5. වෙසක් පෝය

star_outline

කරුණා ධාරාව ගලා යෑමෙන් මහ පොළොවේ අජිව සජීව හැම වස්තුවක් ම නිවී සැනහීම් බවට පත් කළ ශාන්ත ධර්මයේ ආලෝකයෙන් මුළු තුන්ලොව සතුන්ගේ සිත් එළිය කළ වීතරාගී තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ගේ ලොව පහළවීම - බුදුවීම - පිරිනිවන් පෑම යන අසිරිමත් මංගල කරුණු රැසකින් දේවත්වයට පූජනීයත්වයට පාරිශුද්ධත්වයට ඓතිහාසිත්වයට පත්වුණු ශ්‍රී වෛශාඛ පෞර්ණමී දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ගේ පරම පූජනීය ආගමික දිනය යි. ඒ නිමිති කොට පෙර අපර දෙ ද‍ිග හීනයාන මහායාන යන කොටස් දෙකට ඇතළත් හැටකෝටියකට අධික බෞද්ධ ජනතාව විසින් ආමිෂපූජා හා ප්‍රතිපත්ති පූජාවන්හි යෙදීමෙන් බුදුහිමියන් ගේ ශ්‍රී නාමයට නො මැරෙන නො සි‍ඳෙන බැති කුසුම් පුදා කෘතගුණ සලකනු ලැබේ. මුළු ලොව පුබුදු කරවන වෙසක් පුනු පොහොය සමස්ත ලෝකවාසී බෞද්ධයන් ගේ උත්තරීතර ආගමික දිනය වන අතර ලංකාවාසී සිංහල බෞද්ධයන් ගේ ශ්‍රෙෂ්ඨතම ජාතික දිනය ද වන්නේ ය.

අපේ රට කුඩා වුව ද ලෝක බෞද්ධ සංවිධානයේ පෙරමුණ මේ පුංචි ලංකාවට ලැබීම සිංහලයන් වූ අපගේ මහත් භාග්‍යයකි. අවුරුදු දෙදහස් ගණනකට අධික කාලයක් මුළුල්ලෙහි ශ්‍රෙෂ්ඨ බුද්ධ ධර්මය ආරක්ෂා කර ගත් උදාර ජාතියක් වශයෙන් මුළු ලෝකයෙන් ම සිංහලයාට අයත් වනුයේ විශාල ගෞරවයකි. සම්බුද්ධ ධර්මාලෝකයෙන් ආභාසය ලබා නිර්මාණය වුණු නිර්මල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් ඇති අදීන ජාතියක් හැටියට සිංහල ජාතිය ලොව පතළ වීමට ප්‍රධාන හේතුව වූයේ ශුද්ධ බුද්ධ ධර්මය යි. අපේ බෞද්ධ සභ්‍යත්වයට බෞද්ධ සංස්කෘතියට බෞද්ධ ශිෂ්ටාචාරයට ආගමික ගුණධර්ම වලට ජාතික හා ආගමික කලාවන්ට පණ දෙන එක ම දිනය වෙසක් පොහෝ දිනය යි. බෞද්ධයා ගේ ශ්‍රද්ධා භක්තියත් කලා කාරයාගේ නිර්මාණ ශක්තියත් එකට එක් කරන මෙදින ලෝකයා ලබන නිරාමිෂ ප්‍රීතිය සැනසිල්ල අන් කිසිදු දිනයක නො ලබයි. ජාතියත් ආගමත් දෙක එකට අත්වැල් බැඳගෙන යම් උත්සවයක් ලෝකයේ ජාතීන් විසින් පවත්වනු ලැබේ නම් ඒ එක ම උත්සවය සිංහල බෞද්ධයන් විසින් පවත්වනු ලබන වෙසක් උත්සවය යි.

බුදු පෙළහර

ජීවිතයේ කිසිදු දිනයෙක ශීලසමාදානයේ නො යෙදුණු අය වෙසක් පුනු පොහෝ දිනයේ උදෑසන ම හොඳම හොඳ උවසු උවැසියන් ලෙස සුදුවතින් සැරසී වෙහෙර විහාරයන් කරා පා නඟන්නේත්, කිසිදු දිනයෙක භාවනා කර්මයෙක නො යෙදුණු සමහරුන් පළ පුරුදු යෝගාවචරයන් සේ භාවනා කරන්නේත්, අවුරුද්දේ වෙන කවර දිනයෙකවත්, බණ නො අසන අය ධර්මාලම්බන ප්‍රීතියෙන් යුතු ව සාධු නාද පවත්වමින් බැතිසිතින් දහම් අසන්නේත්, අවුරුද්දේ වෙන කිසිදු දිනයෙක විහාරයට නො ගිය උදවිය තෙල් මල් පහන් ආදී පූජා ද්‍රව්‍යයන් රැගෙන විහාරාරාමයන් කරා පැමිණෙන්නේත්, පොහොසතා ගේ මාළිගයේ සිට දුප්පතා ගේ පැල්පත දක්වා ම බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී නාමයට පහනක් දල්වනුයේත්, සැරසිල්ලක් කරනුයේත්, අවුරුද්දේ අන්කිසි දිනයෙක දුගී මගී යාචකාදීන් විෂයයෙහි සුළු දෙයකින් පවා සංග්‍රහ නො කරන අය මහා ත්‍යාගශීලිී දානපතියන් සේ පරිත්‍යාගයෙහි යෙදෙන්නේත්, ගම් - නියම්ගම් - නගර ආදී හැම තැනක ම වෙසක් පහනින් වෙසක් තොරණින් වෙසක් සැරසිල්ලෙන් ආලෝකවත් කරන්නේත්, අන් කිසිදු කරුණක් නිසා නො ව බුදුහිමියන් අනන්ත සත්ව වර්ගයා විෂයයෙහි දැක්වූ මහත් දයාවට උපහාර දැක්වීමක් වශයෙනි.

