එම ජාතිවලදී බුදුන් පිදූ පරිදි

star_outline

තව ද අප බුදුන් සංසාරගත ව ලද පළමුවන ජාතිභේද පූජාකථා නම් කවරහ? යත්;

ස්වාමිදරුවන්ගේ සද්ධර්‍ම සාගරයට වැද නොයෙක් අද්භූත ධර්‍මයන් බලා ඇවිදිනා වූ මයූරපාදපරිවෙණාධිපති සුගතො රසයන් විසින් ඔබ සංසාරයෙහිදී සූවිසි වාරයෙක සූවිසි බුදුකෙනෙකුන් නො වරදවා දැක, සූවිසු මහා සන්තෝෂයෙකින් යෙදී, සූවිසි මහා දානයක් දී, සූවිසි මහා ප්‍රාර්ථනාවක් කොට, සූවිසි බුදු මුඛයකින් සූවිසි මහා විවරණ ලදින්, සූවිසි දිව්‍ය පූජාවක් ලදින්, සූවිසිමණ්ඩලයක දෙවියන් ලවා සාධුකාර දෙවා, තමන්ගේ බුදුසිරි දැකුම්හ යි තුඩ තුඩ ප්‍රාර්ථනා කරවාපූ මහාවීරපුරුෂ මහිමයක් හා තව ද තමන් ලොවුතුරා බුදුවූ දවස් පෑළ සක්වළ පටන් බෝමැඩ දක්වා පුළුල සූවිසි යොදනෙක්හි හිවී ගැවසී දිවූ මරසෙනඟක් බිඳ පළවාපු නිර්භීතභාවයක් හා, තව ද යමාමහ පෙලහර කරන දවස් සූවිසි යොදුන් අයම් විතර තන්හි හිවී ගැවසී සිටි මහ පිරිසක් ලවා තුඩ තුඩ බුදුවෙම්ව යි ප්‍රාර්ථනා කරවාපු ප්‍රාතිහාර්‍ය්‍ය මහිමයක් හා තව ද සූවිසි දවසෙක සූවිසි තැනක වැඩහිඳ, සූවිසි දේශනාවක් කොට, සූවිසි අසංඛ්‍යයක් ප්‍රාණීන් සෝවාන් කෙරෙමින්, සූවිසි අසංඛ්‍යයක් ප්‍රාණීන් සැදැගැමි කෙරෙමින්, සූවිසි අසංඛ්‍යයක් ප්‍රාණින් අනගැමි කෙරෙමින් සූවිසි අසංඛ්‍යයක් ප්‍රාණීන් අමාමහ නිවන් දක්වමින් සත්‍වසාන්ති කෙරෙමින් ලෝවැඩ කළා වු මහාබුද්ධ මහිමයක් හා තව ද සෝණනන්‍ද ජාතකයෙහි සෝණ නම් මහ තවුස් ව වදාළ බණින් සූවිසි අක්‍ෂෞහිණි ඒ සා මහසෙනගක් මොහොතක් කලකින් පන්සිල් ගන්වාපු චිත්‍ර කථික වාක්ලීලාවක් හා තව ද දිව්‍යඥානයට ද අවිෂය වූ අභිධර්‍මයට බැස සූවිසි උපාදානරූපයන් හා සූවිසි ප්‍රත්‍යයන් ද යනාදීවූ ධර්‍මයන් වෙන වෙන දැක්වූ බුද්ධඥානයක් හා තව ද බුදු වූ දවස් පටන් දවස දවස සූවිසි කෙළ ලක්‍ෂයක් බැගින් ඵලසමවතින් හා සූවිසි කෙළලක්‍ෂයක් මහා කරුණා සමාපත්ති සුව වින්දා වූ අප්‍රමාද භාවයක් හා තව ද සූවිසි බුදුන්ගේ මහිම වෙන වෙන දක්වාපු තුන් කල් දන්නා [1]ත්‍රිවිද්‍යා මහිමයක් හා, මෙසේ අද්භූත වූ සූවිසි මහා ධර්‍ම කෙනෙකුන් දැක ඔබ කෙරෙහි උපන් මහාසන්තෝෂයෙන් උදාර වූ ශ්‍රද්ධාවෙන් අධික වූ, බුද්ධ ප්‍රේමයෙන් දහම් මී බී කුල්මත් වූවාහු සූවිසි දහසක් ග්‍රන්ථ සංඛ්‍යාවෙකින් පූජාවලී නම් වු ධර්‍මව්‍යාඛ්‍යාන කථාවකින් බුදුන්ට ස්තුති පූජාවක් කරන්නාහු, මේ ජාතිභේද පූජා පරිච්ඡේදයට ප්‍රාරම්භ කරම්හ. සත්පුරුෂයන් විසින් සාවධානව ඇසිය යුතු.

මාගේ බුදුහු තමන් [2]ලෙහෙන ව උපන් ජාති ය, වටු ව, උපන් ජාති ය, කුරුළු ව උපන් ජාති ය, ගිරා ව උපන් ජාති ය, කෙවිලි ව උපන් ජාති ය, කෑර ව උපන් ජාති ය, පරෙවි ව උපන් ජාති ය, කපුටු ව[3] උපන් ජාති ය. දියකා ව උපන් ජාති ය, උකුසු ව උපන් ජාති ය, ලිහිණි ව උපන් ජාති ය, කොක් ව උපන් ජාති ය, කකුළු ව උපන් ජාති ය, කිඳුරු ව උපන් ජාති ය, ගුරුළු ව උපන් ජාති ය, හංස ව උපන් ජාති ය, මොනර ව උපන් ජාති ය, මණ්ඩුක ව උපන් ජාති ය, සුනඛ ව උපන් ජාති ය, ජම්බුක ව උපන් ජාති ය, මූෂික ව උපන් ජාති ය, ගෝධ ව උපන් ජාති ය, සා ව උපන් ජාති ය, මත්ස්‍ය ව උපන් ජාති ය, නාග ව උපන් ජාති ය, වඳුරු ව උපන් ජාති ය, හූරු ව උපන් ජාති ය, මුව ව උපන් ජාති ය, මී ගොන් ව උපන් ජාති ය, හෙලගොන් ව උපන් ජාති ය, අස් ව උපන් ජාති ය, ඇත් ව උපන් ජාති ය, සිංහ ව උපන් ජාති ය, චණ්ඩාල ව උපන් ජාති ය, නාටක ව උපන් ජාති ය, සොරදෙටු ව උපන් ජාති ය, ස්වර්ණණකාර ව උපන් ජාති ය, කුම්භකාරව උපන් ජාති ය, වෛද්‍යාචාර්‍ය්‍ය ව උපන් ජාති ය, සිටු ව උපන් ජාති ය, වෙළඳ ව උපන් ජාති ය. බමුණු ව උපන් ජාති ය, පුරෝහිත ව උපන් ජාති ය, ඇමැති ව උපන් ජාති ය, පණ්ඩිත වූ උපන් ජාති ය, රජ ව උපන් ජාති ය, තාපස ධර්‍ම පිරූ ජාති ය, වෘක්‍ෂ දේවතා ව උපන් ජාති ය, ශක්‍රදේවේන්‍ද්‍ර ව උපන් ජාති ය, බ්‍රහ්මරාජ ව උපන් ජාතිය යි යන මේ පන්සිය පනස් ජාතකයෙහි පෙනෙන සමපණස් ජාතිභේදාදීන් අතුරෙන් එකි එකී ජාතිභේදයෙක්හි ම නො එක් නො එක් වාරයෙහි ඉපැද පාරමිතා පුරා සසර ඇවිදුනා වූ මාගේ ස්වාමි දරු වූ බෝධිසත්‍වයෝ.

ස්වර්ණමයූර ජාතකයෙහි පෙර බොහෝ කලක් රක්‍ෂා කළා වූ ශීලපාරමිතාවගේ ආනුභාවයෙන් කසුන් පිඩක් බඳු වූ ශරීර ලදින් හිමාලය වෙනෙහි සතර වනු වූ දණ්ඩකී හීරඤ්ඤ නම් පර්වතයෙහි බ්‍රහ්මචර්‍ය්‍යායෙන් වාසය කරන සේක්: අරුණෝද්ගමන වේලායෙහි උදය පර්වතයෙන් නැගෙන සූර්‍ය්‍ය දේවතාවා බලා “උදේතයං” යන ගාථාව බැඳගෙන හිරුට පළමුව නමස්කාර කොට ලා “යෙ බ්‍රාහ්මණා” යන ගයින් අතීතයෙහි උපන් නො එක් බුදුන්ට නමස්කාර කොට පැන නැගී ගොස් ගෝචර ග්‍රහණයෙන් දහවල් සුව සේ දවස් යවා සවස අස්තපර්වතයට යන හිරු බල බලා හිඳ “අපේතයං” යනාදීන් එම පිරිත බැණ රාත්‍රියෙහි දවස් යවා, මෙසේ වසන කල මේ පිරිතෙහි ආනුභාවයෙන් දීර්ඝ කාලයක් මුළුල්ලෙහි බෝසතුන්ට භයෙක් වේව යි, සාරද්‍යයෙක් වේව යි, ලෝමෝද්ගමයෙක් වේව යි, එක දවසකුත් නො වූයේ ම ය. මෙසේ වසන කල බරණැස වැදි පුත්‍රයෙක් වෙනෙහි ඇවිදිනේ දවසෙක ඒ පර්වතය මුදුනෙහි උදයගිරියෙහි දිලියෙන හිරුරැස් කලබක් සේ රන් රසින් දිලියෙන පිල්කලඹ විහිද විහිදා නටන බෝසතුන්ගේ රූප ශ්‍රී දැක ගමට අවුත් කලෙකින් මියෙනුයේ “අසුවල් පර්වතයෙහි රන්වන් මයූර රාජයෙක් වෙසෙයි. ඒ බව දැන හිඳුව” යි තම පුතුට කී ය.

