එ කෙනෙහි ශුද්ධාවාසයෙහි වසන අරහන්ත බ්‍රහ්මරාජයෙක් මඞ්ගල සම්මත වූ රන්දැලක් දෑතින් ගෙන පෑ බෝසතුන් පිළිගෙන රූපශ්‍රී බලා සතුටු ව “දේවීනි! තොප කුසින් මුළුලොවට මුදුන් මල්කඩක් වැනි වූ මහේශාක්‍ය වූ පුතෙක් උපන. ඉතා සන්තෝෂ වෙව”යි කියා මගුල් තෙපුල් කී ය. අවශේෂ වූ සත්ත්‍වයෝ මවුකුසින් පිටත් වන්නාහු ලේ මුසු වූ ශරීර ඇති ව ප්‍රතික්කූල වූ ශරීර ඇති ව පිටත් වෙති. ඔවුන්ට මහත් වේදනා දක්වා කර්‍මජවාතයෙන් මිරිකී ඉස යටත් ව ලා පෙරළී කෙසිවියකින් අදනා ඇත් පොව්වන් සේ මවුන් මතු දරුවන් වැදීමට ලෝභ නැති කරවා ප්‍රසූත වන්නාහු ය. එසේ නොව මාගේ ස්වාමි දරුවානෝ තමන්ට ද කිසි පීඩාවක් නැති ව මෑණියන් වහන්සේ නො දන්නා සේ, ධර්මකාරකයෙක පුරා ලූ දියත්තක් යෙහෙන් පිටත්ව යන්නා සේ, අතුල් පතුල් දිගු කොට මවුකුසෙහි කිසි කුණපයකුත් නුමුසු ව ඉතා පරිශුද්ධ ව, ඉතා විශාරද ව, ඉතා ප්‍රේමකර ව, කසීසළුවකින් වසා තුබූ ජාතිරඞ්ග මාණික්‍යරත්නයක් සේ දිලියෙමින් මවුකුසින් නික්මුණු සේක. මෙසේ පරිශුද්ධ වූ ශරීර ඇත ද බෝසතාණන් වහන්සේට ද, මවු දේවීන් වහන්සේට ද උපචාර සඳහා ආකාශයෙන් ජලස්කන්‍ධයෝ දෙදෙනෙක් රිදීකඳන් සේ දිව අවුත් දෙදෙනා ම පිරිසිදු කොට නාවා අන්තර්ධාන ව ගියාහු ය.
එ කල බෝසතාණන් වහන්සේ [1]රන් දැලට බිහි ව පිළිගෙන සිටි බ්‍රහ්ම රාජයා අතින් වරම් රජදරුවෝ සතරදෙන අභිමඞ්ගල සම්මත වූ සියුම් පහස් ඇති අඳුන් දිවිසමින් පිළිගත්හ. ඔවුන් අතින් මගුල් මහ ඇමැතියෝ දිව්‍යදුකූල‘චුම්බටකයෙන් පිළිගත්හ. ඒ ඇමැතියන් අතින් බසිමි යි පොළොව පලා සිරිපතුල්සුං දිගු කළ සේක. එ කෙනෙහි පොළොව පලා මහ පියුමෙක් පැන නැගී සිරිපතුල් පිළිගත. එ කෙණෙහි පියුම්ගබ රාජහංස ලීලායෙන් වැඩසිට පැදුම් දිසාව බැලූසේක. එ දෙස දසදහසක් සක්වළ ම එකාඞ්ගන ව පෙනී ගිය. එදෙස දෙවියන් හා මනුෂ්‍යයෝ සුවඳින් මලින් පුදා දොහොත් මුදුන් දී “ස්වාමීනි! මහා පුරුෂයාණෙනි! මෙ දෙස නුඹඹ හා සම කෙනෙකුත් නැත. නුඹට වඩනා කෙනෙකුන් නැත නුඹ ම උතුරුදෑ ය”යි කිය කියා වැන්දාහු ය. නැවත දකුණු දිග බැලූසේක. එ දෙසත් ලොව එකාඞ්ගන වී ය. දෙව්මිනිස්සු වැඳුම් දී “හිමි! නුඹට වඩා උත්තර කෙනෙක් නැතැ”යි ආශිර්වාද කළහ. ඉන්පසු පශ්චිම දිග බැලූ සේක. එදිග දිව්‍යමනුෂ්‍යයෝ හැම සාධුනාද පවත්වා මලින් ගඳින් පුදා “හිමි! නුඹට වඩා උත්තරයෙක් මේ දිගත් නැතැ”යි කියා ස්තුති ඝෝෂා කළහ. ඉක්බිති උතුරුදිග බලා එ දිග දෙව්මිනිසුන් වැඳුම් දුන් කල මෙසේ සතර මහදිගය, සතර අනුදිගය, පොළොවය, අහසය යන මේ දස දිග් බලා තමන් හා සම කෙනෙකුත් නො දැක “මට උතුරු ව සිටි එක ද සත්ත්‍වෙයකුත් නැත. එසේ හෙයින් මම් ම උතුරු වෙමි”යි නැගු නැගූ පත්ලෙහි පියුම් නංව නංවා සත් පියවරක් උතුරු දිගට වැඩ සප්ත පදාන්තයෙහි සිට:
“අග්ගොහමස්මි ලෝකස්ස - ජෙට්ඨොහමස්මි ලෝකස්ස,
සෙට්ඨොහමස්මි ලෝකස්ස - අයමන්තිමා ජාති නත්‍ථිදානි පුනබ්භවො”යි.