වෙසක් දින සිදුවීම්

මෙයට සාරාසැකි කප් සුවහසකට පෙර සුමේධ තාපස ව පඤ්චාභිඥා අෂ්ටසමාපත්ති උපදවා ගෙන සිටි අප මහාබෝසතාණන් වහන්සේ දීපංකර සර්වඥයන් වහන්සේ ප්‍රධාන සාරලක්ෂයක් රහතන් වහන්සේට ස්වකීය ජිවිතය පරිත්‍යාග කොට පස්වනක් ප්‍රීතින් පිනා “බුදුහු අද මා හෙයක් කොට වඩිත්ව යි” මමද මතු ලොව්තුරා බුදු ව මේ ‍බුදුන් සේ ම සියලු සතුන් සංසාර සාගරයෙන් ගළවමි”යි ප්‍රාර්ථනා කරමින් මඩ මතුයෙහි වැතිර සිටියහ. බුදුරජාණන් වහන්සේ දිවි පුදා වැදහොත් බෝසතුන් දැක “මේ මනුෂ්‍යයෙක, ඉනුත් පුරුෂයෙක, හේතු සම්පත් ඇති සේ ය, බුදුන් දුටුවේ ය, තපස්වී ය, ධ්‍යානලාභී ය, අධිකාරත්වයෙන් යුක්ත ය, බුදුබව පතා හොත්තේ ය, මෙසේ හෙයින් පළමුවන අභිනීහාරයට (මුල් පැතුම‍ට) සුදුසු වූ මේ ධර්මයෝ අටදෙන ම දැන් මොහු කෙරෙහි විද්‍යමාන හ. මේ වීර පුරුෂ තෙමේ කවර කලෙක බුදුවේදෝ හෝ යි බලන්නාහු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතු ගෞතම නමින් සම්මා සම්බුදු වේ යැයි දැක පස්සෙහි වඩනා සාරලක්ෂයක් රහතන් බලා තමන් වහන්සේ ගේ මුඛ නැමැති මහා පද්මයෙන් සුවඳ විහිදුවා

“පස්සථ ඉමං තාපසං - ජටිලං උග්ගතාපනං

අපරිමෙය්‍ය ඉතො කප‍්පෙ - අයං බුද්ධො භවිස්සති”

යනාදීන්, “මහණෙනි, මේ මට ජීවිතය පුදා හොත් පුරුෂයා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතු ගෞතම නම් බුදු වන්නේ ය”යි ප්‍රථම නියත විවරණ දී වදාළහ. දීපංකර සර්වඥයන් වහන්සේ බෝසතුන් පැදකුණු කොට සමන් මල් අටමිටකින් පුදා වැඩි සේක. පසු පස වඩනා සාර ලක්ෂයක් රහතන් වහන්සේ ද සාර ලක්ෂයක් මල් මිටින් පුදා වැඩි සේක. මෙසේ දීපංකර සම්බුදුරදුන් හමුවෙහි දී සම්බුදු පදවිය සඳහා ප්‍රථම නියත විවරණය ලැබූයේත් වෙසක් පුනු පොහෝ දිනක ය. එතැන් පටන් අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි අනන්ත අප්‍රමාණ ජාතීන් හි ඉපි ද දාන - සීල - නෙක්ඛම්ම - පඤ්ඤා - විරිය - ඛන්ති - සච්ච - අධිට්ඨාන - මෙත්තා - උපෙක්ඛා යන (දස පාරමී, දස උප පාරමී, දස පරමත්ථ පාරමී) සමතිස් පෙරුම් පුරමින්, ඤාතත්ථචරියා - ලෝකත්ථචරියා - බුද්ධි චරියා යන ත්‍රිවිධ චරියාවන් සම්පූර්ණ කරමින් පඤ්ච මහා පරිත්‍යාගයෙහි යෙදෙමින් වෙසතුරු අත්බවෙහි ඉපි ද සත්වාරයක් මහ පොළොව කම්පා කරමින් මහදන් පවත්වමින් දාන පාරමිතාව පිළිබඳ චක්‍රවර්තිත්වයෙන් අබිසෙස් ලබා බුදුවීමට සුදුසු කාලය එළඹෙන තෙක් බුද්ධාංකුරයන් වහන්සේලා ගේ චාරිත්‍ර ධර්මානුකූලව වෙසතුරු අත් බවින් සැව තුසිත දෙව්ලොව උපන්හ. සත් පනස් කෙළ සැට ලක්ෂයක් හවුරුදු ආයු ශ්‍රී වින්දනය කරමින් තුසිත පුරයෙහි සිටින සන්තුෂිත නම් දිව්‍යරාජයන් වහන්සේ වෙත බුද්ධ කෝලාහලය පහළ වූ කලැ දසදහසක් සක්වළ දිව්‍යබ්‍රහ්මයෝ රැස් ව ‍දොහොත් මුදුන් තබා සිට

“කාලො යං තෙ මහාවීර - උප්පජ්ජ මාතු කුච්ඡියං

සදෙවකං තාරයන්තො - බුජ්ඣස්සු අමතංපදං”

යනු විසින් “මහාවීරයන් වහන්ස! සමතිස් ‍පැරුම් දම් පුරා සාරාසැකි කප් සුව‍හසෙක් මුළුල්ලෙහි සසර ඇවිද පින් රැස් කළ තොප විසින් ශක්‍ර සම්පත් මාර සම්පත් බ්‍රහ්ම සම්පත් චක්‍රවර්ති සම්පත් ප්‍රත්‍යෙක බෝධි සම්පත් ශ්‍රාවක බෝධි සම්පත් ප්‍රාර්ථනා නො කරන ලදී. ඇස්, ඉස්, මස්, ලේ, අඹුදරුවන් දන් දුන් නුඹ විසින් බුදුබව ප්‍රාර්ථනා කරන ලදී, එසේ හෙයින් දැන් නුඹ වහන්සේගේ පාරමිතාවෝ කුළු ගත්හ. පස් බුදු කෙනෙකුන් ගෙන් උතුම් වන මේ මහා භද්‍ර කල්පයෙහි කකුසඳ - කොණාගම - කස්සප - යන තුන් බුද්ධාන්තරයක් ඉක්ම ගොසිනි. දැන් මේ නුඹ වහන්සේ බුදු වන්නා වූ කාලය යි. බුදුන් ගේ චාරිත්‍ර අනුව මව්කුසෙක පිළිසිඳ ලොව්තුරා බුදු ව දෙව්මිනිසුන් සසරින් ගොඩ නඟා නිවන්පුර පුරවනු මැනැවැ”යි මෙසේ දස දහසක් සක් වළ දෙවියෝ ආරාධනා කළහ. එකල්හි බෝධි සත්ත්වයන් වහන්සේ දෙව්බඹුන් ගේ ආරාධනා පිළිගෙන

“කාලං දීපං ච දෙසං ච - කුලං මාතරමෙව ච

එතෙ පඤ්ච විලොකෙත්වා - උප්පජ්ජන්ති තථාගතා”

යනු විසින් දැක්වෙන කාලය - දීපය - දේශය - කුලය - මවය යන පඤ්ච මහා විලෝකනය කොට දඹදිව මධ්‍ය දේශයේ කපිලවාස්තු පුරයෙහි සුද්ධෝදන ශාක්‍ය රජතුමා ගේ අග බිසව වන මහාමායා මෙහෙසිය කුස ඇසළ පුනු පොහෝ දා පිළිසිඳ ගෙන දසමස් සම්පූර්ණ වීමන් මවුකුසින් ලුම්බිනී ශාලවනෝද්‍යානයේදී බිහිවූයේත් වෙසඟ පුනු පොහෝ දිනක ය. එසේ ලොව දිනූ මහසතාණන් වහන්සේ දස දික් බලා තමන් හා සම කෙනෙකුන් නො දැක සත් පියවරක් උතුරු දිගට වැඩ සප්තපාදාන්තයෙහි සිට