එ සමයෙහි බරණැස් රජුගේ ඛේමා නම් බිසොවක් රන්වන් මොනරකු අතින් සිහිනෙන් බණ අසා “රන්වන් මොනරකු අතින් බණ අසන දොළෙක් මට උපන. ඒ දොළ පසිඳ දෙව” යි රජ්ජුරුවන්ට නො එක් වාරයෙහි යාච්ඤා කළා යි. රජ්ජුරුවෝ රන්වන් මයුරයෝ ලෝකයේ ඇතැයි වේදයෙන් අසා බරණැස වැදි සෙනග රැස් කරවා “රන්වන් මොනරකු දුටුවෝ කවුරුදැ”යි විචාරා සියලු වැදි සෙනග “අපි නුදුටුම්හ, අපි නුදුටුම්හ” යි කී කල යට කී වැදි පුත්‍රයා අතින් ‘අසුවල් පර්වතයෙහි රන්වන් මයුරයෙක් ඇතැ”යි අසා සතුටු ව ප්‍රසාද දී “ඒ මයූරයා නො මරා බදා ගෙන තෝ ම ගෙනෙව” යි එම වැදි පුත්‍රයා යවූහ.

එ කල ඒ වැදිපිත් “ඔහු ගෙනෙමි, දේවයෙනි” යි වහසි කියා හිමාලය වනයට ගොස් බෝධිසත්‍වයන් දැක පර්වතය සිසාරා ඒ ඒ තන්හි මළ ලයි; පිරිතෙහි ආනුභාවයෙන් මළ පිට ඇක්මුනත් බෝසතාණන් පය නො බැඳේ ම ය. අද බදා ගනිමියි, සෙට බදාගනිමියි උත්සාහ කරනුයේ සත්හවුරුද්දක් මුළුල්ලෙහි දුක් ගෙන බදාගත නොහී රජු දක්නට භය ඇති ව ඒ වෙනෙහිම මළේ ය. බිසොවු ද දොළ නො ලදින් එම ශෝකයෙන් ම මළහ. රජ්ජුරුවෝ ද “ඒ රන්වන් මොනරු නිසා ම බිසොවුන් නො ලදිමි”යි බෝසතුන් කෙරෙහි වෛර බැඳ තමන් දිවිහිමියෙන් උත්සාහ කොට බදා ගෙන්වා ගත නොහී “අසුවල් පර්වතයෙහි රන්වන් මයූරයෙක් වෙසෙයි; ඔහු මරා මස් කෑවෝ අජරාමර වෙති”යි රන්පත දෑහිඟුලෙන් ලියා භාණ්ඩාගාරයෙහි ලවා තුමූ ද පරලොව ගියහ. පසු පසු ව ඇති වූ සත් පරම්පරාවෙක රජ දරුවෝ ද රන්පත අකුරු බලා “ඒ මොනරු මරවා මස් කා අජරාමර වම්හ”යි වැද්දන් යවා නොලදින් තුමු තුමූ ද පරලෝ ගියහ. ගිය ගිය වැද්දෝ ද වෙනෙහි ම මළහ.

පසුව සත්වනු ව උපන් රජ්ජුරුවෝ මෙ පුවත් අසා මායමෙහි දක්‍ෂ වූ වැද්දකු ගෙන්වා ඕහට බොහෝ සැපත් දී පෙර සේ ම යවූ හ. ඒ වැදි වනයට ගොස් බෝසතුන් දැක නො බැඳෙන කාරණ පරීක්‍සා කරනුයේ, උදය සවස හිර බල බලා හිඳ මන්ත්‍රය පිරුවාණා දැක “මේ මන්ත්‍රානුභාවයෙන් වන නො බැඳීමකැ”යි දැන “මේ මයූරයා එකලාව ම වෙසෙ යි; එසේ හෙයින් පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යාව ඇති එකෙක; මොහු කාමයෙන් මත් කරවා පියා මන්ත්‍රය පිරුවා ගත නො දී බ්‍රහ්මචර්‍ය්‍යාව කෝප්‍ය කරවා ගෙන්වා බදා ගනිමි”යි සිතා දවසෙක අරුණු නො නැගෙන තෙක් එක් තෙනෙක මළ අටවාලා එ තැන සෙබඩක බැඳ සිටුවා තෙමේ නො පෙනී සිට “රාවයක් කරැ” යි සංඥා කොට ලී ය. සෙබඩ ඒ වේලෙහි බෝසතුන් පර්‍වත මුදුනෙහි දිලියෙන්නවුන් දැක කාමරාවකයෙන් හැඬුව. එ කෙනෙහි ඇගේ රාවකය කණ හී ම හා සමග මාගේ එ වැනි වූ බුද්ධාංකුරයාණෝ පවා සත්සියයක් හවුරුදු මුළුල්ලෙහි රක්‍ෂා කළා වූ බ්‍රහ්මචර්‍ය්‍යාව කොප්‍ය කොට කාමොන්මාද ව සිහි එළවා ගත නො හී එ දවස් මන්ත්‍රය නො පිරුවා ම දිව සෙබඩ සමීපයෙහි වැටී ඉල මළට පා දී, කාම මළට සිත් දී, එක විට ම මළ දෙකින් හසු ව සිටි සේක.

එ කෙණෙහි වැදිපිත් බෝසතුන් අල්වා නො මරාම, ගෙන ගොස් රජ්ජුරුවන් අතට දින. රජ්ජුරුවෝ ද බෝසතුන්ගේ රන් රසින් දිලියෙන රූපශ්‍රී බලා පැහැද මහත් වූ ප්‍රේම බැඳ රන්මල් සේසතින් දිලියෙන සිංහාසනය පිට වඩා හිඳුවාලූහ. එ වේලෙහි බෝධිසත්‍වයෝ සිංහාසනයෙහි වැඩහිඳ රජ්ජුරුවන් මුහුණ බලා ‘දේවයෙනි! කුමක් නිසා මේ සා උත්සාහයක් කොට මාගෙන් වූ දැ? යි විචාළ දෑ ය. රජ්ජුරුවෝ: “තොප ඇඟ මස් කෑවන් අජරාමර වෙති”යි අසා මම ද අජරාමර වෙමි’යි මස් කනු සඳහා ගෙන් වීමි” යි කීහ. බෝධි සත්වයෝ ද, “දේවයෙනි! පෙර රන්වන් මොනරුන්ගේ මස් කෑ කෙතෙක් රජහු අජරාමර වූහ’යි ඇසූ දැ?යි විචාළ දෑ ය. රජ්ජුරුවෝ “තොප විනා අනික් රන්වන් මයුරයකු ලෝකයෙහි නැති වුව, එසේ හෙයින් පෙර අජරාමර වූ රජෙක් නැතැ”යි කීහ. බෝසතාණෝ: “එසේ නැති කල, දේවයනි! තොපගේ බස් පූර්‍වාපර විරෝධය; මා විනා අනික් රන්වන් මයූරයකුත් නැති කල, එ බඳු වූ මසක් කෑවනුත් නැති කල, පෙර අජරාමර වූ වනුත් නැති කල, දැන් මාගේ මස් කෑවන් අජරාමර වෙති යි කෙසේ දතු දැ?යි විචාළ දෑ ය. රජ්ජුරුවෝ: “තොප රන්වන් හෙයින් තොප ඇඟ මස් කෑවන් අජරාමර වෙති යි ඇසීමි”යි කීහ. බෝධිසත්‍වයෝ: “මා මරා ඇඟ මස් කවු ද, නො මරා ඇඟ මස් කවුද?”යි විචාළ දෑ ය. රජ්ජුරුවෝ: “ඇඟ මස් කන්නේ නම් මරා වේ දැ”යි කීහ.

තොපගේ බස් තවත් පූර්‍වාපර විරෝධ ම ය. දේවයෙනි! තෙපි ම දැන් මා මරා පියා නම් මා මියන කල මා ඇඟ මස් කෑවන් නො මියන්නේ කෙසේ දැ යි විචාරා: “මේ ලෝකයෙහි එ්කාන්ත වස්තුවෙකුත් ඇද්ද? අජරාමරයොත් ඇද්ද? මහත් වූ ආනුභාව ඇති දිව්‍ය බ්‍රහ්මරාජයෝ පවා පෙණපිඬක් සේ ඇති ව නැති වන්නාහු ම ය. මුළු සක්වළ බබුළුවන චන්‍ද්‍ර-සූර්‍ය්‍ය දිව්‍යපුත්‍රයෝ පවා දවසෙක කදෝකිමියන් නො වටනාවන් ව අන්තර්ධාන වෙත් ම ය”යි යනාදීන් අනිත් ලකුණෙන් රජහු ගිවිස්වා බුදුකෙනකුන් සේ බණ වදාළ දෑ ය. එ වේලෙහි රජ්ජුරුවෝ කාරණා ගිවිස “තොප රන්වන් වූ කාරණ කිම්දැ? යි විචාළහ. බෝධිසත්‍වයෝ ඒ ජාතියෙහි ජාතිස්මරණඥාන ඇතිහෙයින්: “දේවයෙනි! පෙර මම මේ ම නුවර සත්රුවන් සක්විතිරජ ව වැස මුළු සක්වළ ආකාශයෙන් ඇවිද සක්විති රාජ්‍යය කොට බොහෝ දෙනා පඤ්චශීලය රක්‍ෂා කරවා මම ද බොහෝ කලක් පඤ්චශීලය රක්‍ෂා කොට ඉන් මිය තවුතිසා භවනයෙහි ඉපැද එහි බොහෝ කලක් දිව්‍යසම්පත් විඳ ඉන් මිය අපරාපර්‍ය්‍යවෙද්‍ය වූ කිසියම් අකුශලයෙකින් අහේතුක තිරශ්චීන ව උපන්මි. පෙර රක්‍ෂා කළ පඤ්ච ශිලයෙහි ආනුභාවයෙන් රන්වන් ව ලා රූපශ්‍රී ලදිමි”යි වදාරා, රජහු නො ගිවිස්නා හෙයින් මගුල් පොකුණෙහි නිධාන කොට තුබූ සත්රුවන් රජහට දක්වා ගිවිස්වූසේක.

