යශෝධරා දේවිය

star_outline

තව ද: අප බුදුන් රජගහ නුවර දී යශොධරා මහාස්ථවිරීන්ගෙන් ලද ප්‍රාතිහාර්‍ය්‍යාදි ප්‍රතිපත්ති පූජා නම් කවර? යත්;

මේ එහි පිළිවෙළ කථාව ය, සත්පුරුෂ වූ ස්ත්‍රී පුරුෂයන් විසින් සාවධානව කන් නමා ඇසිය යුතු.

ඒ යශෝධරා දෙවී නම් අප බුදුන්ට සංසාරයෙහි දු ඔබගේ පාරමිතා නමැති මහලියයට උදකසේතුවක් සේ අනුබල ව ආ කෙනෙක, ඔහු තුමු මෙසේ සංසාරයෙහි දු ඔබ හා සමඟ අවුත් කෙළවර වෙස්සන්තර ජාතියෙහි දන් පැරුම් කුළුගන්වාලා ඔබ හා සමඟ ම ගොස් තුසීපුරයෙහි ඉපැද බොහෝ කලක් එක් ව දිව්‍ය සම්පත් විඳ සුදොවුන් රජාණන් නිසා මහාමායා දේවීන් කුස පිළිසිඳ ගත් වේලෙහි එම ඇසළ මැදි පොහෝ ලද උතුරුසළ නකතින් තුමු ද තුසී පුරයෙන් සැව අවුත් කෝළිය නුවර මහාමායා දේවීන් බැහැනන් සුප්‍රබුද්ධ රජ්ජුරුවන් නිසා, සුදොවුන් රජාණන් නැගණියන් අමිතා නම් බිසොවුන් කුස පිළිසිඳ බුදුන් හා සමයේ ම දෙතිස් මහා පූර්‍වනිමිත්ත නම් අද්භූත වූ ප්‍රතිසන්ධි පූජාවන් ලදින්, ඔබ සේ ම ගබපෙරහර මඟුල් ලදින්, බුදුන් උපන් වෛශාඛ යෝගයෙන් ම එම විගස තුමූ ද මවුකුසින් බිහි ව බුදුන් සේ ම ප්‍රසව මංගල පූජා ලදහ.

එකල ශුද්ධෝදන රජ්ජුරුවෝ කාළදෙවල නමස්කාරයෙහි පුතණුවන් වහන්සේ බුදු හෝ සක්විති රජ හෝ වන මහ පින් ඇති බවු දැන “ම පුතණුවන් හා එක වේලෙහි උපන් පින්වත් කෙනෙක් කවුරුදෝ හෝ”යි පරීක්‍ෂා කරන්නාහු, ඒ එක දඹදිව තබා අනන්තාපරියන්ත වූ සක්වළ දිව්‍යලොක මනුෂ්‍යලොකවල ද බුදුන් හා එක වේලෙහි ප්‍රතිසන්‍ධියක් වේව යි, උත්පත්තියක් වේව යි, චුත වීමක් වේව යි, නො වනු එකාන්ත ධර්‍මතාවක් බැවින් අනික් කිසි සත්ත්‍ව කෙනෙකුන් නොදැක තමන් නැඟණියන් දියණි කෙනෙකුන් එ විගස ම ලදහ යි අසා ඉතා විස්මය පත් ව “එකාන්තයෙන් ම පුතණුවෝ මහ පින්වත්හ. උන් හා එකවේලෙහි උපන් ස්ත්‍රියක නම් උන් නිසා ම උපන මැනැව, මට යෙහෙලි ව උපන් හෙයිනු දු ම පුතණුවන්ට ම භාර වන භාර්‍ය්‍යාවක ම වුව මැනැව, එසේ හෙයින් එසේ මෙසේ ස්වල්ප එකක නො වූව මැනැව, ම පුතණුවන් හා සම සම ම පින් රැස්කොට ආ මහ පින්වතක වුව මැනැවැ”යි යෙහෙළණියන් කෙරෙහි මහ පෙම් බැඳ බුදුන්ට කිරිමවුන් තෝරන සමයෙහි ඔවුන්ට ද උතුම් උතුම් වූ කිරිමවුන් තෝරා යවා එ තැන් පටන් සියලු මඟුල් ම බුදුන් සමසමයෙහි එකි එකී වේලෙහි ම කරවා යෙහෙළණියනු දු මහ පෙරහරින් වැඩූහ.