“අග්ගො හමස්මි ලොකස්ස - ජෙ‍ට්ඨො හමස්මි ලොකස්ස

සෙට්ඨො හමස්මි ලොකස්ස - අයමන්ති මාජාති නත්ථි දානි පුනබ්භවො”

යනුවෙන්, “මම ලෝකයට අග්‍ර වෙමි, ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රෙෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ආත්මභාවය යි. නැවැත උපතක් මගේ නැතැ”යි අභීත ජය සංඛනාදය පවත්වන ලද්දේත් වෙසක් පෝය දිනයක ය. මෙසේ ලෝක ශ්‍රෙෂ්ඨත්වය පිළිබඳ සිංහ නාද කළ පින්බර කුමරුවාණෝ ක්‍රමයෙන් ළමා විය ඉක්මවා තුරුණු වියට පත් ව සොළොස් වියෙහි දී යසෝධරා නම් රජ දියණිය සමග සරණ බන්ධනයට ඇතුළත් වූහ. තුන් ඍතුවට සරිලන සේ රම්‍ය - සුරම්‍ය - සුභ යැයි මාළිගා තුනෙක් ද විය. මිහිපිට පෙනෙන සියලුම පස්කම් සුව එහි එක් තැන් ව ගියාක් මෙන් විය. කල් යත් සසර දුක වැටහීමෙන් සියලු වස්තුව කෙරෙහි කළකිරීම ඇති වන්නට විය. ජාති ජරා මරණ තමන්ටත් මෙරමා හටත් සාධාරණ බව අවබෝධ වන්නට විය.

එකුන් තිස් විය එළඹ සිටි කල්හි පඤ්චකාම සම්පත්තිය කෙරෙහි කළ කිරීමට ඉවහල් වන කරුණු උයන් කෙළියට යද්දී දක්නට ලැබුණි. හැම දෙනට සාධාරණ මහලු බව - ලෙඩ රෝග හා මරණය තමාට ද සාධාරණ බව සිතමින් සිටි සිද්ධාර්ථ කුමරුන් හට සිවු පෙර නිමිති සියැසින් ම දක්නට ලැබීම ගිහි සැපතින් ඉවත් වීමට අතිශයින් උපකාර විය. උයනේ සිට මාළිගයට එන අතර මඟ දී බෝසතුන් ගේ උපශාන්ත ජීවිතය දුටු කිසාගෝතමී නම් සිටු දුව

“නිබ්බුතා නූන සා මාතා

නිබ්බුතො නූන සො පිතා

නිබ්බුතා නූන සා නාරී

යස්සාය ඊදිසො පති”

යනුවෙන් “යම් මවකට මෙබඳු පුතෙක් වේ නම් ඒ මවු තොමෝ ඒකාන්තයෙන් ම නිවුනී ය. යම් පියෙකුට මෙබඳු පුතෙක් වේ නම් ඒ පිය තෙමේ ඒකාන්තයෙන් ම නිවුණේ ය. යම් ස්ත්‍රියකට මෙබඳු හිමියෙක් වේ නම් ඒ ඕ තොමෝ ඒකාන්තයෙන් නිවුනී යැ”යි ප්‍රකාශ කළා ය. මේ නිබ්බුත පද ඇසීමෙන් සතුටට පත් බෝසත් තෙමේ සිය ගෙළ පැළදි ලක්ෂයක් අගනා මුතුහර ගෙළෙන් මුදා කි‍සාගෝතමියට තිළිණ කොට යවා මාළිගයට පැමිණියේ ය. මාළිගයට පැමිණි බෝසතුන් පිරිවරා ගත් නළඟනෝ නැටුම් ගැයුම් වැයුම් හි යෙදුණාහ. පසුව වෙහෙසට පත් ව නිදන නාටිකාංගනාවන් ගේ විප්‍රකාරය දුටු බෝසත් තෙමේ පඤ්චකාමයෙහි අතිශයින් කළකිරුණේ ය. දිව්‍යවිමානයක් වැනි මාළිගය අමුසොහොනක් මෙන් හැඟුණේ ය. තුන් භවය ම ගිනිගත් ගෙයක් සේ වැටහිණ. අද ම ගිහිගෙයින් නික්මීමට වටනේ යැ යි සිතී ය. එසේ සනිටුහන් කරගත් බෝසත් තෙමේ යහනින් නැගිට ඡන්න ඇමැතියා වෙත ගොස් කන්ථක අසු පිළියෙළ කරන ලෙස කී ය. දෙව් සැපත් පරයන සක්විති රජ සැපත පමණක් නො වැ එදවස උපන් රන්රුවක් මෙන් බබළන රහල් කුමරාත් රන්ලියක් මෙන් දිලෙන යසෝධරා දේවියත් දයාබර මව්පිය දෙදෙනා ප්‍රමුඛ කොට ඇති ඥාති සමූහයාත් අලුයම ලූ කෙළ පිඩක් මෙන් අතහැර දමා ඇසළ පුනු පොහෝදා ඡන්න ඇමතියා විසින් සරසා ගෙනෙන ලද කන්ථක අසුපිට නැගී මැදුයම්හි මහබිනික්මන් කළහ. ඒ මොහොතෙහි වසවත්මරු මහ බෝසතුන් අමතා

“මා නික්ඛම මහාවීර - ඉතො තෙ සත්තමෙ දිනෙ

දිබ්බන්තු චක්කරතනං - අද්ධා පාතු භවිස්සති”