එ වේලෙහි ඒ දේශනාවෙහි පසන් වූ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ සාධුකාර දී බරණැස් රාජ්‍යයෙන් පූජා කළහ. බෝසතාණන් වහන්සේ ද රජහුගේ රාජ්‍යපූජාව ඉවසා කිප දවසක් වැස රජ්ජුරුවන් හා සියලු රාජ්‍යවාසීන් පන්සිල් ගන්වා අනුශාසනා කොට ආකාශයට පැනනැගී නකත් තරුවක් සේ දිලිහි දිලිහී එම දණ්ඩ කීහිරඤ්ඤ නම් පර්‍වතයට ම ගොස් බොහෝ කලක් සුවයෙන් වාසය කළ සේක. මෙසේ අහේතුක ව ඉපැද පවා රජුන්ගේ රාජ්‍ය පුදවා ගන්නා තරම් මහත් වූ පින්බල ඇති හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

2. තව ද කණ්ඩින ජාතකයෙහි තමන් වහන්සේ වෘක්‍ෂ දේවතා ය ඉපැද:

ධීරත්‍ථු කණ්ඩිනං සල්ලං - පුරිසං ගාළ්හවේධිනං,

ධීරත්‍තු තං ජනපදං - යත්‍ථි‘ත්‍ථි පරිණායිකා,

තෙ චාපි ධික්කිතා සත්තා - යෙ ඉත්‍ථිනං වසං ගතා - යි.

යන මේ ගාථාවෙන් ත්‍රිවිධ වූ ගර්හිත වස්තු නම් මේ යයි බණ වදාළ ද බොහෝ වන දෙවියන් විසින් කරන ලද දිබ්බගන්‍ධ කුසුමාදින් පූජා ලත් සේක.

3. තව ද කුක්කුර ජාතකයෙහි සුනඛ රාජන් ව ඉපැද ඥාත්‍යර්ථචර්‍ය්‍යා පූරණය කල සමයෙහි බොහෝ නෑයන්ට රජකුලෙන් උපන් භය දැක ඒ රජ්ජුරුවන් කරා ගොස් රජපිරිස විස්මය පත් කරවා, රජහු හදවා, රජහුගේ සිංහාසන නැගී වැඩහිඳ සුනඛොවාද නම් දේශනාවක් කොට සියලු සතුන් පන්සිල් ගන්වා රජහුගේ දළපුඩු සේසතින් පූජා ලදින් එ දවස් දෙසූ බණින් දැමුනා වූ සත්ත්‍වයන් දසදහසක් හවුරුදු මුළුල්ලෙහි කරන ලද අප්‍රමාණ වූ ප්‍රතිපත්ති පූජා ලත් සේක.

4. තව ද නන්‍දිවිශාල ජාතකයෙහි අජානීය වෘෂභ රාජන් ව ඉපැද ගැල්සියයක් එකවිට ඇද මසු දාසකින් පූජා ලත් සේක.

5. තව ද කණ්හ ජාතකයෙහි එසේ ම වෘෂභ රාජන් ව ඉපැද දුර්ග මාර්ගයෙන් පන්සියයක් ගැල් ගොඩනංවා ඒ පෙළහැරෙහි ද කර්ෂාපණ සහස්‍රයෙකින් පූජා ලත් සේක.

6. තව ද වටු ව ඉපැද පවා මහ වල් දවාගෙන තමන් වහන්සේ කරා දිවන ලැවු ගිනි දැක:

සන්ති පක්ඛා අපතනා - සන්ති පාදා අවඤ්ජනා,

මාතා පිතා ච නික්ඛන්තා - ජාතවේද පටික්කම - යි.

යන මේ ගයින් සත්‍යක්‍රියා කොට සිසාරා සොළොස් කිරියක් මානයෙහි ගිනි වැද්ද නො දී එ වේලෙහි රක්‍ෂා වූ විමන් ඇති ඒ වෙනෙහි දෙවියන් විසින් සන්තුෂ්ට ව කරන ලද සාධුනාද සහස්‍රයන් පූජා ලත් සේක. එ දවස් නැවැති ගිනි කල්පාන්තය දක්වා එ තැනට වැද්ද නො දී පාරමිතාබල පෑ බොහෝ දෙනා විසින් කරන ලද ස්තුති පූජා ලත් සේක.

7. තව ද: බක ජාතකයෙහි වෘක්‍ෂ දේවතාව ඉපැද කර්කටකයක්හු විසින් ග්‍රීවාච්ජේදයට පැමිණි බලාකයක්හු බලා:

නාච්චන්ත නිකතිප්පඤ්ඤො - නීකත්‍යා සුඛමේධති,

ආරාධෙති නිකතිප්පඤ්ඤො - බකො කක්කටකාමිව - යි.

යන මේ ගාථාවෙන් බණ කියා කෛරාටික ඥානයෙහි ආදීනව දැක්වු දා ද වන දෙවියන් විසින් කරන ලද සාධුනාද සහස්‍රයන් හා දිව්‍යගන්‍ධ පුෂ්පාදීන් අප්‍රමාණකොට පූජා ලත් සේක.

8. තව ද: වේදබ්භ ජාතකයෙහි වේදබ්භ මේ මන්ත්‍රානුභාවයෙන් සත් රුවන් වැසි වස්වා ඒ සම්පත්තිය නිසා මරණප්‍රාප්ත වූ දස දහසක් පුරුෂයන් දැක උපන් සංවේගයෙන්:

අනුපායෙන යො අත්‍ථං - ඉච්ඡති සො විභඤ්ඤති,

චෙතා හනිංසු වෙදබ්භං - සබ්බෙ තෙ ව්‍යසනමජ්ඣගුං - යි.

යන මේ ගාථාවෙන් නුවණ නැති ව ධන ලෝභය කිරීමෙහි ආදීනව දක්වා බණ කී වේලෙහි ද මනුෂ්‍ය ව ඉපැද පවා වනදෙවියන් ලවා සාධුකාර දෙවා මහත් වූ ස්තුති පූජා ලත් සේක.

9. තව ද: මහාශීලව ජාතකයෙහි ශීලව නම් රජ ව දශරාජ ධර්මයෙන් රාජ්‍යය කොට ක්‍ෂාන්ති පාරමිතාවෙහි අග පැමිණි සමයෙහි නිරපරාධ වූ තමන් වහන්සේගේ රාජ්‍යය උදුරා ගෙන අමු සොහොනෙහි කට පමණ වළ බිඳුවා එහි පස් තළවා වධ කරුවූ රජහට සම වූ මෛත්‍රී පතුරුවා ඒ ගුණයෙහි පහන් දෙවියන් විසින් දෙන ලද ස්වකීය රාජ්‍යසම්පත්තියෙන් පූජා ලත් සේක.

10. තව ද: කඤ්චනක්ඛන්‍ධ ජාතකයෙහි දරිද්‍ර වූ කුලයෙක ඉපැද පවා පාරමිතා බෙලෙන් දෙවියන් විසින් දෙන ලද චතුහස්තායාම වූ ඌරු ප්‍රමාණ ඝන රන් කඳෙකින් පූජා ලත් සේක.

11. තව ද: යෝධම්ම ජාතකයෙහි වානරෙන්‍ද්‍ර ව ඉපැද ඇත් සමාන බලපරාක්‍රම ඇති ව වෙනෙහි ඇවිදුනා කල රකුසු විල දැක කාරණා කාරණා දන්නා වූ නුවණින් රකුසු විල බව දැන දියෙහි නො ගෑවී එ තෙර මෙ තෙර පැන පැන කැමැති පමණ මල් කඩා විල්තෙර ගොඩකළ වේලෙහි ඒ වික්‍රමයෙහි පැහැද දිය පළා පැන නැගී බද්ධාඤ්ජලී ව සිටි උදක රාක්‍ෂසයා විසින්:

යස්ස එතෙ තයො ධම්මා - වානරින්‍ද යතා තව,

දක්ඛියං සූරියං පඤ්ඤා - දිට්ඨං සො අනිවත්තති - යි.

යන මේ ගයින් කරන ලද ස්තුති පූජා හා, වන දෙවියන් විසින් කරන ලද සාධුනාද පූජා හා අසූදහසක් වඳුරන් විසින් කරන ලද රාජ්‍ය පූජා ලත් සේක.

12. තව ද: සීලවනාග ජාතකයෙහි ඇත්රජ ව ඉපැද අසූදහසක් ඇතුන් හා හස්තිරාජ්‍යය හැර එකලාව වනමැද වැස තපස් කොට තමන් කරා අවුදින් දළ ඉල්වූ දිළිඳක් හට “මුරයෙන් මුරයෙහි දුඃඛිතයෙමි” යි ආ සේ ම මහත් වූ කරුණා ඇති ව තුන් වාරයෙක්හි ම දළ කප කපා දී දානපාරමිතාවෙහි මුදුන් පැමිණ වන දෙවියන් ලවා සාධුකාර දෙවා මහත් වූ පූජා ලත් සේක.

13. තව ද: සච්චං කිර ජාතකයෙහි ගඞ්ගාවක් සමීපයෙහි පන්සලෙක ශීලරක්‍ෂණයෙන් වාසය කරන්නාහු දියෙන් යන දුෂ්ට වූ රාජ කුමාරයකු හා නයෙක, ගිරවෙක, මූෂිකයෙකැයි යන මොවුන් සතරදෙනා ගොඩනගා මෛත්‍රී කොට පසු ව රාජ කුමාරයා රාජ්‍යයට පැමිණ තමන් වහන්සේට වධ යොදා උල අන්නා සේ නියෝග කළ කල්හි:

සච්චං කිරෙවමාහංසු-නරා එකච්චියාඉධ,

කට්ඨං විපලාවිතං සෙය්‍යො-නත්‍වෙවෙකච්චියො නරො - යි.

යන මේ ගාථාව කියා එහි අර්ථ දත් රජ යුවරජ මහ ඇමැතියන් විසින් දුෂ්ට රජහු මරා තමන් ඔටුනු පළඳවා කරන ලද අභිෂේක මඞ්ගලයෙන් පූජා ලත් සේක. ජීවිතදානය ලත් නාගරාජයා සතළිස් කෙළක් ධනයෙන් පූජා කෙළේ ය. මූෂිකයා තිස් කෙළක් ධනයෙන් පූජා කෙළේ ය. ගිරවා තමා ශක්ති පමණ සුගන්‍ධසාලි භෝජනයෙන් පූජා කෙළේය.

