මෙසේ මාගේ ස්වාමිදරුවාණන් ලුම්බිනී වනෝද්‍යානයෙහි දී මුළුලොවට මුදුන් මල්කඩක් සේ, මුළුලොවට අමාකඩක් සේ, මුළු ලොවට රුවන්කඩක් සේ, මවුකුසින් බිහිව මෙසේ මුරු බඹ කැලන් කළ පූජා ලත් කල ශාක්‍ය-කෝලිය දෙනුවර එක්ලක්‍ෂ සැටදහසක් රජදරුවෝ මහත් වූ පෙළහර කොට බෝසතුන් කිඹුල්වත් පුරයට ම වඩාගෙන ගියහ.
තව ද; වෙස්සන්තර ජාතකයෙහි මද්‍රිදේවී බෝසතුන් හා සමගම සම වූ ආයුඃශ්‍රීන් රාජ්‍යශ්‍රී විඳ එයින් සැව බෝසතුන් හා සමග ම තුසීපුරයෙහි ඉපැද සත් පනස්කෙළ සැටලක්‍ෂයක් හවුරුදු මුළුල්ලෙහි බෝසතුන්ට ම අගමෙහෙසුන් ව වැස, දෙව්බඹුන්ගේ ආරාධනා ඉවසා බෝසතුන් අවුත් මේ ශුද්ධෝදන රජහට දා ව මේ මහාමායා දේවීන් කුස පිළිසිඳ ගත් වේලෙහි ම ඒ අගමෙහෙසින් වූ දිව්‍යාඞ්ගනාවෝ ද තුසීපුරෙන් සැව අවුත් දෙව්දැහැ නම් වූ කෝළිය නුවර මහාමායා දේවීන් බෑ සුප්‍රබුද්ධධ රජහට දා ව සුද්ධෝදන රජ්ජුරුවන් නං වූ අමිතා නම් බිසොවුන් කුස පිළිසිඳ බෝසතුන් මවුකුසින් බිහි වූ එම වෙසඟ මැදි පොහෝ දා විසා නකතින් තුමූ ද බිහි ව යශෝධරා නම් ලද. එදා ශුද්ධෝදන රජ්ජුරුවෝ “මපුතණුවෝ මහපින් ඇතියහ. අද උන් හා එක නකත උපන් රජ දුවක් කවරක් දෝ හෝ” යි තෙසැට දහසක් රාජධානි පරික්‍ෂා කරවා තමන් නැගනියන් එ දා දුවක ලදහ යි අසා “ම යෙළී මපුතනුවන්ට මතු අගමෙහෙසුන් වෙ”යි කියා එ දවස් ම පුතනුවන් නමින් කිරිමවුන් ලවා සියලු මගුල් ම එකදා කරණ සේ නියෝග කළහ.