“මහා වීර වූ සිද්ධාර්‍ත්‍ථයෙනි! අදට සත්වැනි දවස ඔබට චක්‍රවර්ති රාජ්‍යය පහළ වෙයි. දිව්‍යමය චක්‍ර රත්නය ආදී කොට ඇති සත්රුවනින් හෙබි දෙව් සැපත පරයන සක්විති සැපත නිසැකයෙන් ම ඔබට ලැබෙනු ඇත. එබැවින් නො යව” යනුවෙන් පැවසී ය. එහෙත් බෝසත්හු ඔහු ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. මෙසේ ගිහි ගෙයින් නික්මුණු බෝසතාණන් වහන්සේ රජමැදුරෙන් මහ වනයට වැදී තවුස් වෙස් ගෙන පාලු කුටිය රුක් සෙවණ ක්ෂාන්තියේ ‍ක්ෂේම භූමීන් වශයෙන් සලකමින් රාජ භෝජනය වෙනුවට පිඬු සිඟා ලැබෙන බත් දිව්‍ය භෝජන මෙන් සලකා වළඳමින්, රජ මාළිගයේ දී පරිහරණය කළ රන් බඳුන් වෙනුවට මැටි බඳුන් පරිහරණය කරමින් මුළදී පැළඳි රන් කසී සළු වෙනුවට කසාවත් දරමින් සයවසක් මුළුල්ලෙහි වෙනත් කිසිදු මිනිසෙකු විසින් නො කළ හැකි නො සිතිය හැකි මහා දුෂ්කර වීර්‍ය්‍යයක් කොට අන්තිමේ දී එයින් ඉවත් ව මැදුම් පිළිවෙතේ යෙදීමෙන් ගයාවේ අශ්චත්ථ බෝධිමූලයෙහි වැඩ හිඳ භාවනාවෙහි යෙදීමෙන් සවාසනා සකල ක්ලේශයන් විධ්වංසනය කිරීමෙන් ලොව්තුරා සම්‍යක් සම්බෝධියට පැමිණ වදාළේත් වෙසඟ පුනු පොහෝ දිනයක ය. අපරිමාණ කාලයක් මුළුල්ලෙහි මහ පොළොව කෑගස්වමින් සිදුකළ මහාමාර සංග්‍රාමයක අවසානය වෙසක් පොහෝ දා අලුයම සිදු විය. තමන් තමන් සමඟ සටන් කොට ‍ජය ගැනීමේ විජය ප්‍රීතිය

1. “අනෙක ජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං

ගහකාරකං ගවෙසන්තො - දුක්ඛාජාති පුනප්පුනං”

.

2. “ගහකාරක දි‍ට්ඨො සි - පුන ගෙහං නකාහසී

සබ්බො තෙ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං

විසංකාරගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා”

යනුවෙන්

  1. භවයෙහි නැවත නැවත ඉපදීම දුකෙකි. භවයෙහි නැවැත නැවැත ඉපදීම් වශයෙන් ස්කන්ධ සංඛ්‍යාත ගෘහය කරන්නා වූ තෘෂ්ණා නැමැති වඩුවා සොයන්නා වූ මම ඔහු දක්නට පිළිවන් ඥානය නො මැතිව සසර අනාදිමත් කාලයක් මුළුල්ලෙහි සිය දහස් ගණන් ජාතිවල ඔබමොබ ඇවිද්දෙමි.
  2. ස්කන්ධය නැමැති ගෙය කරන්නා වූ තෘෂ්ණා නැමැති වඩුවාණෙනි, බුදු වූ මා විසින් දැන් නුඹ දක්නා ලද්දෙහි ය. නුඹ මින් මතු මට ස්කන්ධ නැමැති ගෙය නො කරන්නෙහි ය. මා විසින් නුඹ‍ ගේ සියලු කෙලෙස් නැමැති පරාල බිඳින ලදී. අවිද්‍යා නැමැති කැණිමඩල අර්හත් මාර්ගඥාන නැමැති පොරොවින් පළා විනාශ කරන ලදී. දැන් මගේ සිත අරමුණු කිරීම් වශයෙන් නිවනට පැමිණියේ ය. මම තෘෂ්ණාවෙන් වෙන් වූ උතුම් අර්හත් ඵලයට පැමිණියෙමි” යි වදාළේත් වෙසක් පොහෝ දිනයක ය. විමුක්තියේ අසහාය ප්‍රතිපදා මාර්ගයෙන් ලෝකයා සනාථ බවට පත් කරමින් ලෝකාර්ථ චර්‍ය්‍යාවෙහි යෙදුණු තථාගතයන් වහන්සේ මානයෙන් මත් වූ දුර්ලබ්ධි ගෙන සිටි සිය පිය සුදොවුන් මහ රජුන් ප්‍රමුඛ ඤාති සමූහයාට හිත සුව සලසනු පිණිස ධර්ම දේශනා කරනු සඳහා කිඹුල්වත් පුරයට බුදුව පළමුව වැඩමකොට යමාමහ පෙළහර පැවැත්වූයේත් වෙසක් පුනු පොහෝ දිනයක ය.

පන්සාලිස් වසක් මුළුල්ලෙහි තථාගත දිනචර්‍ය්‍යාව නො සිඳ සපුරමින් රජ මැදුරට හා සක්දෙව් මැදුරට මෙන් ම අසරණ දිළින්දාගේ පැල්පතටත් කුළුණු සිතින් වඩිමින් දෙවියන් ගේ සුධා භෝජනය හා කොසොල් රජතුමා ගේ අසදෘශ මහා දානය මෙන් ම දුප්පත් උවැසිය විසින් ලුණුත් නො මැති ව කුඩුයෙන් පිළියෙළ කොට පුදන ලද ආහාරයත් සම සිතින් පිළිගෙන වළඳමින් සිය පුත් රහල් කුමරාට මෙන් ම තමන් වහන්සේ මරන්නට යත්න දැරූ අංගුලිමාල - දේවදත්ත - නාලාගිරි - ආලවකාදී මිනිස් නො මිනිස් හැම දෙනා හට ම සම මෙත් දහම් පතුරවමින් මුව දහසක් මව‍ාගෙන බුදු ගුණ වැනූ අනන්ත නාරදුන් ආදීනට මෙන් ම නන් අයුරින් නිකරුණේ නින්දා අපහාස කළ මාගන්දියා, චිංචමානවිකාදීන් හටත් එක සේ කරුණාව පතුරවමින් ආලවක වැනි චණ්ඩ යක්ෂයන් නාලාගිරි වැනි දරුණු හස්තීන්, අංගුලිමාල වැනි මිනීමරු සොරුන්, අජාසත් වැනි පීතෘඝාතක රජවරුන්, අම්බපාලි වැනි ගණිකාවන්, සච්චක වැනි වාදකාර බමුණන්, පොක්ඛරසාති වැනි මානාධික බමුණන් තම තමන් තුළ තිබුණු දුර්ගුණ නැති කොට දම්මා දහම් අමාවෙන් සනසවා බුදුහිමි පා පියුම් බැති කඳුළෙන් නහවමින් ඒ හැම දෙනා හට ම සුවසෙත් සලසන ලද්දේ ද බුදුරජාණන් වහන්සේ ම ය.