14. තව ද අම්බ ජාතකයෙහි පන්සියයක් අතවැසියන් හා සමග වෙනෙහි තපස් කොට මෛත්‍රී බලයෙන් තිරිසනුන් පවා පහදවා සියලු හිමාල ය වෙනෙහි සිවුපාවුන් හා පක්‍ෂීන් හා තමන් තමන්ගේ බලානුරූප වූ පරිද්දෙන් දවස් පතා ගෙනෙනලද දෙසිය පනස් ගැල් පමණ ඇති ඵලා ඵල දානයෙන් බොහෝ කලක් උපස්ථාන ලත් සේක.

15. තව ද කාක ජාතකයෙහි අසූ දහසක් කපුටුවන්ට රජ ව “බොහෝ කපුටුවන් මරා තෙල් ගන්නේ ය”යි බරණැස් රජහුගෙන් නියෝග වූ සමයෙහි නෑයන්ට උපන් භය දැක ආකාශයෙන් ගොස් රජපිරිස් බල බලා සිටිය දී කිසි භයක් නැති ව සිංහාසන මස්තකයෙහි වැඩ හිඳ “දේවයෙනි! මක්නිසා කපුටුවන් මරවු දැ”යි විචාර තෙල් නිසා යයි කී කල “දේවයෙනි! කපුටුවන් ඇඟ තෙල් නැතැ”යි කී කල්හි තෙල් නැතිවන්නට කාරණා කිම් දැයි විචාළ කළ:

නිච්චං උබ්බිග්ගහදයා - සබ්බලෝක විහිංසකා

තස්මා තෙසං වසා නත්‍ථි - කාකානස්මාක ඤාතිනං - යි.

යන මේ ගාථාවෙන් බණ කියා මේ මේ කාරණයෙන් කපුටුවන් ඇඟ තෙල් නැති නියා ය යි ගිවිස්වා රජපිරිස් සන්තෝෂ කරවූ සේක. ප්‍රසන්න වූ රජ්ජුරුවෝ බෝසතුන්ට සියලු රාජ්‍යය පුදා අපාද ද්විපාදාදි සියලු සතුන්ට ද අභයදාන පූජා කොට එ තැන් පටන් අමුණක් සහලින් දවස් පතා කාකපිණ්ඩ නම් දානපරිත්‍යාගයක් කොට දිවි හිමියෙන් පඤ්චශීලය රක්‍ෂා කොට මහත් වූ බහුමාන පූජා කළහ.

16. තව ද: [4]ගග්ගර ජාතකයෙහි මිණිවෙළඳ කුලයෙහි ඉපැද සොළොස් හැවිරිදි ව අන්තර මාර්ගයෙහි ශාලාවකට පැමිණි දා ඒ ශාලාවෙහි වැස යමකු කිවිසපු කල ජීව පටිජීවකයන් තබා අජීව අපටිජීවකයන් සල්ව සල්වා කා බොහෝ පවු රැස් කරන්නා වූ කර්කශ වූ යක්‍ෂයාට නො එක් ප්‍රකාරයෙන් බණ කියා ඔහු දමා ඔහු විසින් දිවිහිමියෙන් කරන ලද අත් පා මෙහෙ පූජා හා එ බැව් දත් බඹදත් රජහු එම දවස් දෙනලද සේනාධිපති ධුරයෙන් පූජා ලත් සේක.

17. තව ද අලීනචිත්ත ජාතකයෙහි බරණැස බ්‍රහ්මදත්ත රජහට පුත්‍ර ව අලීනචිත්ත නම් කුමාර ව මවුකුසින් බිහි වූ දා ම උපන් පිනින් ඒ සා මහත් සතුරු සෙනගත් සාධා උපන් දවස් ම ජයමගුල් පූජාය අභිෂේක මඟුල් පූජා යයි මහා පූජා දෙකක් ලත් සේක.

18. තව ද: තිරීට වච්ච ජාතකයෙහි තිරීට වච්ච නම් තාපස ව බරණැස් රජහු දිවි පමණින් කරන ලද චතුර්විධ ප්‍රත්‍යය දානයෙන් පූජා ලත් සේක.

19. තව ද: චුල්ල කාලිඞ්ග ජාතකයෙහි සැපත් හැර වල් ගොස් තපස් කොට ශීලානුභාවයෙන් ශක්‍රදේවේන්‍ද්‍රයා ගෙන්වා ප්‍රසන්න වූ ඒ සක්දෙවු රජහු විසින් දවස් පතා කරන ලද සප්පාය වූ අත් පා මෙහෙ පූජා ලත් සේක.

20. තව ද: ඒකරාජ ජාතකයෙහි බරණැස් රජ ව දශ රාජ ධර්මයෙන් රාජ්‍යය කොට මෛත්‍රී පාරමිතා නමැති මහ ලිය මල් ගන්වාපු සමයෙහි තමන් වහන්සේගේ මෛත්‍රීබල දත් දිබ්බසේන රජහු අවුදින් රාජ්‍යය උදුරා ගෙන, නිරපරාධ වූ තමන් දෙ කකුල බැඳ අධඃශීර්ෂ කොට [5]උත්තර ම්මාරාම්බරයෙහි බැඳ එල්ලාපු දා ඒ වධ කැර වූ රජු හා සියලු සතුන්ට ම සම මෙත් භාවනා කොට ධ්‍යාන උපදවා බැඳුම් සිඳුවා ආකාශයෙහි පලක් බැඳ වැඩහිඳ ඒ පෙළහර දුටු සතුරු වූ රජු හා මිතුරු වූ ඇමැතියන් හා වතුරු සේ කරන ලද අතුරු නැති සාධුනාද පූජා ය, ඔල්වරසන් පූජා ය, අසුරුසන් පූජාය, පිළිසන් පූජාය, ලොමොද්ගමන පූජා ය, දොහොත් මුදුන් දී කරන ලද නමස්කාර පූජා ය, ස්වකීය රාජ්‍ය ප්‍රතිලාභයෙන් කරන ලද පූජා ය, අභිෂේක මඟුල් පූජා යයි යනාදි වූ අප්‍රමාණ පූජා ලත් සේක.

21. තව ද: දද්දර ජාතකයෙහි හිමාලය වෙනෙහි දද්දර නම් පර්වත ප්‍රාන්තයෙහි දද්දර නම් නාගභවනයෙහි දද්දර නම් නාගරාජයාට පුත්‍ර ව මහා දද්දර නම් නාගකුමාර ව තමන් මලනුවන් චුල්ලදද්දරයන් හා සමග පිය රජහු අතින් උදහස් අස දඬුවම් නිසා ගොස් බරණැස් නුවර මිනිකුණු හා මළමුත්‍ර වහනය කරන්නා වූ උක්කාර භූමියෙහි තුන් හවුරුද්දක් වැස ඒ නිහතමානභාවයෙහි ප්‍රසන්න වූ පිය රජහු විසින් කරන ලද දිව්‍යනාගරාජ්‍යයෙන් පූජා ලත් සේක.

22. තව ද: සීලවීමංස ජාතකයෙහි සත් හැවිරිදි බ්‍රාහ්මණ කුමාරව පන්සියයක් අත වැස්සන් හා සමග දිසාපාමොක් ආචාරීන් කෙරෙහි ශිල්ප උගන්නා කල දවසෙක ආචාරි “මෙයින් ගුණවත් එකක්හට ම දුව සරණ දෙමි” යි සිතා අතවැස්සන් තනි තනි ව කැඳවා “තෙපි මාගේ දියණියන් කැමැත්තා නම් තොප තොපගේ නෑයන් කරා ගොස් කාටත් නොපෙනි පලඳනාවක් ගෙනෙව”යි කී කල පන්සියයක් අතවැස්සෝ තමන් තමන් කුලයට ගොස් පන්සියයක් පලඳනා සොරා ගෙනවුත් ආචාරීන්ට පාවා දුන්හ. පසු ව බෝධිසත්වයන් කැඳවා “මාගේ දියණියන් ප්‍රාර්ථනා කොට සෙසු අතවැස්සෝ සොරකම් කොට ගෙනෙති, පුත තෙපිත් යමක් සොරා නො ගෙනෙවු දැ”යි විචාළහ. එ වේලෙහි බෝධිසත්වයෝ “ආචාරීන් වහන්ස! අනුන් නො දක්වා සොරකම් කළ නොහැක්ක මිනිසුන් නුදුටුවත් දෙවියෝ දකිති. දිවැස් ඇතියෝ දකිති. එසේ හෙයින් මේ ලෝකයෙහි රහසෙක් නම් නැතැ”යි කියන්නාහු:

නත්‍ථි ලෝකෙ රහො නාම - පාපකම්මං පකුබ්බතො,

පස්සන්ති වත භූතානී - තං බාලො මඤ්ඤතී රහො - යි.

යනාදීන් බණ කී දෑ ය. එ වේලෙහි ඒ ගුණයෙහි ප්‍රසන්න වූ දිසාපාමොක් ආචාරීන් කුලධනය සහිත වූ දියණියන් සරණ පාවා දී විවාහ මඞ්ගලයෙන් පූජා කළහ.

23. තව ද: මංස ජාතකයෙහි සිටුපුත්‍ර ව ඉපැද සියලු සතුන්ට ප්‍රිය තෙපුල් කීම ම උතුම් නියාවට දෘෂ්ටාන්ත දක්වා වදාළ සමයෙහි කාරණා කාරණ නො දන්නා රෞද්‍ර වූ වැදි පුත්‍රයා ලවා:

යස්ස ගාමෙ සඛා නත්‍ථි - යථාරඤ්ඤෙ තථෙව තං,

සබ්බස්ස සදිසි වාචා - සබ්බං සම්ම දදාමි තෙ - යි.

යන ගයින් ස්තුති කරවා යහළුව යි කී බසට ප්‍රිය වූවැද්දහු විසින් දෙන ලද ඒ සා මහත් මාංස සකටයකින් පූජා ලත් සේක.

24. තව ද: විසය්හ ජාතකයෙහි විසය්හ නම් ධන සිටු ව දාන පාරමිතාවගේ බලයෙන් සක්දෙව්රජහු පහදවා ඔහු විසින් “දවස දවස දොළොස් ලක්‍ෂයක් ධන පරිත්‍යාගයෙන් දිවිහිමියෙන් දානප්‍රවාහ කරව” යි මවා දෙනලද දිව්‍යධන සමූහයකින් පූජා ලත් සේක.

