බුද්ධකාරක ධර්‍ම

star_outline

තව ද: අප බුදුන් ධර්මාශෝකාදී ජම්බුද්වීපයෙහි රජුන්ගෙන් ලද උද්දේසික පූජා නම් කවර යත්?

මෙහි උද්දේසික පූජාවෝ වනාහි බුදුන් අයාමෙහි වන්නාහ. එසේ හෙයින් බුදුන්ගේ පරිනිර්‍වාණය දක්වා මුත් මතු කථා උපදවා ගැන්මට මුඛ නො වන බැවින් ඒ කථා පරිනිර්‍වාණ සූත්‍ර-මහාවංශාදියෙහි සෙයින් විස්තර වසයෙන් කියත්, ග්‍රන්‍ථය විසාරද වන හෙයිනුත් අසන්නවුන් ද කුසීත වෙති යි සිතා මතු කියන ඒ උද්දේසික කථා සංක්‍ෂෙපයෙන් දක්වනු ලැබෙයි. දනුමැතියන් විසින් සාවධානව ඇසිය යුතු.

මෙසේ මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ දීපඞ්කර පාදමූලයෙහි පටන් යට කී සේ ම සමතිස් පැරුම් පුරා තුසීපුරෙන් වැඩ, බුදු වූ ජාතියෙහි මවුකුස පලග් බැඳ සියලු සත්ත්‍වයන්ට පෙනි පෙනී දසමසක් වාසය කළාවූ මේ පළමුවන බුද්ධකාරක ධර්‍මය ය. දස දහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්මයන් මධ්‍යයෙහි මවුකුසින් බිහි ව, කලක් ගිහිගෙයි වැස මහභිනික්මන් කොට දුෂ්කරක්‍රියා පුරා බුදුවන දා කිරිපිඬු වළඳා වැළඳූ තලිය නාගභවනයට හළුවාවූ දෙවන බුද්ධකාරක ධර්‍මය ය. තවද: තණපලඟෙහි පූර්වදිග් බලා චතුරඞ්ගයන් ඉටා වැඩහුන්නාවූ තුන්වන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: එ ම හස්නේ හිඳ ආනාපාන කර්‍මස්ථානයන් මෙනෙහි කළාවූ සතරවන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: එම හස්නේ හිඳ මරසෙනඟ ජය ගත්තා වූ පස්වන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: එම පර්‍ය්‍යඞ්කයෙහි වැඩහිඳ බුදුවූවා වූ සවන බුද්ධකාරක ධර්‍මය ය. තව ද එම පර්‍ය්‍යඞ්කයෙහි දීම ෂට් අසාධාරණ ඥාන ලද්දාවූ සත්වන බුද්ධකාරක ධර්‍මය ය.

තව ද: එම පර්‍ය්‍යඞ්කයෙහිදී ම බුද්ධඥාන ලද්දා වූ අටවන බුද්ධකාරක ධර්‍මය යි. තව ද: බුදු වූ සත්සතියක් නිරාහාරයෙන් දවස් යැවූ නවවන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: මහාබ්‍රහ්මයාගේ ආරාධනාවෙන් ධර්‍මදේශනා කළා වූ දසවන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: ඉසිපතනයෙහි වැඩහිඳ දම්සක් දෙසුවා වූ එකොළොස්වන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: නවම් මැදි පොහෝ දා චතුරංගයෙන් ප්‍රාතිමෝක්‍ෂ දේශනා කළා වූ දොළොස් වන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: බන්ධු සමාගමයෙහි දී බුද්ධවංශ දේශනා කළා වූ තෙළෙස් වන බුද්ධ කාරක ධර්‍මය ය. තව ද: ජෙතවනාරාමයෙහි ම වාසය කළා වූ තුදුස් වන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: සැවැත් නුවර දී යමාමහ පෙළහර පෑවා වූ පසළොස්වන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: තවුතිසා භවනයෙහිදී විජම්බණ දේශනා කළා වූ සොළොස් වන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: සකස් පුර දොරටම දෙව් ලොවින් වැඩියා වූ සතළොස්වන බුද්ධකාරක ධර්‍මය ය. තවද: දවස දවස අටසාලිස් කෙළ ලක්‍ෂයක් ඵල සමවත් සමවන්නාවු අටළොස් වන බුද්‍ධකාරක ධර්‍මය ය. තව ද: දවස දවස වෛනෙය ජනයන් බලන්නාවූ දසනව වන බුද්ධකාරක ධර්‍මය ය. තවද: දුටු දුටු වරදෙහි ශික්ෂාපද පනවන්නාවූ විසි වන බුද්ධකාරක ධර්‍මය ය. තවද අර්ථොත්පත්තියෙහි ජාතක දේශනා කරන්නාවූ එක්විසිවන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: ආගන්තුකයන් හා පටිසන්‍ථාර කරන්නා වූ දෙවිසිවන බුධකාරක ධර්‍මය ය. වස් අන්තයෙහි අනාපුච්ඡාවෙන් නොවඩනා වූ තෙවිසි වන බුද්ධකාරක ධර්‍මය ය. තවද: දවසින් දවස නොවරදවා කරන පූර්‍වභක්ත කෘත්‍යය නම් වූ සූවිසි වන බුද්ධකාරක ධර්‍මය ය. පශ්චාද්භක්ත කෘත්‍යය නම් වූ පස්විසි වන බුද්ධකාරක ධර්‍මය ය. තව ද: ප්‍රථම යාම කෘත්‍යය නම් වූ සවිසි වන බුද්ධකාරක ධර්‍මය ය. තවද: මධ්‍යම යාම කෘත්‍යය නම් වූ සත් විසි වන බුද්ධකාරක ධර්‍මය ය. තවද: පශ්චිම යාම කෘත්‍යය නම් වූ අටවිසි වන බුද්ධකාරක ධර්‍මය ය, පරිනිර්‍වාණ දිනයෙහි මාංස රස භෝජනය අනුභව කළා වූ විසිනව වන බුද්ධකාරක ධර්‍මය ය. තවද දීර්ඝ කාලයක් ප්‍රියවාසයෙන් එක ගෙයි විසූ කල්‍යාණමිත්‍රයකු වියෝග වන කාලයෙහි නො එක් විට වැළඳ සිඹ සනහා අත්හරනා සේ, තමන්වහන්සේ බුදුවූ දා පටන් දවස දවස වසීභූත කළාවූ සූවිසි කෙළ ලක්‍ෂයක් ඵලසමාපත්තියට සමවැද එයින් නැගී පරිනිර්‍වාණය කරන්නාවූ තිස් වන බුද්ධකාරක ධර්‍මය ය යි යන මේ හැම බුදුන් නො වරදවා කරන්නාවූ සමතිංශත් බුද්ධකාරක ධර්‍මයන් ම තමන් වහන්සේත් නොවරදවා ම සම්පූර්ණ කොට-[1]

  1. විපුල