එ කල ඔහු බිම්බරූපයක් බඳු වූ රූප ශ්‍රී ඇති වූහ. එසේ හෙයින් බිම්බා නම් ලදහ, තමන් උපන් ගෙයි පහන් නො නංවන තරම් දිව්‍ය සමාන ශරීර ප්‍රභා ඇතියහ., පඤ්චකල්‍යාණයෙන් කල්‍යාණ වූ රූපශ්‍රී ඇතියහ. බුදුන්ට අනුවූ ලක්‍ෂණ සම්පත් ඇතියහ. මුළු දඹදිව් තෙලෙහි ඔවුන්ට වඩනා ස්ත්‍රීරත්නයෙක් නැත. මෙසේ බෝසතුනු දු, ඔවුනු දු, සොළොස් ඇවිරිදි වයස් වූ කල ශුද්ධෝදන රජ්ජුරුවෝ “ම පුතණුවන් කාමබන්‍ධනයෙන් බැඳ තපසට යා නො දෙමි යි, සක්විති රජ කරවමියි ම යෙහෙළි එ කල ස්ත්‍රීරත්න වන්නී ය”යි කියා මහත් වූ මඟුල් කොට බිම්බා දෙවීන් සරණ පාවා දී බෝසතුන් හා දෙදෙනා ම එක වේලෙහි ම ඔටුනු පලඳවා අභිෂේක කොට රාජ්‍යය පුරුදු කැරවූහ. එ තැන් පටන් ඔහු සයානූලක්‍ෂයක් ස්ත්‍රීසේනාවට අධිපතිව, බෝසතුන්ට අගමෙහෙසි ව මන වඩා වැස පද්මයට පැමිණි ශ්‍රීකාන්තාව සේ ශ්‍රීසම්පත් වුන්හ.

පසු ව තමනු දු, බෝසතුනු දු, එකුන් තිස් හැවිරිදි වූ කල මහත් වූ යශ පිරිවර දරන හෙයින් යශෝධරා දේවි ය යි දඹදිව දෙවන නමින් ප්‍රසිද්ධ වූ කල රාහුල නම් පුතණුවන් වහන්සේ තමන් වැදු දවස් යට කී ක්‍රමයෙන් බුදුන් මහභිනික්මන් කොට අනෝමා නම් ගංතෙර දී පැවිදි වූ දවස් ම තුමූ ද “ඔබ හළ සැපත් හැර මම ද වල් ගොස් තපස් කෙරෙමි”යි උත්සාහ කළහ. එ කල ශුද්ධෝදන රජ්ජුරුවෝ යෙහෙළණියන් කෙරෙහි මහත් වූ අනුකම්පායෙනු දු පුතණුවන් වහන්සේ දෙවනු ව රාජ්‍යයට ගෙන්වා ගනිමියි යන සිතිනුදු යෙහෙළණියන් තපසට යා නොදී, උනුදු තමන්ට සොරා ම පලා යෙති යි බෝසතුන්ට කළා සේ ම නුවර සිසාරා යොදනක් මානයෙහි සන්නාහයකින් වැසුවා සේ, ඇත් අස් රථ දුනුවායන් සිටුවා රකවල් ලවා නුවර සේ ම කැරවූහ. ස්ත්‍රියකට මේ සා තරයේ රකවල් ලවන්ට කාරණ කිම? යත්; අනික් කාරණයකුදු ඇත; යශෝධරාවෝ නම් දඹදිවු තෙලෙහි අග්‍ර වූ රූ සම්පත්ති ඇතියහ, එසේ හෙයින් ම පුතණුවන් තපසට ගිය බවු අසා දඹදිව බොහෝ රජදරුවෝ ඔවුන් ප්‍රාර්ථනා කරන්නාහු බලයෙන් ගෙන යම්හයි ඉදින් ආ කෙනෙක් ඇත් නමුත් කුමකින් කුමක් වේ දෝ හෝ’ යි සැක සිත් ඇති ව රකවල් ලැවුහ යි දතයුතු.