25. තව ද: උරග ජාතකයෙහි කෘෂි බ්‍රාහ්මණ ව උපන්නා වූ මාගේ බෝධිසත්වයෝ අනිත් ලකුණු දේශනාවෙන් ශක්‍ර දේවේන්‍ද්‍රයා පහදවා එදවස් ද ඔහු විසින් ම, ගේ පුරා මවා දෙන ලද දිව්‍ය ධන සමූහයකින් පූජා ලත් සේක.

26. තව ද: ඝත ජාතකයෙහි ඝත නම් රජ ව බරණැස දශරාජ ධර්මයෙන් පැරුම් පුරන්නා වූ බෝධිසත්වයෝ තමන් ප්‍රාණයක් නො නසති යි අසා සැවැත් නුවර වංක නම් රජහු අවුදින් අවඞ්ක වූ තමන්ගේ රාජ්‍යය උදුරා ගෙන තමන් කරපය මසා, සිරගෙයි ලවා, සිසාරා යෝධයන් රකවල සිටුවා, මහා ව්‍යසන ප්‍රාප්ත කළ දා රාජ්‍යය උදුරාගත් රජහු කෙරෙහි ද, සියලු සතුන් කෙරෙහි ද, සමව කළා වූ මෛත්‍රී භාවනා බලයෙන් ධ්‍යාන උපදවා එකෙණෙහි යදම් පුපුරවා පලය පළා ආකාශයට පැන නැගී පලක් බැඳ වැඩ උන් සේක. එ කෙණෙහි සතුරු රජ බෝසතුන්ගේ මෛත්‍රී පිරුණා වූ ශ්‍රී මුඛය හා පෙරහැර දැක භයගෙන වෙවුලා ස්වකීය රාජ්‍යයෙන් ම පූජා කොට ගියේ ය.

27. තව ද: නන්‍දිමිග ජාතකයෙහි නන්‍දිය නම් මුවරජ ව මාතු පිතුපට්ඨාන ධර්‍මය පූරණය කරන්නා වූ මේ මාගේ බෝධිසත්ත්‍වයෝ බරණැස් රජහු තමන් ඇතුළු වූ දහස් ගණන් මුවන් උයනට ගෙන්වා ගෙන බලා “රජමුවා මා අතින් ම මිදිමි”යි කියා උරපුරා තමන් කරා ශරය ඇදගත් වේලෙහි මරණ භය නැති ව පාරමිතාවන් ආවර්ජනා කොට “අද මාගේ අඟමස් දානමුඛ්‍යයට ම වේව යි; රජහට පවු නො වේව යි; මම ද දැන් මස්රස දුන්නා සේ ම මතු සියලු සතුන්ට දහම් රස දෙම්ව”යි සිත සිතා වැඩ සිටි සේක. බෝසතුන්ගේ මෛත්‍රී ආනුභාවයෙන් රජහු හයා ගත් ශරය අතිනුත් නො හැරේ ම ය. රජ ද සිතියම ඇඳපු රුවක් සේ නිශ්චල ව සිටියේ ම ය බෝධිසත්ත්‍වයෝ ‘සිට[6]වෙහෙසි පී ය; මහරජ! ශරය අතහැරපියව’යි කී දෑ ය.

රජ්ජුරුවෝ: මහතාණෙනි! තොප වැනි පින්වත් මුවරජක්හු මරාපියන්ට මා අත නො නැඟෙ”යි කියා ධනුව හා ශරය බිම හෙළා නමස්කාර කොට සිට “ස්වාමීනි! තොපට අභය දානය පුජා කෙරෙමි; වල්යව”යි කීහ. එ වේලෙහි බෝධිසත්ත්‍වයෝ: “දේවයෙනි! මාගේ ජීවිතය පමණක් ගලවාගෙන වලට යාම මා වැනියන්ට සුදුසු නො වෙයි; මා කෙරෙහි ප්‍රේම ඇතියා නම් මාගේ සෙසු නෑයන්ටත් අභයදානය දෙව”යි කී සේක. එ වේලෙහි රජ්ජුරුවෝ බෝසතුන් කෙරෙහි උපන් සන්තෝෂයෙන් ‘නුඹ වහන්සේගේ නෑයන් තබා අද පටන් මාගේ ජීවිතාන්තය දක්වා මාගේ අණසක පවත්නා වූ මානයෙහි යම් ම තෙනක සියලු තිරිසනුන්ට ද අභයදානය දිනිමි, අද පටන් මම ද ප්‍රාණයක් නො නස්මි”යි ප්‍රතිඥා කළහ. එ වේලෙහි බෝධිසත්ත්‍වයෝ රජහු පන්සිල් ගන්වා:-

දානං සීලං පරිච්චාගං - අජ්ජවං මද්දවං තපං,

අක්කෝධෝ අවිහිංසා ච - ඛන්තී ච අවිරෝධතා

ඉච්චතෙ කුසලෙ ධම්මෙ - ඨිතෙ පස්සාමි අත්තනි,

තතො චෙ ජායතෙ පීති - සෝමනස්සඤ්චනප්පකං - යි.

යනාදීන් රජහු දශ රාජධර්මය උගන්වා සියලු සතුන් විසින් කරන ලද නමස්කාර සාධුනාද පූජා සහස්‍රයන් ලදින් වන ප්‍රවිෂ්ට වූ සේක. මෙසේ තිරිසන් ව ඉපැද පවා රජුන්ට බණ වදාරා සියලු සතුන්ගේ අභයදාන පූජා ලබන පින්බල ඇති හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

28. තව ද: මහාකපි ජාතකයෙහි කපිරාජ ව උපන්නා වූ මාගේ බෝධිසත්ත්‍වයෝ අසූ දහසක් වඳුරන් පිරිවරා ගංගාවක් සමීපයෙහි වූ මහ මී අඹවනයෙක වාසය කරන සේක. එකල බරණැස් රජ්ජුරුවෝ ගඞ්ගා ජලයෙන් ගිය අඹ ඵලයක් දැක අඹරසෙහි තෘෂ්ණා බැඳ නැව් නැඟී ගංගාව ඔස්සේ ගොසින් සවස මී අඹ ගස දැක ගත සිසාරා දහස් ගණන් දුනුවායන් සිටුවා තුමූ අඹ ගසමුල යහන් අතුරුවා ලැගුම් ගෙන “උදෑසනක් සේ වඳුරන් හැම මරව“ යි නියෝග කළහ. එදවස් බෝධිසත්ත්‍වයෝ මේ භය දැක: “මා වැනි වීරපුරුෂයක්හුගේ නෑයන් නස්නා සේ නො යෙදෙයි; අද ඥාත්‍යර්ථ චර්යාවෙහි මුදුන් පැමිණෙමි”යි අස්වසාලා අඹ අත්තෙන් ධනුඃශත ප්‍රමාණ වූ පළල් ගඟ එතෙර භිත්තියට පැන පියා පිනූ සලකුණෙන් ගඟ පළල දැනගෙන වැලක් කඩා ඉහ බැඳගත. වැල්පිළ නිසා මඳක් ලුහුඬු වන නියාව අහේතුක ඥාන හෙයින් සිතාගත නොහී නැවත වාතච්ඡින්න වලාපිඩක් සේ අඹගසට පැන වැල්පිළ මඳක් ලුහුඬු ව ගිය හෙයින් දෑතින් අඹ අත්ත අල්වාගෙන පසු බඳ වැල් පිළට දීලා තමන් වහන්සේ මතු සංසාර නමැති සාගරයට සේතුවන නියාවට සරඹයක් කරන්නා සේ පසු බඳ සේතුවක් කොට පෑලා අසූ දහසක් වඳුරන් කැඳවා “නෑයෙනි! වැල මඳක් ලුහුඬු ව ගියේ ය; දෙවනුව එතෙර පැන වැලක් දික්කොට ගනිම් නම් එ තෙකව පහන් වෙයි; පහන් වී නම් තොප හැම දෙනාගේ ජීවිත නැත. තොප හැම දෙනාට මාගේ ජීවිතය දන් දිනිමි. මා ගැන නො සිතා මා හෙයක් කොට ගොස් තොප තොපගේ ජීවිත රක්‍ෂා කොට ගනුව” යි නියෝග කළ දෑ ය.

එ වේලෙහි අසූදහසක් වඳුරෝ බෝසතුන් පිට සෙමින් සෙමින් එලි එලී අත්වැලට නැඟී හැම ගැලවී ගියහ. දෙවිදත් ඒ ජාතියෙහි වඳුරු ව ඉපැද පෙර නසමි යි කළ පැතුම් බලයෙන් මොහු කවර දවසෙක නසා පියම් දෝ හෝ යි අවසරයක් බල බලා හුන්නේ එ වක සේවක ව වසනුයේ හැම වඳුරන් පලා යන තුරු මුදුන් අත්තෙහි ඇලී හිඳ අන්තයෙහි බෝසතුන් පිටට පැන දෙපයින් මැඩ වසට බිඳගෙන දිව පී ය. බෝධිසත්ත්‍වයෝ ඒ සා මහත් දුඃඛයක් ඉවසාගෙන ක්‍රෝධයක් නොකොට දෙවනුව පැනපිය නො හැකි හෙයින් අඹ අත්ත අතින් අල්වාගෙන පහන් කළ දෑ ය.

අලුයම් රාත්‍රියෙහි ගස උඩ බලා එක වඳුරකුත් ගස උඩ නැති නියාවත්, එ තෙරින් මෙ තෙර අත්වැල තුබූ නියාවත්, හිඟ බැඳි වැල හා සමග අඹ අත්ත දෑතින් ගෙන බෝසතුන් වැදහොත් නියාවත් රජ්ජුරුවෝ දැක ඉතා මහත් විස්මයව යෝධයන් ගස උඩට නංවා බෝසතුන් සෙමෙන් සෙමෙන් බාවා හිඟ බැඳ වැල මුදා වසට බුන් සේ දැක, ඉතා මහත් වූ කම්පා ඇති ව හිඟ දියකඩලා ශතපාක සහස්‍රපාක තෙල් ගල්වා තෙලි සමකින් යහනෙහි සතපා දොහොත් මුදුන් දි සිට “ස්වාමීනි! තෙපි කෙසේ වූ විරපුරුෂයාන කෙනෙක් ද, මේ කෙබඳු වූ පෙරහරෙක් ද; තිරිසනුන් තබා මනුෂ්‍යයන් කෙරෙහිත් තමන් දිවි දී අනුන් දිවි රක්නා කෙනෙක් නැත. නුඹ වහන්සේ මේ කෙළේ කිමෙක්දැ”යි විචාළහ. එ වේලෙහි බෝසතාණෝ මරණ වේදනාව ඉවස ඉවසා මහරජ්ජුරුවන් හා සමග කතා කරන සේක්:

රාජා‘හං ඉස්සරො තෙසං - යූථස්ස පරිහාරකො,

තෙසං සොකපරෙතානං - භීතානං තෙ අරින්‍දම - යි.

