීතියෙන් පිරී ඉතිරී ගියේය. ඔහු මඳ දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට මනෝසිලා රසයෙහි ගැලෙන්නාක් මෙන් බුදුරැස් තුළට වැද උන්වහන්සේට ස්තුති කොට වැඳ හිස් පැස ගෙන ගෙදර ගියේය.

ඔහු හිස් පැස ගෙන ගෙදර ගිය කල්හි භාර්යාව “මල් වලට කුමක් කළෙහිදැ” යි ඇසීය. “තථාගතයන් වහන්සේට පිදුවෙමි” යි මල්කරු කීය. “දැන් රජුට කුමක් කරන්නෙහිදැ” යි භාර්යාව ඇසූ කල්හි “රජු මට කරන දඬුවමක් කෙරේවා යි ජීවිත පරිත්‍යාග කොට මම මල් පිදුවෙමි” යි කියා සිදු වූ සියළු ප්‍රාතිහාර්යද ඇයට කීය. අනුවණ ගැහැණියට ඒ ප්‍රාතිහාර්ය ගැන සිත පහදා ගත නො හැකි විය. ඈ බිය වී සැමියාටද බැණ වැදී “රජවරු නපුරෝ ය. කිපුණු කල්හි අත්පා සිඳවීම් ආදී මහානර්ථ කරන්නාහ. නුඹ කළ දෙයින් මට ද විපත් සිදුවිය හැකිය” යි කියා දරුවන් ද ගෙන රජු වෙත ගොස් “දේවයන් වහන්ස, මගේ සැමියා නුඹ වහන්සේට ගෙනෙන මල් බුදුරදුන් පුදා හිස් පැස ගෙන ගෙදර ආයේය. මා විසින් මල් වලට කුමක් කළෙහිදැ යි ඇසු කල්හි ඒ බව මට කීයේය. ඔහු කළ වරදින් මටත් විපතක් වේදෝ යි මම ඔහු හැර දරුවන් ද ගෙන නුඹ වහන්සේ වෙත පැමිණියෙමි. දේවයන් වහන්ස, ඔහු කළ දෙය යහපතක් ද, නපුරක් ද කියා මම නොදනිමි. එය කුමක් වුවත් එය ගැන මගේ සම්බන්ධයක් නැත. මම ඔහු අත්හැර දැමීමි” යි කීවාය. රජතුමා බුදුරදුන්ගේ ප්‍රථම දර්ශනයේදීම සෝවාන් ඵලයට පැමිණි ආර්ය ශ්‍රාවකයෙකි. එතුමා අනුවණ ගැහැණියට මෙතරම් මහත් ප්‍රාතිහාර්යයකදී ද සිත පහදා ගත හැකි නොවී යයි සිතා, කිපුණු ආකාරයක් දක්වා “කිමෙක්ද මට ගෙනා මල් තිගේ සැමියා බුදුනට පිදුවේ දැ” යි ඇසීය. “එසේය, දේවයන් වහන්ස” යි පිළිතුරු දුන්නීය. එකල්හි රජතුමා “ඒ මිනිසා හැර දැමීමන් තී කළ දෙය ඉතා යහපති. මාගේ මල් පූජා කළහුට කළ යුත්ත මම දනිමි” යි කියා ඇය පිටත් කර හැර වහා ගොස් ඒ ප්‍රාතිහාර්යය නරඹමින් තථාගතයන් වහන්සේ සමග ම ගමන් කළේය. ශාස්තෘන් වහන්සේ රජුගේ ප්‍රසාදය දැක අණබෙර හසුරුවන වීථියෙහි ම ගමන් කොට රජගෙදර සමීපයට පැමිණි සේක. රජතුමා පාත්‍රය ගෙන තථාගතයන් වහන්සේ රජමැදුරට වඩමවා ගන්නට සිතුවේය. තථාගතයන් වහන්සේ රජ මිදුලෙහිම වැඩ හිඳිනු කැමති ආකාරය දැක්වූහ. රජතුමා ලෝකනාථයන් වහන්සේ ගේ අදහස දැන වහ වහා එහි මණ්ඩපයක් කරවීය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා හා එහි වැඩහුන් සේක. තථාගතයන් වහන්සේ රජගෙට නො වැඩ එළිමහනෙහිම වැඩ සිටියේ මල්කරුගේ ගුණය මහජනයා අතර වඩාත් ප්‍රකට වනු පිණිස ය. රජතුමා බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දන් දිණ. තථාගතයන් වහන්සේ වළඳා අවසානයේ අනුමෙවෙනි බණ වදාරා පළමු පරිදි ම මල් වියන් මල් තිර තිබියදී ම මහ පෙරහරින් මහජනයා සමඟ ම වෙහෙරට වැඩම කළ සේක. උන්වහන්සේ ගඳ කිළියට පිවිසෙන කල්හි ඒ මල් ගඳකිළිය දොරකඩ වැටිණ.