එ කල යශෝධරා දේවී “මා තපසට යා නො දෙන පසු උන් වහන්සේ මහණ ධර්‍ම පිරීමෙන් විඳිනා යම් ම දුකෙක් ඇත් නමුත් මම මේ රජගෙයි දී ම දුක් විඳ, ඔබට ම පක්‍ෂපාත කම් කෙරෙමි” යි සිතා මිනිසුන් යවා බුදුන් දවස් යවන ලෙස් නියම දන්නාහු ඔබ ඉසකේ කැපූ බවු, මහණ වූ බවු, පිඬු සිඟා ජීවත් වන ලෙස්, මත්තිකා භාජනයෙන් අනුභව කරන ලෙස්, එක් වේලේ වළඳන ලෙස්, උසසුන් මහඅස්නේ නො සැතපෙන ලෙස් ද අසා උපන් මහත් වූ කම්පා ඇති ව “එක රජගෙයි බොහෝ දවසක් ශ්‍රී සම්පත් විඳ උන් වහන්සේ ඒ හැර දැන් මේ සා දුකක් විඳින්නේ මතු වන වැඩක් උදෙසා ම ය, ඔබට මතු වන වැඩක් මට ද වී නම් යෙහෙකැ” යි කියා තුමු ද කෙස් වැටිය කපා හැර කාෂාවස්ත්‍ර ධරා, මැටි පාත්‍රයෙන් කා එක්වේලේ සයින් හෙව උසසුන් මහ අස්නේ නො සැතපී නිවාසනවල ම සැතපී, බුදුන් දක්නා සත් අවුරුද්ද මුළුල්ලෙහි, තුමූ ද නො එක් ව්‍යසන ගෙන ඔබට අනු වූ ගුණයෙන් ප්‍රතිපත්ති පූජා කළහ. පසු ව බුදුන් ලොවුතුරා බුදු ව, යට කී ක්‍රමයෙන් පළමු වන ගමනෙහි බන්ධු සංග්‍රහය නිසා කිඹුල්වත් නුවර වැඩි දෙවන දවස් වළඳා අන්තයෙහි තමන්ගේ රජගෙට වැඩ තමන් ඔබගේ ශ්‍රීපාද ගොප්මස දක්වා අල්වා මහ හඬින් හඬා එකත් පස් ව හුන් වේලෙහි පියමහරජ්ජුරුවට උපන් සැක හා තමන්ට උපන් භය සන්හිඳුවනු සඳහා චන්‍දකින්නර ජාතකයෙන් බණ වදාරා;

උපකාරී ච යා නාරී – සමානා ච සුඛෙ දුඛෙ

අත්‍ථක්ඛායී ච යා නාරී – සුන්දරී චානුකම්පිකා,

එවං ධම්මෙ සුචිණ්ණානං – සදා සද්ධම්මචාරිනං

ධම්මචාරී සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්හි ච-”යි.

යනාදීන් මුව නො පොහොනා සේ බුදුන් තමන්ගේ ගුණ වදාරා එක්ලක්‍ෂ සැටදහසක් බන්ධුසේනාව සාධුකාර දෙවාපු දවස් තුමුද මහත් වූ සන්තෝෂයෙන් පිනා එ දවසු දු මහණ වනු කැමැති වූහ. භික්ෂූණී ශාසනයට ඔබ පළමුව මහණ නො කළමනා හෙයිනුත්, ඒ ස්ථානාන්තරය කුඩා මෑණියන් වහන්සේ ලදමනා හෙයිනුත් බුදුහු නො ඉවසා වදාළ සේක. මයිල් රජ්ජුරුවෝ ද නැවතූහ. පසු ව සත්වන දවස් රාහුල නම් පුතණුවන් වහන්සේ සර්වාභරණයෙන් සරහා නරසීහ ගාථා උගන්වා “තොප පියාණන් වහන්සේ අතින් පුතණ්ඩ! දායාද සම්පත් ඉල්වා ගන්ව”යි බුදුන් සිඟා වඩනා රාජවිථියට යවු දවස් “බුදුන් වෙහෙරට ගෙන ගොස් ඔබ මහණ කරවා ගත්හ” යි අසා උපන් මහත් වූ දරු සනායෙන් සෝදුක් ඉවසා ගත නොහී “හෙ බැවින් ම පුතණුවනු දු මට නොදී උදුරා ම ගත් බැවින් මම ද ගිහිගෙයි නොවෙසෙමි, මහණවෙමි”යි සාහසික වූහ.