යනාදීන් බණ කියා තමන් වහන්සේ රජ නියාවත්, තමා දිවිදීත් ආශ්‍රිතයන් රක්‍ෂා කිරීම් රාජධර්ම නියාවත් යනාදීන් රජ්ජුරුවන්ට බණ කිය කියා ම නිරුද්ධ වූ සේක. එ වේලෙහි බෝසතුන්ගේ ගුණයෙහි පහන් වූ රජ්ජුරුවෝ මහත් වූ ශෝකයෙන් වැලප බෝසතුන් රන් දෙනකට වඩා දාරුශත ප්‍රමාණ දරසෑයක් බඳවා, නොයෙක් රජ පෙළහරින් ආදාහනය සරහා නොඑක් ඇමතියන් හා සමග තුමූ කසා පිළි හැඳ පෙරව සිසාරා දඬුවැට පහන් ගන්වා තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි සිට බෝසතුන් මහත් වූ පූජාවෙන් දවා, තුන්වන දා ආදාහන පූජා කොට එ තෙන චෛත්‍යයක් බඳවා ගඳ මල් දුමින් පුදා සතරවන දා බෝසතුන්ගේ සීසකලාපය රන් කරඬුවකින් ගෙන බරණැස් නුවර ගෙන ගොස් සත් දවසක් මුළුල්ලෙහි දන්තධාතුව ලද ශක්‍රෙද්වේන්‍ද්‍රයා සේ මහත් වූ පූජා කොට බරණැස් නුවර මැද සීසකපාල නම් මහසෑයක් බඳවා එහි වඩා, දිවි පමණින් මහත් වූ පූජා කළහ.

පසු ව උපන් නොයෙක් රජදරුවෝ ද මෙපවත් ශ්‍රැත පරම්පරාවෙන් අසා පැහැද තමන් තමන්ගේ ධන පමණින් දීර්ඝ කාලයක් ඔබ උදෙසා ම පූජා කළහ. මෙසේ මාගේ ස්වාමිදරුවාණන් තිරිසන්ව ඉපැද පවා ශරීර ධාතුවට පූජා ලත් කල දැන් ලොවුතුරා බුදු ව මුළුලෝ නිවන් රසයෙන් තෙත් කොට ඉතා මහත් වූ බුද්ධ ශ්‍රී දක්වා තමන් වහන්සේ ගේ පා පිසපු බිස්ස පවා මහ බඹුන්ට මුදුන්මල්කඩ කොටපු සමයෙහි පිරිනිවන් පෑ තැන ධාතු ගෙන දැන් දෙවියන් බඹුන් මිනිසුන් තම තමන්ගේ ධන පමණින් පුදන නියාව කවර ආශ්චර්යයෙකැයි කියම් ද. මේ මේ කාරණයෙනු දු මාගේ ස්වාමිදරුවාණෝ අර්හත් නම් වන සේක.

29. තව ද: මහා සුව ජාතකයෙහි ගිරා රජ ව ඉපැද, දිඹුල් ගසෙක වාසය කොට පවත්ත ඵලක නම් වූ තපස් කොට, ඒ දිඹුල් ගස ම ගොදුරුගම් කොට සිතා යථාලාභ සන්තෝෂයෙන් වාසය කොට පසු ව දිඹුල්ගස මිය දිරා සුණු වැගිරෙන අවස්ථාවෙහි ද, අනික් තැනකට නො ගොසින් මළ ගස සුණු අනුභව කොට මතු කරන දුෂ්කර ක්‍රියාව අභ්‍යාස කරන්නාක් සේ කෘතෝපකාරයෙහි යෙදී බොහෝ දවසක් වාසය කරන සේක. ඒ ගුණයෙහි පහන් ශක්‍ර දේවේන්‍ද්‍රයා ඒ ගස ජීවමාන කොට මවා ධ්‍රැම ඵලයෙන් පූජා කොට ගියේ ය.

30. තව ද: චුල්ල සුව ජාතකයෙහි ද එසේ ම වසය කොට ශක්‍රයා විසින් මවා දෙන ලද ඵල සහිත වූ උදුම්බරා වෘක්‍ෂයෙකින් ම පූජා ලත් සේක.

තව ද: කුද්දාල සමාගමයෙහි ද, හත්‍ථිපාල සමාගමයෙහි ද, අයෝඝර සමාගමයෙහි ද, ජෝතිපල සමාගමයෙහි ද, මූගපක්ඛ සමාගමයෙහි ද යන මේ පඤ්ච සමාගමයෙහි තමන් වහන්සේගේ දේශනා බලයෙන් සියලු සතුන් දමා රාජ්‍යය සිස් කරවා මහ පිරිස් ගෙන තපසට වල ගොස් සක්දෙවු රජහු විසින් මවා දෙන ලද දොළොස් යොදුන් තිස් යොදුන් පමණ තෙන දිව්‍යමය වූ පන්සැල් හා දිව්‍යමය වූ රාත්‍රිස්ථාන දිවාස්ථාන චංක්‍රමණ හා දිව්‍යමය වූ මණ්ඩප පැන් පොකුණු හා දිව්‍යමය වූ තවුස් පිරිකර සහිත වූ ඒ සා මහත් වූ සේනාසන දානයෙකින් පූජා ලත් සේක.

31. තව ද: සුප්පාරක ජාතකයෙහි සුප්පාරක නම් පණ්ඩිත ව නැව් නැගී ගොස් වළබාමුඛ සමුද්‍රයට පැමිණ නැව නස්නට පටන්ගත් වේලෙහි කළා වූ සත්‍යක්‍රියා බලයෙන් ආපස්සේ දිවූ නැව ඇසිල්ලෙකින් පටුන් වැද ගොසින් අට ඉස්බක් තැන් දිව තමන් වහන්සේගේ දොර මිදුලෙහි සිටගත් වේලෙහි එ දවස් දිවි ලදින් සන්තෝෂ වූ සත්සියයක් වෙළඳුන් එකවිට දොහොත් මුදුනෙහි තබාගෙන කළා වූ සත් සියයක් සාධුනාද පූජා ලත් සේක.

32. තව ද: මහා කණ්හ ජාතකයෙහි ශක්‍රදේවේන්‍ද්‍ර ව ඉපැද ලෝකාර්‍ථ චර්‍ය්‍යාව කළා වූ මාගේ බෝධිසත්ත්‍වයෝ කාශ්‍යප සර්‍වඥයන් වහන්සේගේ ශාසනය විසි දහසක් හවුරුදු පැවත නස්නට පටන්ගත් අවධියෙහි බොහෝ සතුන් අපාගත වන සේ දැක උපන් මහා කරුණාවෙන් මිනිස්ලෝ වැඩ ශුනක ඝෝෂයෙන් තුන්ලෝ වෙවුල්වා සියලු සතුන් භය ගන්වා “මෙ තැන් පටන් බුදුන් කී පිළිවෙත් වරදවා පාපයක් කළ කෙනෙක් ඇත්නම් මේ ශුනකයා ලවා කවා මරවමි”යි බොහෝ දෙනා භයගන්වා අවවාද දී සියලු සතුන් දහම් ගන්වා වැඩිසේක. එ තැන් පටන් මනුෂ්‍යයෝ බෝසතුන් කෙරෙහි භව ඇති ව ගුණ රක්‍ෂා කරන්නාහු නටුවා වූ ශාසනයෙහි දහසක් හවුරුදු මුළුල්ලෙහි සසුන් පවත්වා ප්‍රතිපත්ති පූජා කළහ.

33. තව ද: කාලිඞ්ග බෝධි ජාතකයෙහි තමන් වහන්සේ බුදුවන්නා වූ බෝධිමණ්ඩලය පමණක් දැක ප්‍රසන්න වූ කාලිඞ්ග චක්‍රවර්ති රජහු විසින් එ තෙනට බොහෝ උපචාර කරවා දවස් පතා කරන ලද සැටදහස් සුවඳමල් සඞ්ඛ්‍යාවෙන් අපමණ වූ පූජා ලත් සේක.

34. තව ද: රූරුමිග ජාතකයෙහි රූරුනම් මුවරජ වූ මේ මාගේ බෝධිසත්ත්‍වයෝ බරණැස් රජහුගේ සිංහාසනය නැගී වැඩ හිඳ, එ දවස් දෙසූ ධර්‍ම දේශනා බලයෙන් රජහු ලවා සියලු රාජ්‍යය පුදවා ගෙන, සියලු සතුන්ට ද අභය දානය ඉල්වාගෙන, මහත් වූ වික්‍රමයෙන් නො එක් පූජා ලත් සේක.

35. තව ද: සරභ මිග ජාතකයෙහි සරභ නම් මුවරජ ව තමන් වහන්සේ මරමි යි ලුහුබඳවා පසු පස්සේ දිවන බරණැස් රජහු සැට රියන් ගැඹුරු නරාවළෙක්හි දිය බී මියයන්නා දැක ඔහු කෙරෙහි උපන් මහා කරුණා ඇති ව “දැන් මේ වළ හුනු රජහු නො නඟා ගියෙම් නම් මතු සසර වළ හුනුවන් කෙසේ ගොඩ නගමි දැ”යි සිතා ආ පස්සෙහි එ තෙනට අවුත් ඒ වළ හුනු රජහු ගොඩනඟා දිවි ගැළවූ සේක. ඒ කාරණයෙහි පහන් බරණැස් රජ්ජුරුවෝ ද බෝසතුන්ට තමන්ගේ රාජ්‍යය පුදා සියලු සතුන්ගේ ජීවිතදානය පුදා, දිවිපමණින් පඤ්චශීලය රක්‍ෂා කොට බෝසතුන් නමට ම ප්‍රතිපත්ති පූජා කළහ.