තත්කාලීන සමාජය විසින් කිසිදු උසස් ගුණ වගාවකට නුසුදුසු පුද්ගලයන් වශයෙන් කොන්කර සිටි සුනීත වැනි කසල ශෝධකයන් හට, උපාලි වැනි කරනැවෑමියන් හට සෝපාක වැනි සැඩොල් දරුවන් හට, දාසක වැනි දාසයන් හට, ධනිය වැනි කුම්භකාරයන් හට පිහිට වෙමින් ඔවුන් මිනිස් දෙව්බඹුන් ගේ පුද පෙරහැර ලැබීමට සුදුසු උපශාන්ත පුද්ගලයන් බවට පත් කරවමින් කිසිවකුගේ පිහිටක් නො මැතිව ගෙපිළේ ඇඳක වැතිර මාරයා සමඟ සටන් කරමින් සිටි මට්ටකුණ්ඩලී වැනි අසරණ දරුවන් හට පිහිට වෙමින් ස්වකීය මල මුත්‍ර මත වැතිර වේදනාවෙන් පෙළෙමින් සිටි පූතිගත්ත තිස්ස වැනි ගිලන් මහණුන් හට සිය’තින් ම උවටැන් කරමින් මං නො මං දත නො හී අවිචාරයෙන් භ්‍රමණය වී අසද්ධර්මයෙන් මුසපත්ව සිටි කිසාගෝතමී - පටාචාරා - රජ්ජුමාලා වැනි අසරණ ස්ත්‍රීන් හට පිහිට වෙමින් ඔවුන් සන්මාර්ග ගාමීව භාග්‍යශීලිනීන් බවට පත් කරවමින් ලෝ වැඩ වැඩූහ.

එසේ ම සැරියුත් = මුගලන් - කාශ්‍යපාදී උතුමන් ගෙන් යුත් ශ්‍රෙෂ්ඨ භික්ෂු පරපුරකුත් මහ‍ාප්‍රජාපතී ගෞතමී - යසෝදරා - ඛෙමා - උප්පලවණ්ණා ආදීන් ගෙන් යුත් විනීත භික්ෂූණී පිරිසකුත්, කෝසල - බිම්බිසාර - අජාසත් - අනාථපිණ්ඩිකාදීන් ගේන් යුත් ප්‍රබල ශක්තිමත් දායක (උපාසක) පිරිසකුත්, විසාඛා - බන්ධුල මල්ලිකා - කෝසල මල්ලිකා ආදී සැදැහැබර මව්වරුන් ගෙන් යුත් උපාසිකා (දායිකා) පිරිසකුත් යන සිවුවනක් පිරිසක් ඇති කරවමින් සතර සතිපට්ඨාන - සතරසම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යය - සතර ඉද්ධිපාද - පඤ්ච බල - පඤ්ච ඉන්ද්‍රිය - සප්ත බොජ්ඣංග - ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යන කරුණු වලින් යුත් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති සම්බුද්ධ ශාසන රත්නාකරයක් මතු කරවමින්, රැයකට පැයක් පමණ සැතපෙමින් අවුරුද්දට අට මාසයක් හෝ නව මාසයක් හෝ පා ගමනින් ම ගම් - නියම්ගම් - රජ දනව් හි සැරිසරමින් අසමගියෙහිත් යුද්ධකිරීමෙහිත් දොස් දක්ව‍ා සමඟියෙත් සතුටෙහිත් චාම් ජීවිතයෙහිත් විවේකයෙහිත් අනුසස් දක්වා දහම් දෙසමින් අසංඛ්‍ය සංඛ්‍යාත ජන සමූහයක් අමාමහ නිවන් දක්වා කුසිනාරා නුවර මල්ල රජදරුවන් ගේ උපවර්තන නම් සල් උයන්හි යමක ශාල වෘක්ෂයන් අතුරෙහි පනවන ලද මඤ්චකයෙහි සැතපී ආනන්ද හිමියන් “අනේ මට කරුණාවෙන් අවවාද අනුශාසනා කළ, තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අද පිරිනිවන් පාන සේක. අනේ, හෙට සිට මුහුණ සේදීමට කාට වතුර දෙම් ද? අනේ හෙට සිට කවරෙකුගේ පා සෝදම් ද? හෙට සිට කාගේ සේනාසනය අරපරෙස්සම් කොට තබම් ද? කාගේ පාත්‍ර සිවුරු ගෙන ඇවිදිම් ද? යනාදී විසින් හඬමින් දුක් වෙද්දී, අපමණ දෙව් - බඹ - මිනිස් සමූහයා නොයෙක් ලෙසින් හඬමින් වැළපෙද්දී රැස් ව හුන් සියලු දෙනා හට ම අවවාද කොට භික්ෂූන් අමතා සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වදාරා “භන්ද දානි භික්ඛවෙ ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පම‍ාදෙන සම්පාදෙථ” යනුවෙන් “එහෙයින් මහණෙනි, දැන් තොප අමතමි. සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුයහ. එළඹ සිටි සිහියෙන් යුක්ත ව කටයුතු සම්පාදනය කර ගනිවු”යි අන්තිම අවවාදය කොට අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වද‍ාළේත් වෙසක් පොහෝ දිනයක ය.

තුන් කල් දත් තථාගතයන් වහන්සේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත ව පන්දහසක් කල් පවත්නා රට මේ සිංහල ද්වීපය බව දැනගෙන බුද්ධත්වයෙන් අටවන අවුරුද්දෙහි මණි අක්ඛිත නා රදුන් ගේ ඇරයුමෙන් කැළණියට වැඩියේත් එදවස ම සුමන සමන් දෙව් රදුන් ගේ ආරාධනා පිළිගෙන සමනොළ පවුව ට වැඩම කොට එහි බුදු සිරි පා සටහන් තබා තුන්වන වරටත් සිරිලක් දිවයින වාසනාවන්ත පුණ්‍ය භූමියක් බවට පත් කොට වදාළේත් වෙසඟ පුනු පොහෝ දිනයක ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය සතිස් වැන්නෙහි ලංකා සම්බුද්ධ ශාසනය පිහිටුවා වදාරන අනුබුද්ධ මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේට ධර්ම නැමැති බීජයන් රෝපණය කිරීමට ලංකා නැමැති ක්ෂේත්‍රය සකස් කර දීම පිණිස වැඩම කොට වදාළ බුදුරජාණන් වහන්සේ අන්තිම වරටත් අනුරාධපුරය - තිස්සමහාරාමය - කතරගම අදී සොළොස් මහා පූජ්‍යස්ථානයන්හි සමවත් සුවයෙන් මොහොතක් කල් වැඩ වෙසෙමින් සම්බුදු පා පහසින් මේ හෙළබිම පිවිතුරු බවට පත් කොට වදාළේත් වෙසක් පොහෝ දිනයක ය.

පරිනිර්වාණ මඤ්චකයෙහි සැතපී සිටින මහා කාරුණිකයාණන් වහන්සේ වෙත පැමිණි සක්දෙව් රදුන් අමතා ලංකාවත් සිංහල ජාතියත් රක්නා ලෙස පවරන ලද්දේත් වෙසක් පුනු පොහෝ දිනයක ය.