එ බව් අසා මයිල් රජ්ජුරුවෝ යෙහෙලණියන්ගේ රජගෙට ගොස් “යෙහෙළිනි! එ දවස් වදාළ වෙස්සන්තර ජාතකයෙහි තොප වැදූ දරුවන් බමුණාට බැඳ දුන් කල පවා තොප ඉවසූ ලෙස් නො ඇසු ද, තොප එ දවස් මෙම ගෙයි දී වදාළ බණෙහි තොප වැදූ දරුවන් ම යාචකයන්ට බැඳ දුන් වැල් පමණක් රැස් කරතොත් මෙර පරයා සිටිනා ලෙස් නො ඇසූ ද? කිසි කලෙකත් තොප දොම්නසක් නුවූහ යි වදාළ බස් නො ඇසූ ද, දැන් උන්වහන්සේ ලොවුතුරා බුදු ව මා ඇතුළු වූ මුළු ලෝවාසීන් දරුකොට ගත් සමයෙහි තමන්වහන්සේ ම වදා ගත්, තමන් වහන්සේගේ ම, පුතණුවන් මහණ කරවා ගතුයේ කවර වරදෙකැයි කියමෝ ද, උන් මහණ කැරවූහ යි අසා මම ඔබට කිපී ගොස් ඔබ අතින් බණ අසා උපන් සන්තෝෂයෙන්, යෙහෙළිය තොප අනික් දරු කෙනෙකුන් නො වැදූ හෙයින් මිස, මාගේ එ වැනි අනික් මුණුබුරු රුවනක් නැතිහෙයින් මිස, උනු දු ඔබ කෙරෙහි මහණ කරවා පියනු කැමැති වීමි, අද තෙපිද ඔබ අතින් බණ ඇසූ නම් එ පුතණුවන් තබා අනික් පුතණු කෙනෙකුන් මා නො ලද සේ ය යි සිතවු ම ය. පෙර බොහෝ දරුවන් ඔබට වදා දී, බොහෝ දරුවන් දන් දෙවාපු තැනැත්තන් දැන් එක පුතණුවන් නිවන් සුව විඳිනට තමන්වහන්සේ කරා හයා ගත්හ යි තොප දොම්නස් වන සේ, සෝක කරන සේ, ඉතා නො යෙදෙයි, ඒ තොප වැනියන්ට සුදුස්සෙක් නො වෙයි, බුදුහු තොප පුතණුවන්ට උතුම් වූ වැඩක් ම කළහ, දැන් තොප පුතණුවන් සුන්‍දර වූ මහණ වෙසක් ගෙන පියාණන් වහන්සේ ළඟ සඳට අනු වූ නකත් තරුවක් සේ සිටිනා ලෙස් දුටු නම් මේ ලෝකයෙහි දරු ලදුවානට අනික් එ බඳු සතුටෙක් නැත. මෙතැන්හි දී යෙහෙළි තෙපි මහණ වූ නම් තොපගේ සැදැහැයෙක් නො පැනෙයි, තොප දරු ශෝකයෙන් මහණ වූවා සේ ලෝවැසියෝ තොප හෙළා දක්නාහ, මේ ආදී කාරණයෙන් මෙ තැන්හි මහණ නො වව”යි කියා නො එක් කාරණයෙන් ගිවිස්සා රැඳවූහ.