36. තව ද: සිවි ජාතකයෙහි සිවි නම් මහ රජ ව ඇස් ඉල්වා ආ අන්‍ධ බ්‍රාහ්මණයාට ඇස් දන් දී අඞ්ග පරිත්‍යාගයෙහි මුදුන් පැමිණ නැවත එම ජාතියෙහි ම පාරමිතා නමැති සෘෂීහු විසින් මවා දෙන ලද සියක් යොදුන් දක්නා දිවැස් සඟළෙකින් පූජා ලත් සේක.

37. තව ද: රෝහණ මිග ජාතකයෙහි රෝහණ මුව රජ ව මාගේ බෝධිසත්ත්‍වයන් කසුන් කඳක් බඳු වූ රූපලීලා ඇති සමයෙහි තමන් වහන්සේගේ ඇගින් රන්වන් වූ ලොම් මිටක් පමණ ලැබ ගත්තා වූ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ කේශධාතු ලද සක්දෙව් රජහු සේ ඉතා සන්තුෂ්ට වූවාහු රන්සුමුකට වඩා දීර්‍ඝ කාලයක් භෝග පමණින් පූජා කළහ.

38. තව ද: ඡද්දන්ත ජාතකයෙහි ඡද්දන්ත නම් මහා හස්තිරාජන් ව රිදී පර්වතයක් සේ දිලියෙන එක්සිය විසි රියන් ශරීරයෙකින් හා සවණක් රස් විහිදුවන තිස් රියන් දළ සඟළෙකින් හා ශ්‍රීමත් වූ සමයෙහි දළ සොයා ගිය වැද්දහුට දළ දෙක කපා දන් දී දාන පරමාර්ථ පාරමිතාවෙහි මුදුන් පැමිණ එම වේලෙහි ම කාලක්‍රියා කොට එ දවස් අට දවසක් ඇතුන් විසින් හා පන්සියයක් පසේ බුදුන් විසින් හා තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි සිසාරා සිට කරන ලද මහත් වූ ආදාහන පූජා ලත්සේක.

89. තව ද: කුස ජාතකයෙහි කුස නම් රජ ව ප්‍රභාවතීත් නිසා ගොස් නුවර පිරිවරා ගත් ඒ සා මහත් සත් සෙනඟක් දැක “අහං කුසො”යි කී එක බසින් මහීනාද ය අසා පැරද පලා ගිය මර සෙනඟ සේ ඒ මහීපාල නාදය අසා සත් සෙනඟ ම පැරද පලා ගිය වේලෙහි, ඒ වික්‍රමයෙහි ප්‍රසන්න වූ ශක්‍රෙද්වේන්‍ද්‍රයා විසින් ග්‍රීවාහරණ කොට පළඳවන ලද අෂ්ටවඞ්ක වූ දිව්‍යමය මාණික්‍ය රත්නයෙකින් පූජා ලත් සේක.

40. තව ද: මහා ජනක ජාතකයෙහි මහා ජනක නම් රාජකුමාරව වීර්‍ය්‍යපාරමිතාවෙහි මුදුන් පැමිණියා වූ මේ මාගේ බෝධිසත්ත්‍වයෝ රජය සතුරන් ගත් හෙයින් “පළමු ව ධන උපදවා, දෙවනු ව පිරිස් සිටුවා, තුන්වනු ව යුද්ධ කොට සතර වනු ව රාජ්‍යය ගනිමි”යි සිතා නැවු නැඟී ගොස් මුහුද මැද නැව නට කල, තව ද වීර්‍ය්‍යයෙහි පසු නො බැස ඉන්‍ද්‍රනීල භූමියෙක කසුන් කඳක් පෙරළෙන්නා සේ සත් දවසක් මුහුදු පීනා තමන්ගේ වීර්‍ය්‍යබල දත් මණිමේඛලා නම් දෙව්දුව එ කෙණෙහි ම දිව අවුදින් තමන් වඩා උරමඩලෙහි සතපා දිවපහස් පතුරුවා විඩා සන්සිඳුවා ප්‍රිය පුත්‍රයකු සේ නිදිගන්වා එ ම දවස් ගෙන ගොස් ස්වකීය රාජ්‍යයෙහි පිහිටුවා මෙසේ ඈ විසින් කරන ලද ජීවිත දාන පූජා ය, රාජ්‍ය ප්‍රතිලාභ පූජා ය යි මහත් වූ සත්කාර පූජා ලත් සේක.

41. තව ද: මහා සුතසෝම ජාතකයෙහි මේ මාගේ බෝසතාණන් වහන්සේ කුරුරට ඉඳිපත් නුවර ධනඤ්ජය කොරව්‍ය රජ හට පුත්‍ර ව සුතසෝම නම් රාජකුමාර ව, එක්සියයක් රාජකුමාරයන් හා සමග තක්සලා නුවර දිසාපාමොක් ආචාර්‍ය්‍යයන් කෙරෙහි ශිල්ප හදාරා නුවණින් අග පැමිණ එක්සියයක් රජ කුමරුන්ට අනුශාසනා කොට ඔවුන් තමන්ගේ රාජධානිවලට යවා ස්වකීය රාජ්‍යය ප්‍රතිලාභ කරවා තමන් වහන්සේ ද ස්වකීය රාජ්‍යෙයහි රාජ්‍යශ්‍රී විඳ, එක්සියයක් රජුන් පඤ්චශීල රක්‍ෂණයෙන් හික්මවා ලොව බුද්ධෝත්පාද කාලයක් සේ කරන සේක. එ කල ඔවුන් අතුරෙන් බ්‍රහ්මදත්ත කුමර බරණැස් රජ ය කරනුයේ සොර සොරා මිනී මරවා මිනීමස් කයි. මෙසේ කලක් ගිය කල කාල නම් සේනාධිපති මෙ පවත් දැන රජ්ජුරුවන් කරා අවුදින් “දේවයිනි! ස්වකීය මාංසානුභවය නම් තමාට ම විනාශයට කාරණ වන්නේය; පෙර ආනන්‍ද ය, තිමින්‍ද ය, අජ්ඣාරෝහණ යයි යන පන්සියයක් යොදුන් දිග මස් රජුන් තුන්දෙනා හා තිමිඞ්ගල ය, තිමිර පිඞ්ගල ය යි යන දහසක් යොදුන් දිග මස් රජුන් දෙදෙනා හා මේ පස්දෙනා අතුරෙන් ආනන්‍ද නම් මත්ස්‍යරාජයා විනාශයට පැමිණියේ ස්වකීය මාංසානුභාවය නිසා ම ය. පෙර මම නුවර ස්වස්තී නම් බ්‍රාහ්මණ කුලයෙහි උපන් සොච්ච මානවකයා කුලයෙන් නටුයේ ද ජාතියට නො තරම් වූ සුරාපානයෙහි තෘෂ්ණාව බැඳ ම ය. තව ද ධ්‍රැතරාෂ්ට්‍ර කුලයෙහි හංසයන් විනාශයට පැමිණියේ ස්වකීය මාංසභව ය නිසා ම ය”යි යනාදීන් රජහට අවවාද කියා ගිවිස්වා ගත නොහී අරක්කැමියා හා මඟුල් කඩුව හා මස් පිසන සැළියත් පාවාදී ඔහු රාජ්‍යයන් නෙරියහ.

එ කල රාජ්‍යය හැර වල්වැද දුටුදුටුවන් මරා මිනීමස් කා ඇවිද දවසෙක මිනීමස් නො ලදින් අරක්කැමියා මරා මස් කා එතැන් පටන් එකලා නුග ගසක් මුල වාසය කොට “පෝරිසාද නම් මිනිස් යකෙක් මිනී මරා මස් කන්නේ ය”යි මුළු දඹදිව ප්‍රසිද්ධ ව දවසෙක පය උලක් ඇනගෙන බොහෝ වේදනා ඉවසාගත නොහී නුගරුක දෙවියා කරා ගොස් “ස්වාමීනි! රුක්දෙවියාණෙනි! දවස් ගණනක් ඇතුළත පයට පහලක් ලදිම් නම් දඹදිව එක්සියයක් රජුන් නො මරා මෙතැනට ගෙනවුත් උන්ගේ ගල ලෙහෙයෙන් තොපගේ කඳ සෝදා ලමි; අතුණුබහනින් තොපගේ විමන සිසාරා පන් හැද ලමි; ඔවුන්ගේ පඤ්චමධුර මාංසයෙන් තොපට බිලි දෙමි”යි ද, එගසමුල වැදහෙව නිරාහාර හෙයින් සියලග වියලෙත්, වණය තෙමේ ද සුව වූ කල්හි දේවතානුභාවයෙනැයි රුක්දෙවියා කෙරෙහි පැහැද “මට මේ සා වැඩක් කළ රුක්දෙවියාණන්ට යදි බිලියෙන් පූජා කෙරෙමි”යි සිතා “කෙසේ දඹදිව රජුන් ගෙනෙම් දෝ හෝ දඹදිව මහතැ”යි සිත සිතා සිටියේ ය.

එ කෙණෙහි ලැවු ගින්නට සෙණ ගින්නක් හැමුවා සේ, නිෂ්කාරණ වූ යක්‍ෂයෙක් ඕහට පෙනී එක දවසින් සියක් යොදුනුත් දිව විඩා නො වන මතැ‘තුනුත් සොඬ ගෙන බිම අපුළා පියන ශබ්ද ඇසුවවුන් දෑස් පියවි මුහුණින් වැටීගෙන ජවබල තේජස් ඇති දිව්‍ය මන්ත්‍රයක් උගන්වාලා යහළු! තා සිතූ සිත නො පමා ව”යි කියා අන්තර්ධාන විය.