සිංහල ජනවංශයේ ආදි පුරුෂයා ලෙස අපේ වංශ කථා ආදියෙහි සඳහන් වන පරිදි ලාටරට සිංහ පුරයෙහි සිංහබාහු රජතුමන්ගේ වැඩි මහලු පුත් විජය කුමරු සත් සියයක් පිරිස සමඟ මේ ලක්දිවට පැමිණ සිංහල ජාතියේ සමාරම්භය සිදු කරන ලද්දේත් වෙසක් පුනු පොහෝ දිනයක ය.

සිංහල මනුෂ්‍ය වර්ගයා විසින් සදානුස්මරණීය ශ්‍රේෂ්ඨයාණ කෙනෙකුන් වූ මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූතයන් විසින් ගෙනෙන ලද සම්බුද්ධ ශාසනය ගෞරවයෙන් පිළිගත් දෙවන පෑතිස් රජතුමා ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් තිළින කොට එවන ලද පඤ්චකකුධ භාණ්ඩයන් සහිත වැ නියම උදාර රජකු ලෙස ද්විතීයාභිෂේකය ලැබූයේත් වෙසක් පුනු පොහෝ දිනයක ය.

පන්සැත්තෑ වසරකටත් අධික කාලයක් පරසතුරන් ගේ බලයට යටත් ව දුර්භාග්‍ය සමයක් ලබා පරිහාණි ප්‍රපාතයට වැටී දුර්වල වී තිබුණු බෞද්ධ බලයත් සිංහල බලයත් පුනරුත්ථාපනයට පත් කළ දුටුගැමුණු රජතුමා ගේ දස දෙස විහි දී ගිය කීර්ති සමූහය එක් රැස් කළාක් මෙන් බබළන, නො වේ නම් සිංහල ජාතියේ ඖදාර්‍ය්‍යය මුළු ලෝකයට ම ප්‍රදර්ශනය කරවන්නාක් මෙන් අනුරපුර මහමෙවුනා උයන්හි සජෝතිමත් ව දිලෙමින් තිබෙන රුවන්වැලි සෑරදුන් සාදන්නට විසා නැකතින් වැඩ ආරම්භ කෙළේත් වෙසක් පුනු පොහෝ දිනයක ය.

ආනන්ද හිමියන් පිරිනිවන් පෑම

ප්‍රථම ධර්‍මසංගීතියෙන් පසු ආනන්ද හිමි‍යෝ වසර සතළිසක් වැඩ විසූ හ. ඒ වන විට උන්වහන්සේ ගේ ආයුෂ එකසිය විසි අවුරුද්දක් සම්පූර්‍ණ ය. සත් දවසකින් පිරිනිවන් පාන බව භික්ෂූන්ට දැනුම් දුන් හ. ඒ අනුව තථාගත පරිනිර්වාණයෙන් සතළිස් වන වර්‍ෂයෙහි වෙසක් පුන් පොහෝදා රෝහිණී නදිය මැද අහසෙහි දී සතර ඉරියව්වෙන් තොර ව වැඩ හිඳ දහම් දෙසා

“පරිචින්නො මයා සත්ථා - කතං බුද්ධස්ස සාසනං

ඔහිතො ගරුකො ‍භාරො - නත්ථි දානි පුනබ්භවො”

යනුවෙන් “මා විසින් ශාස්තෲන් වහනසේ ඇසුරු කරන ලදී. බුදුරදුන් ගේ අනුශාසනය ද කරන ලදී. ඉතා බර වූ කෙලෙස් බර බහා තබන ලද්දේ ය. නැවැත මාගේ ඉපදීමක් නො මැත්තේ යැ”යි වදාරා “මාගේ සිරුර බිඳී කොටස් දෙක දෙගං තෙරට යේව”යි ඉටා තේජෝ කසිණ සමවතට, සමවැද පිරිනිවන් පෑ සේක.

ආනන්ද හිමියන් සිවු ඉරියව්වෙන් තොරව රහත් වන බවත්, පිරිනිවන් පානා බවත් බුදුහු වදාළහ. ආනන්ද හිමියන් ගේ පිරිනිවීම සිදු වී ඇත්තේ වෙසක් පුනු පොහෝ දිනයක ය.

අභිෂේක දිනය

ශ්‍රී ලංකාවෙහි වසර බොහෝ ගණනක් මුළුල්ලෙහි නියම වශයෙන් සිංහල බෞද්ධ රජවරුන් ගේ අභිෂේකය සිදු කොට ඇත්තේ වෙසක් පුන් පොහෝ දිනයක ය.

මහා විහාර වංශික උපසම්පදාව

මහා විහාර වංශික භික්ෂූන් වහන්සේලා ගේ වර්ෂයක් පාසා කැරෙන උපසම්පදා මහෝත්සවය පැවැත් වූයේත් වෙසක් පුනු පොහෝ දිනයක ය.

මෙබඳු අනුස්මරණීය කටයුතු ආගමික වූත්, ජාතික වූත්, ශ්‍රෙෂ්ඨ කරුණු රාශියක් එක් දිනයක යෙදී තිබීම ලෝකයේ අන් කිසිදු ආගමක හෝ ජාතියක හෝ දක්නට නො මැති විශේෂ ලක්ෂණයෙකි. සඳරැස් වැටීමෙන් සඳකත් පහණින් අමාදිය දහරා ගලා යන්නාක් මෙන් ලංකා වාසී හෙළ බොදු බැතිමතුන් ගේ හදවත් තුළින් සොම්නස් සහගත පින් සිතිවිලි ධාරා තරංග දිදී නැගී ගලා නො හැර යන අයුරු ලක්දිව ගම් - නියම්ගම් - නගර ආදී අස්සක් මුල්ලක් නො හැර පවත්වන නොයෙක් මාදිලියේ වෙසක් උත්සයන් ගෙන් පැහැදිලි වෙයි. වෙසක් උත්සවය අතිපුරාණයේ පටන් පැවැත ‍එන බෞද්ධ උත්සවයෙකි. එය ඉංදියාවේ පවා පැවති ප්‍රධාන උත්සවයෙකි. එසේ ම වෙසක් උළෙල පාරම්පරික රාජ්‍ය චාරිත්‍රයෙකි.