රජතුමා මඳ දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට නැවතී මල්කරුවා ගෙන්වා “නුඹ මට ගෙනෙන මල් කුමක් සිතා බුදුනට පිදුවෙහිදැ” යි ඇසීය. “එකෙණෙහි මට ඇති වූ බලවත් චිත්තප්‍රසාදය නිසා රජ්ජුරුවන් වහන්සේ මා මරතොත් මරත්වා රටින් නෙරපතොත් නෙරපත්වා යි ජීවිතය පරිත්‍යාග කොට ඒ මල් පිදුවෙමි” යි මල්කරු කීය. රජතුමා ඔහුගේ ක්‍රියාව ගැන පැහැදී “නුඹ මහා පුරුෂයෙකැ” යි ඔහුට පසසා ඇතුන් අටදෙනෙකුන් ද, අසුන් අටදෙනෙකුන් ද, දාශයන් අටදෙනෙකුන් ද, දාශියන් අටදෙනෙකුන් ද, මහාර්ඝ පළඳනා ද, කහවනු අටදහසක් ද, සර්වාලංකාරයෙන් සැරසූ කාන්තාවන් අට දෙනෙකුන් ද, ගම් අටක් ද යන මේ සියල්ල ඔහුට ප්‍රදානය කළේය. සියල්ලෙන් අට බැගින් ඇති බැවින් සර්වාෂ්ටක නම් වූ ඒ පරිත්‍යාගය මල්කරු ඒ පූජාවෙන් එදින ම ලැබූ අනුසස ය.

ආනන්ද ස්ථවිරයන් වහන්සේ “සුමන මල්කරුගේ පූජාව නිමිත්තෙන් අද උදෑසන පටන්ම මහා ප්‍රීති ඝෝෂාවක් පවත්නේ ය. ඔහුට ඉන් ලැබෙන්නාවූ විපාකය කුමක් දෝයි තථාගතයන් වහන්සේගෙන් අසමි.” යි සිතා උන්වහන්සේ වෙත එළඹ “මල්කරුට ඒ පූජාවෙන් වන විපාක කවරේද” යි ඇසූහ. “ආනන්දය, මේ මල්කරු විසින් කරන ලද්ද සුළු කොට නො සිතව. හෙතෙමේ මා හට දිවි පුදා ඒ පූජාව කළේය. හෙතෙමේ මා කෙරෙහි ඇති කරගත් ඒ චිත්තප්‍රසාදයෙන් කල්ප ලක්ෂයක් දුර්ගතියකට නො පැමිණෙත්ය. එතෙක් කල් ඔහු දෙව් මිනිස් සැප විඳ අන්තිමේදී සුමන නම් පසේ බුදු වන්නේය” යි තථාගතයන් වහන්සේ වදාළ සේක.

(මේ කථාව දම්පියා අටුවාවෙන් ගන්නා ලදී)