යනාදීන් අභීත වූ සිංහනාදයෙන් ගර්ජනා කළසේක. එ දවස් මාගේ ස්වාමිදරුවන් මවුකුසින් බිහිවූදා සත් පියවරක් ඔසවා ගොස් කළා වූ මේ අභීත නාදය දසදහසක් සක්වළ මුළුල්ලෙහි බඹලොව ගසා පැවැත්ත එ කෙනෙහි දස දහසක් සක්වළ දසදහසක් සහම්පතී මහා බ්‍රහ්මයෝ තුන්ගවු සා සේසත් ගෙන බෝසතුන් සිරසට ධරා පූජා කළහ. තවද දස දහසක් ශක්‍රයෝ එක්සිය විසිරියන් දිග ඇති සාරමස් දෙපෝයක් නො නැසී පවත්නා නාද ඇති දස දහසක් දකුණුසක් තුඩ තබා පිඹ පූජා කළහ. තව ද දස දහසක් සුයාම රජහු තුන්ගවු දිග චාමර සලා පූජා කළහ. තව ද දස දහසක් සන්තුෂිත දිව්‍යෙන්‍ද්‍රයෝ තුන්ගවු සා ම දසදහසක් මිණි තල් වැට සලා පූජා කළහ. තව ද දස දහසක් පඤ්චශිඛ දිව්‍යපුත්‍රයෝ තුන්ගවු දිග මිණි වීණා ගායනාවෙන් පූජා කළහ. තව ද සුනිර්මිත පරනිර්මිතාදි සෙසු දිව්‍යරාජයෝ රන් කරඬු, රුවන්කරඬු, රන්මරවැඩි, රුවන්මරවැඩි, මිණිඔටුනු, නලල්පට, මඟුල්කඩු, දිවමල් කඳු, දිවසුවඳ කඳු, දිවසඳුන් සුණු ආදි සියගණන් මගුල් සත්කාර ගෙන සිට අපමණ වූ පූජා කළහ. තව ද මවුකුස පිළිසිඳගත් වේලෙහි සෙයින් ම එදා මවුකුසින් බිහි වූ වේලෙහි ද ලොවට අද්භූත වූ පූර්වනිමිති පූජා දෙතිස ද වී ය.
මෙසේ තමන් බුදුවන ජාතියෙහි මව්කුසින් බිහි වූ ඇසිල්ලෙහි ම දස දහසක් සක්වළ මුළුල්ලෙහි ම සැටදහසක් කාමාවචර දිව්‍යලෝකවල අනූ දහසක් දිව්‍යරාජයන් කළ පූජා හා තව ද දස දහසක් සක්වළ මුළුල්ලෙහි ම අරූතල අසංඥතලයන් හැර එක්ලක්‍ෂ පනස් දහසක් රූපාවචර බ්‍රහ්මලෝකවල බ්‍රහ්මරාජයන් කළ පූජා හා, අද්භූත පූජාවන් දෙතිස් දෙනා හා, දෙලක්‍ෂ සතළිස් දහස් දෙතිස් මහා පූජාවක් මෙසේ ලත් හෙයිනුත්, මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, ත්‍රිභුවන තිලක වූ ත්‍රිභුවනාධිපති වූ ත්‍රිභුවනේශ්වර වූ, ත්‍රිභුවන නායක වූ, ත්‍රිභුවන කල්පද්‍රැම වූ ත්‍රිභුවන චූඩාමණි වූ, ත්‍රිභුවන චින්තාමාණික්‍ය වූ, ත්‍රිභුවන ප්‍රදීප වූ, ත්‍රිභුවනාලෝක වූ, මාගේ බුදුහු අර්හත් නම්වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:
පූජාවිසේසං සහපච්චයෙහි
යස්මා අයං අරහති ලෝකනාථො,
අත්‍ථානුරූපං “අරහං”ති ලොකෙ
තස්මා ජිනො අරහති නාමමෙතං - යි.
මේ පූජාවලියෙහි අප බුදුන් ලුම්බිනීවනෝද්‍යානයෙහි දී ලද
ප්‍රසව මඞ්ගල පූජා කථා නම් වූ නව වන පරිච්ඡේදය නිමි.
-
රන්දැලින්. ↑