වෙසක් උත්සවය පිළිබඳ පළමුකොට ම මහාවංශයෙහි සඳහන් වන්නේ දුටුගැමුණු රජතුමා ගේ රාජ්‍ය සමයේ ය. සූවිසි වසක් රාජ්‍යය කළ එතුමා වෙසක් උත්සව සූවිස්සක් පැවැත් වූ බව එතුමා ගේ පින් පොතෙහි සඳහන් වෙයි. එතුම‍ාට ප්‍රථමයෙන් ද වෙසක් උළෙල ලක්දිව පවත්වන්නට ඇතැයි අනුමානයෙන් සිතිය හැකි ය. අශෝක චක්‍රවර්තීන් ප්‍රදර්ශන හා පෙරහැර පැවැත්වූ බව සිවුවන සෙල්ලිපියෙහි සඳහන් වෙයි. ලංකාවට ධර්මදූත සේවය සඳහා වැඩම කළ මිහිඳු මහ රහත් මාහිමියන් තම පියාණන් විසින් පවත්වන ලද මේ උත්සව හා පෙරහැරවල් දැක ඇත. දෙවන පෑ තිස් රජු හට ද මේ පිළිබඳ අවබෝධයක් ඇති කරවන්නට ඇතැයි සිතිය හැකි ය. දුටුගැමුණු රජතුමා විසින් ඉතා ම විසිතුරු අන්දමින් පවත්වන ලද මේ උත්සවය පසු කාලීන බොහෝ රජවරු ආදර්ශයට ගෙන නො කඩවා ‍පැවැත්වූහ. භාතිය රජතුමා වෙසක් උත්සව විසි අටක් ද, වසභ රජතුමා වෙසක් උත්සව සතළිස් සතරක් ද කරවී ය. වෝහාරතිස්ස රජ - ගෝඨාභය රජ - ජෙට්ඨ තිස්ස රජ - දළ මුගලන් රජ - දෙවන සේන රජ ආදී රජවරු චාරිත්‍රානුකූල ව වෙසක් උත්සව පවත්වා ඇත්තාහ. වර්ෂයක් පාසා වෙසක් උත්සවය මහ ඉහළින් පැවැත්වීම අනුරාධපුර යුගයේ විසූ බොහෝ බෞද්ධ රජවරුන් හට උරුම වූ කාර්‍ය්‍යයක් බව සිතිය හැකි ය. පළමුවන පරාක්‍රම බාහු - දෙවන පරාක්‍රම බාහු ආදී රජවරුන් විසින් ද මේ ශ්‍රෙෂ්ඨතම බෞද්ධ උරුමය ආරක්ෂා කරන ලද බව පැහැදිලි ය. අපේ පැරණි මුතුන් මිත්තන් ගෙන් උරුම වූ මේ ශ්‍රෙෂ්ඨ ජාතික හා ආගමික උත්සවය අවුරුද්දක් පාසා ම බෞද්ධයන් විසින් ඉතා විචිත්‍රාකාරයෙන් පවත්වාගෙන එනු ලැබේ.

බුදු සිරිත

තථාගතයන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලෙහි පරහිත සුව පිණිස මුළු ජීවිතය ම කැප කළ ශාස්තෘවරයෙකි. මෙත් කුළුණින් තෙත් වූ උන්වහන්සේ පරෝපකාරයෙහි පරම කෙළවරට පැමිණිය හ. බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රෙෂ්ඨ ආදර්ශය හා අවවාදය අන්‍යයන් හට උපකාර කිරීම යි. ස්වකීය ශ්‍රාවක පිරිසට ප්‍රථම කොට දී වදාළ අනුශාසනාව නම් “චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය” යනුවෙනි. “මහණෙනි, බොහෝ දෙනා හට හිත පිණිස බොහෝ දෙනා හට සුව පිණිස සැරි සරවු” යි වශයෙනි. නියම ශාස්තෘවරයෙකු වශයෙන් සිදුවිය යුතු සේවයක් වේ නම් එය තථාගතයන් වහන්සේ ගෙන් නො අඩුව සිදු විය. සමාජයේ උසස් පහත් කවරෙකු හට වුව ද නියම මිනිසුන් වශයෙන් නිදහස් ලෙස ජීවත් වීමට හැකි ක්‍රමය මැනවින් පෙන්වා දුන්හ. ලාභයකට හෝ ප්‍රශංසාවකට හෝ ගිජු නො වෙමින් ගත කළ කාර්‍ය්‍ය බහුල බුද්ධ ජීවිතය ගැන නුවණින් මෙනෙහි කරන කලැ බුදුරජාණන් වහන්සේ ලෝ සතුන් වෙත දැක් වූ දයාව යොමු කළ කරුණාව වැඩූ මෛත්‍රිය කොතරම් ද යනු අවබෝධ වෙයි. උන්වහන්සේ අසරණ ‍රෝගියෙකු වෙතට හෝ දුකට පත් අසරණ කෙනෙකු වෙතට හෝ ළදරුවකු වෙතට හෝ සැඩොලකු වෙතට හෝ හික්මිය යුතු කවර තරාතිරමේ කෙනකු වෙතට හෝ වැඩම වීම කිසිසේත් මදි පුංචි කමක් ලෙස නො සැලකූහ. තමන් වෙත පැමිණි කවරෙකු හට වුව ද ප්‍රිය වචනයෙන් සංග්‍රහ කිරීම බුදුරජාණන් වහන්සේ‍ ගේ උදාර ගුණයෙකි. තථාගතයන් වහන්සේ සමාජයේ විශාල පරිවර්තනයක් ඇති කළ ශාස්තෘවරයෙකි. පොදු නිදහස අගය කළ බුද්ධි විප්ලවයක්, චින්තන ප්‍රබෝධයක් උදා කළ ආගමික විපර්‍ය්‍යයාසයක් ඇති කළ ශ්‍රෙෂ්ඨ ශාස්තෘවරයෙකි. ගතානුගතික අදහස් දුරු කරමින් බුද්ධි ගෝචර ලෙස නොයෙක් සාමාජික ප්‍රශ්නයන් නිරාකරණය කළ නිදහස ගරු කළ ආගම් කතුවරයෙකි. ආගමික නීති රීති වලින් මිනිසා වහලකු වශයෙන් බැඳ තැබීමට කිසිසේත් ඉඩ නො තැබූ බුදුරජාණන් වහන්සේ මිනිසාට හෘදය සාක්ෂ්‍යයට අනුව බුද්ධි ගෝචර ව ප්‍රශ්නයන් නිරාකරණය කර ගැනීමේ නිදහස හෙළි කළහ. තමා තමන්ට සරණක් පිහිටක් පහනක් ලෙස හැසිරිය යුතු බවත් කිසි ම සර්වබලධාරී දෙවියෙකුට බඹකුට යාච්ඤා කිරීමෙන් තමාගේ විමුක්තිය ලබා ගත නො හැකි බවත් පැහැදිලි කළහ. “තුම්හෙහි කිච්චං ආතප්පං අක්ඛාතාරො තථාගතා” “නුඹලා උත්සාහවත් ව ක්‍රියා කළ යුතු ය. තථාගතවරයෝ එයට මඟ කියා දෙන්නෝ ය.” යනුවෙන් අනුශාසනා කළහ.