පසුව ඒ මයිල් රජ්ජුරුවන් දළපුඩු සේසතින් යුක්ත වූ යහනෙහි වැදහෙව අමාමහ නිවන් දැක පිරිනිවන් පෑ සමයෙහි “මෙවිට මහණ වෙමි”යි උත්සාහ කළහ. එ කල මහාප්‍රජාපති ගොතමී නම් වූ නැන්දනියන් වහන්සේ “ පුතණ්ඩ! මා වැනි මවුන් පවා තුන්වාරයක් යාච්ඤා කොටත් ස්ත්‍රීන්ට පැවිදි නුදුන් සේක, තොප බුදුන් බුදු වූ කල් තබා, ඔබ ගිහිගෙයි වසන කල පවා, තොප අග මෙහෙසින්ව වැස ඔබ කෙරෙහි ඉතා වල්ලභ සමයෙහි පවා ඔබ පෙරට සිට භය ලජ්ජාවෙන් පුරා බස් දෙකකුත් කියා ගත නො හෙව, දැන් ඔබ අතින් පැවිදි ඉල්වා ගැන්ම තොප වැනියන්ට බැරි ය, තව ද මම් ම ගොස් පැවිදි ඉල්වා බලමි, පැවිදි ලදිම් නම් මා මහණ වූ දවසෙක තෙපි මහණ වව” යි නැවතූ දෑ ය. මහාප්‍රජාපතී ගෝතමීන් වහන්සේ යට කී ක්‍රමයෙන් බුදුන් කරා ගොස් මෙහෙණි සස්න අනුදන්වා ගෙන මහණ ව අමාමහ නිවන් දැක බුදුසසුන් හොබවා විශාලා මහනුවර වැස ලෝවැඩ සසුන් වැඩ කරන සේක.

එ කලට බුදුන්ගේ පිරිවර හා තුන්පාය හා නළුපිරිස් ඇතුළු වූ සියලු රජසැපත ය, මහාමායා දේවීන් වහන්සේගේ සියලු ඓශ්වර්‍ය්‍ය සම්පත ය, සුද්ධෝදන රජ්ජුරුවන්ගේ සියලු ඓශ්වර්ර්‍ය්‍ය හා රාජ්‍ය සම්පත්තිය ය, නන්‍ද රාහුල දෙදෙනාට හිමි ව තුබු සැපත ය, දෙවිදත් කුමාරයන් තමන්ගේ බැහැනන් හැරපියා ගිය ලක්‍ෂගණන් පරිවාර ජනයන් හා රජ සැපත ය, පියාණන් සුප්‍රබුද්ධ රජ්ජුරුවන්ගේ සියලු සම්පත්ති ය, මහා ප්‍රජාපතී ගෝතමින් වහන්සේගේ සියලු ඓශ්වර්යය හා සියලු සම්පත්තිය ය, යන මේ සියලු පරිවාර ජනයන් හා සියලු සම්පත් මහ මුහුදට වදනා ගංගාප්‍රවාහයක් සේ ඒ යශෝධරා දේවීන්වහන්සේ කරා පැමිණියේ ය. මහ මේරුව ගලා සිටිනා මහාසමුද්‍රය සේ ඒ සා මහත් සම්පත්තිභාරයක් උසුලන්නාහු, ඒ සා සැපත් තමන් ග්‍රීවයෙහි බැඳි අහිකුණපයක් කොටත් නොසිතා පඞ්කයෙන් ඉපැද පඞ්කයෙහි අමිශ්‍ර වූ පදුමරාජයක්හු සේ, දියෙහි තිබී දිය හා එක් නො වන පියුම්පතක් සේ, තුමූ ද සම්පත් හා එක් නොව ලෝභය අහසට පොළොව සේ, දුරින් දුරු කොට බුදුන් හා වියෝගශෝකය හා පුතණුවන් වහන්සේ එක්වන් නො දක්නා ශෝකය හා මේ දෙ ශෝක භාරය පමණක් ධරාගත නො හී “සත්හැවිරිදි ම පුතණුවන් රහල්කුමරුවන් වැනියන් බුදුන් කරා ගොස් දැන් මහණ දම් පුරන කල එකලා වූ මා වැනියන්ට මේ සම්පත්තියෙන් කම් නැත, එතෙකින් ගොස් මම ද මහණ වෙම් ම ය”යි අධිෂ්ඨාන කොට බෝසතාණන් කෙරෙහි ඉතා වල්ලභ වූ දහසක් පමණ බිසෝවරුනු දු ගිවිස්වා ගෙන ඒ දහසක් ස්ත්‍රීනු දු පිරිවරා කිඹුල්වත් පුරයෙන් නික්මුණු දෑය.