එ කෙණෙහි ඔහු සතුටු ව කඩුපත හයා ඉස සිසාරා පවන් වේගයෙන් වෙන වෙන රාජධානි දිව “මම ය පෝරිසාදයා ය”යි බැණ නැගි බසින් සිවුරඟ සෙන් වෙවුල්වා මහ පිරිස් මැදින් දිව සෙණක් ගැසුවාසේ මහපිරිස කුමක් බවත් නොදැන බලබලා සිටියදීම සිංහාසනවල උන් රජුන් දෙකකුල ගෙන බිම හෙළා යකුන් ගත් කුකුළන් සේ, සල්ව සල්වා එල්ව පිටි දැමැද වතුරුවා ඉස් විළුඹින් පැහැර පැහැර දිව අවුදින්, රජුන්ගේ අතුල්විද අවුනා ගස අතු අත්තේ එල්වා මෙසේ සත් දවසක් ඇතුළත සුතසෝම රජ්ජුරුවන් හැර මුළු දඹදිව රජුන් ගස එල්වා යාගයට පටන් ගත් කල්හි නුග ගස දේවතාවා රජදරුවන්ට උපන්නාවූ ඉතා මහත් පීඩා දැක මහත් වූ කරුණා ඇතිව ද තෙමේ ඔවුන් දිවි ගළවා ගත නොහී මෙ පවත් ක්‍රමයෙන් සක්දෙව් රජහට කියා ඔහුගෙන් උපදෙස් ලදින් නැවත නුගගස කරා අවුදින් පෝරිසාදයාට පෙනී “තෝ එ දවස් එක්සියයක් රජුන්ගෙන් බිලියම් දෙමි යි යදලා දැන් සුතසෝම රජ්ජුරුවන් හැර බිලියම් දෙයි ද; ඔහු හැර බිලියම් නො ගනිමි”යි කියා අන්තර්ධාන වී. එ බසට පෝරිසාදයා රුක් දෙවියා දුටු සතුටින් මත් ව, ‘එසේ වී නම් ඇසිල්ලෙකින් දිව ඔහු ගෙනවුත් හිමි නුඹට බිලියම් දෙමි; මට නො කිපෙව”යි යැදලා ඇසිල්ලෙකින් ඉඳිපත් නුවරට දිව “සුතසෝම රජහට රකවල් දැඩී ය; ඇතුළු නුවර දී අල්වාගත නො හැක්ක; උයන දී අල්වා ගනිමි”යි සිතා මඟුල් උයනෙහි මඟුල් පොකුණට වැද නෙළුම් පතින් මුවා ව සිටියේ ය.

අලුයම් රාත්‍රියෙහි බෝසතාණන් වහන්සේ සූසැට ආභරණයෙන් සැරහී මඟුලැතු සරහා සිවුරඟසෙන් සමගින් මඟුල් උයනට වන්සේක. එ කෙණෙහි “පෝරිසාදයා ඉදින් අප රජහු ද ගෙන ගිය නම් දඹදිව සිස්වන්නේය”යි අමාත්‍යයෝ උයන සිසාරා එකි එකී අතින් දොළොස් දොළොස් ගවු මානයෙහි ඇත් පවුරු ය, අස් පවුරු ය, රථ පවුරු ය, බළ පවුරු යයි සිවුරඟ සෙන් සිටුවා තලමිටක් අහසට දැමූ කල ඇටකුත් බිම හිය නො හැක්කා සේ එක සන්තාභයෙකින් වැසුවා සේ සිසාරා සිටගත්හ.

ඉක්බිත්තෙන් බෝසතාණෝ මඟුල් පොකුණට බැස දිය කෙළ නහා ගොඩනැඟී ඇඟ දිය වියලමින් සිටි දෑ ය. එ කෙණෙහි පෝරිසාදයා “රජ ආභරණ පලන් නම් පසු ව බර මහත; දැන් ම අල්වාගනිමි”යි සිතා “මම පෝරිසාදයා ය”යි හඬක් ගසා දියරකුස්සකු සේ පැන නැඟී වේලෙහි දොළොස් ගවු මානයෙහි ගැවසී සිටි මහ සෙනඟට ඇසී සෙණහඬක සේ වෙවුලා, ඇතරුවෝ ඇතුන් පිටින් හුනහ; අසරුවෝ අසුන් පිටින් හුනහ, රථරුවෝ රථ පිටින් හුනහ; බළ යෝධයන් අත තුබූ ආයුධ වැගිර ගි ය; මතැත්හු දිය සලා බෙටිසලා වෙවුල වෙවුලා මහ හඬින් ගුගුරා නැංගාහ; අශ්වයෝ මරණ හේෂාරව දුන්හ. යෝධයෝ මුණින් හුනහ. මේ සා මහත් තේජස් පෙර ජාතියෙහි දන් දුන් එක ම ගිනි කබලක් නිසා ලදුයේ ය.

එසේ හෙයින් නුවණැත්තාවූ සත්පුරුෂයන් විසින් කුසල් නම් ස්වල්ප දෙයකැ යි නො සිතිය යුතු ය. විපාක දෙන අවස්ථාවෙහි ස්වල්ප නො වන්නේ මැයි කීයේ මැනෝ:

කුසලං නාවමන්තබ්බං ඛුද්දකන්ති කදාචිපි,

අනන්තඵලදං හොති - නිබ්බානම්පී දදාතිහි - යි.

ඉක්බිත්තෙන් පෝරිසාදයා බෝසතුන් කරා දිව “මතු තමා අඟුල් මල් මහ තෙර ව ඔබ අතින් බණ අසා අමාමහ නිවන් දුටු දා තමා සිත් සේ වැඳ පෙරළී යන තමහට මුදුන්මල්කඩ කරන ශ්‍රීපාදයට දැන් අනාදර නො කෙරෙමි”යි පය නො ගන්නා සේ, සෙසු රජුන් සේ බෝසතුන් දෙ කකුල නො ගෙන තෙල් කළයක් ඔසවන්නා සේ බෝසතුන් වඩා කරපිට හිඳුවා ගෙන අටළොස් රියන් මහපවුර සිංහ පොවුවකු සේ පැන ඇත්කුඹින් ඇත්කුඹුට, අස්පිටින් අස්පිටට, රථහිසින් රථහිසට පැන පැන දොළොස් ගවුවක් තැන් පය බිම නො ගා දිව, සිංහයක්හට හසු වූ ඇත් පොව්වකු සේ බෝසතාණන් හැරගෙන පලා ගියේ ය. එ වේලෙහි බෝධිසත්ත්‍වයෝ මරණ භයක් නැති ව ඔහු කරපිට හිඳ ම මඟදී නොඑක් කතා කොට ඔහු සපථයෙන් ගිවිස්වා ගැළවී නැවත නුවරට අවුදින් සතාරහ ගාථාවෙහි බණ අසා සහස්සාරහ වූ පූජා කොට රාජ්‍යයට අනුශාසනා කොට දෙවන දා උදෑසන එකලාව ම පෝරිසාදයාගේ නුග ගස කරා ගිය දෑ ය.

එ වේලෙහි පෝරිසාදයා තැන තැන ගිනි අඟුරු මැල බැඳ සිය ගණන් උල් සැස “එක්සියයක් රජුන් මරා දැන් දැන් බිලියම් දෙමි”යි සිත සිතා බෝසතුන් එනතුරු මග බල බලා සිටියේ ය. එ වේලෙහි බෝධිසත්ත්‍වයෝ පෝරිසාදයාගේ බිලියම් මඩුල්ල හා මලාගිය සපු මල් දම් සේ කෙඳිරි ගසා ගස අතු අත්තෙහි එලෙන රජුන් දැක උපන් මහා කරුණා ඇතිව පෝරිසාදයා හා සමග නොයෙක් විසිතුරු කතා කොට:

පඤ්ච පඤ්ච නඛා භක්ඛඃ - ඛත්තීයෙන පජානතා,

අභක්කං රාජ භක්ඛෙසී - තස්මා අධම්මිකො තුවං - යි.

යනදීන් නොඑක් ප්‍රකාරයෙන් බණ වදාරා ඔහු නරක භයින් තැති ගන්වා දමා, දිවිහිමියෙන් ප්‍රාණයක් නො නසන සේ හික්මවා වදාළ සේක.

ඉක්බිත්තෙන් ඒ දේශනාවෙහි ප්‍රසන්න වූ මනුෂ්‍ය භක්‍ෂක යක්‍ෂාකාර වූ ඒ පෝරිසාදයා පවා බෝසතුන්ගේ ජීවිත ය පූජා කෙළේ ය. එක්සියක් රජුන්ගේ ජීවිත ද පූජා කෙළේ ය. දිවිහිමියෙන් පඤ්චශීලය රක්‍ෂා කොට සම්‍යක් ප්‍රතිපත්තීන් පූජා කෙළේ ය. ඒ සා මරණ භයින් ගැලවුනා වූ එක්සියක් රජ දරුවෝ ද තමන් තමන්ගේ රාජ්‍යශ්‍රීයට පැමිණ දිවි පමණින් ධන පමණින් පූජා කළහ.

මෙසේ මාගේ ස්වාමිදරුවන් බුදු නොව පාරමිතා භූමියෙහි සංසාරගත ව ඇවිදුනා කල පවා පෝරිසාදයා වැනි මනුෂ්‍ය යක්‍ෂයන් දමා මෙසේ මෙසේ වූ පූජා ලත් කල දැන් ලොවුතුරා බුදු ව ආළවක නම් යක්‍ෂයාගේ විමනට වැඩ නොයෙක් පෙළහරින් ඔහු දමා එ දා ඔහුට බිලියමට ගෙනා අළවු රජකුමරුවා හා බත් තටුවෙන් පූජා ලත් නියාව මට කවර ආශ්චර්‍ය්‍යයක් ව වැටහෙන හෙයින් මාගේ බුදුහු අර්හත් නම් වන සේකැ යි කියම් ද. එසේ ද වුවත් මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදි:

පූජාවිසේසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලෝකනාථො,

අත්‍ථානුරූපං “අරහං” ති ලෝකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං - යි.

මේ පූජාවලියෙහි අප බුදුන් සංසාර ගත ව ලද

පළමුවනජාතිභෙද පූජා කතා නම් වූ පස්වන පරිච්ඡේදය නිමි.

  1. ත්‍රිවික්‍රමයක්

  2. ලේන ව,

  3. කුකුළු ව

  4. ගග්ග ජාතකයෙහි.

  5. උත්තරාඹරයෙහි.

  6. මෙහෙසිපියා