එකෙණෙහි ශාක්‍ය කෝලිය දෙනුවර වැසි හිඟුම් ගත් දෙමුහුදක් සේ හැළල දෙනුවර වාසීහු පෙරමඟට අවුත් නො එක් ප්‍රකාරයෙන් යාච්ඥා කොට රඳවාගත නොහී “දේවීනි! නුඹ එකාන්තයෙන් නොරඳන බැවින් බුදුරජාණන් වහන්සේ පවා අශ්ව යානාවෙන් මහභිනික්මන් කළ සේක. නුඹවහන්සේ ද තෙල කෝමල වූ ශ්‍රීපාදයට දුක් නො දී යානා නැඟී වැඩිය මැනැවැ”යි කිය කියා හිරි මඬුලු සඳමඬුලු සේ රන් රිදී කර්‍මාන්තයෙන් දිලියෙන රථ දහසක් ගෙන අවුදින් පෙරමඟ පිළිවෙළින් තබා “අපගේ රථයෙන් වැඩිය මැනැව, අපගේ රථයෙන් වැඩිය මැනැවැ”යි ආරාධනා කළ හ.

එ කල උන්වහන්සේ දහසක් බිසෝවරුන් බලා “නඟිනි! අප ඓශ්වර්‍ය්‍ය සම්පත් හැර පැවිදි වන්නට යනුවන් රථ නැඟී අලඞ්කාර පිටින් යාම තපසට අංග නො වෙයි. අප බුදුහු රාජ්‍යවාසීන්ට සොරා යන හෙයින් මහණ වන දවස් අශ්වයානාවෙන් සැඟවී වැඩිසේක. එසේත් අනෝමා නම් ගංතෙර දී අසුපිටින් බට තැන් පටන් සහවුරුද්දක් මුළුල්ලෙහි පාදව්‍යසනයෙන් මැ ඇවිද දැන් තුන්ලෝ මුදුන් වූ සේක, එසේ ම අපිදු පයින් ම යම්හ” යි කියා රථ නොනැඟී ඔවුන් දහසක් දෙනා පිරිවරා මහත් වූ වීර්‍ය්‍යයෙන් එක් පනස් යොදුන් මඟ ගෙවා ගොස් විශාලා මහනුවර වැද මහාප්‍රජාපතී ගෝතමීන් වහන්සේ දැක ආ පවත් කියා උන්වහන්සේ කෙරේ මහණ ව ගෙන උභතෝසංඝයා කෙරෙහි උපසම්පදාව ලදමනා හෙයින් තමන් වහන්සේගේ දහසක් භික්ෂුණීනු දු අවශේෂ වූ බොහෝ ශ්‍රාවිකාවනු දු ගෙන “බුදුන්ගේ අදහස් කුමක් බවුත් නො දනිමි. මා කැඳවාගෙන ගොස් බුදුන් හා ම පුතණුවන් මට දක්වා වදාළ මැනැවැ”යි මහාප්‍රජාපතී ස්ථවිරීන් වහන්සේට කියා ඔබ කැඳවා ගෙන සැවැත් නුවර බලා නික්මුණු සේක. එ තෙපුල් ඇසූ දඹදිව නො එක් ශ්‍රද්ධාවන්තයෝ මල් සුවඳ ධ්වජපතාකාදී නො එක් පූජාභාණ්ඩ ගෙන ඔවුනොවුන් පරයා දිව දිව දවසින් දවස මහත් වූ සත්කාර කෙරෙමින් යොදනින් යොදනෙහි සතපමින් ගමින් ගම මහ දන් වතුරු කෙරෙමින් වඩාගෙන යන්නාහ.