මනුස්මෘතියෙහි සඳහන් වන හැටියට කාන්තාවට පැරැණි ඉන්දීය සමාජයේ කිසිදු ඉඩෙක් නො තිබිණ. එහෙත් බුදුරජාණන් වහන්සේ පුරුෂයාට යම්බඳු අයිතියක් ඇත්නම් එබඳු ම අයිතියක් ස්ත්‍රියට ද ඇති බව පෙන්වමින් ඔවුනට ආගමික හා ජාතික නිදහස උදාකර දුන්හ. තත්කාලීන භාරතීය සමාජය විසින් කිසිදු උසස් ගුණ වගාවකට ‍නුසුදුසු පිරිසක් වශයෙන් සමා‍ජයෙන් ඈත් කොට තබා සිටි කුලහීනයන්ට ද මිනිස් අයිතිවාසිකම් ලබා ගැනීමේ බොදු උරුමය හේතු යුක්ති සහගත ව දේශනා කළහ. මිනිසා උසස් පහත් වනුයේ තමා උපන් ජාතිය හේතු කොට ගෙන නොවැ තමාගේ සම්‍යක් ක්‍රියා කලාපය චිත්ත පාරිශුද්ධිය නිසා බව දෙසූ හ. හැම කෙනෙකු හට ම ආත්ම ගෞරවය ඇති ව ජීවත්වීමේ මාර්ගය කියා දුන් ශ්‍රෙෂ්ඨ ශාස්තෘවරයෙකු වශයෙන් බුදුන් වහන්සේට හිමිවනුයේ අද්විතීය ස්ථානයෙකි. මධ්‍යම ප්‍රතිපදාව මාධ්‍යය කරගෙන ඇරඹූ ධර්ම දූත සේවය ශීඝ්‍රාකාරයෙන් දඹදිව පතුරුවා හැරීමට හැකිවූයේ අහිංසාව පදනම් වූ ධර්ම දේශනා ක්‍රමයක් නිසා ය. උන්වහන්සේ පුද්ගලයාගේ මෙන් ම සමාජයේත් පාරිශුද්ධිය සඳහා හේතු වන විමුක්තිය පිණිස උපකාර වන සමාජ ශීලයක් සමාජ දර්ශනයක් දේශනා කළහ. අවිද්‍යා අන්ධකාරය දුරුකොට විද්‍යාලෝකය උදාකර ගැනීමට හේතුවන ආත්මඥානය ලබා ගැනීමට සහාය වන ශ්‍රෙෂ්ඨ ධර්මයක් ලෝකයාට බිහි කළහ.

ලෝකවාසී සත්වයනට කරුණාව - මෛත්‍රිය - අනුකම්පාව - ධෛර්‍ය්‍යය - අධිෂ්ඨානශක්තිය - පරෝපකාරය - ආත්ම පරිත්‍යාගය - පරිත්‍යාගශීලි බව - නිරහංකාරකම - අවංක බව - සත්‍යවාදීකම - ධර්මකාමීකම - ඉවසීම - මෘදුබව යන මේ මිනිස් ගුණදහම් පිළිබඳ නියම අවබෝධයක් ඇති කර ගැනීමට හැකිවූයේ තථාගතයන් වහන්සේගෙන් පසුව ය. බුදුරජාණන් වහනසේ මේ උදාර ගුණයන් ගෙන් පිරුණු ගුණ මූර්තියෙකි. උන්වහන්සේ ගේ බුද්ධ ජීවිතයේ හැම අංශයක් පිළිබඳව ම නුවණින් පිරික්සා බලන කලැ පැහැදිලි වනුයේ චාම් ජීවිතයක් ඇති ශ්‍රෙෂ්ඨත්වය ලොවට පෙන් වූ උත්තරීතර ශාස්තෘවරයකු බව ය. උන්වහන්සේ ඉපදුණේ එළිමහනේ ගසක් යටක දීය. බුදුවුණේත් එළිමහනේ ගසක් යටකදී ය. පරිනිවන් පා වදාළේත් එළිමහනේ ගසක් යට දී ය. ගසක් යට දී ඉපදී ගසක් යටකදී බුදු වී ගසක් යටකදී පිරිනිවීමෙන් ලෝකයාට පෙන් වූ ආදර්ශය ශ්‍රෙෂ්ඨ ය. එසේම උන්වහන්සේ මනුෂ්‍යයකු ව ඉපදී මනුෂ්‍යයකු ව මිනිසුන් මැද හැදී වැඩී මිනිසකු ව සියලු කෙලෙසුන් නසා ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයෙන් අභිෂේක ලබා මනුෂ්‍යයකු ව පන්සාළිස් වසරක් මුළුල්ලෙහි මිනිස් - දෙව් - බඹුන් ආදී කොට ඇති තුන් ලෝ වාසීනට සග මොක් මග වදාරමින් සිට මිනිසකු ව පිරිනිවන් පෑ සේක. එහෙත් උන්වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් නො වේ. “අච්ඡරිය මනුස්සො” යනුවෙන් ප්‍රකාශ වන පරිදි ආශ්චර්‍ය්‍යවත් මනුෂ්‍යයෙකි. උත්තරීතර මානුෂික ගුණයන් ගෙන් යුත් ශාස්තෘවරයෙකි. උන්වහන්සේ දෙවියෙක් නො වේ. එහෙත් දේවත්වයට පත් වූහ. දෙවියන්ගේ පුද පූජා ලැබූහ. උන්වහන්සේ බ්‍රහ්මයෙක් නො වේ. එහෙත් බ්‍රහ්මත්‍වයට පත් වූහ. බ්‍රහ්මයන්ගේ පුද පූජා ලැබූහ. එහෙයින් ම උන්වහන්සේ දේවාතිදේව - බ්‍රහ්මාතිබ්‍රහ්ම යන ගුණ පදවලින් හඳුන්වති.

බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණය පරෝපකාරය යි. එය උන්වහන්සේ පාරමී ධර්ම සම්පූර්ණ කළ ආකාරයෙන් ම පැහැදිලි වෙයි. මාතුපෝසක ජාතකයෙන් ආරම්භ වූ උන්වහන්සේගේ බුද්ධකාරක ධර්මයන් පුරුදු කළ ආකාරය ඉතා විසිතුරු ය. අප බෝසතාණන් වහනසේ නන්ද නම් අසංඛ්‍යයෙහි පටන් පුණ්ඩරීක නම් අසංඛ්‍යය දක්වා වූ සත් අසංඛ්‍යය ඇතුළත ලොව පහළ වූ එක් ලක්ෂ විසිපන් දහසක් (1,25,000) පමණ වූ සියලු බුදුවරයන් වහන්සේලා සියැසින් දැක

“බුද්ධොහං බොධයිස්සාමි - මුත්තොහං මොචයෙ පරෙ

තිණ්ණොහං තාරයිස්සාමි - සංසාරොඝා මහබ්භයා”

යනුවෙන් “මම චතුස්සත්‍ය ධර්මය අවබෝධ කොට ලොව්තුරා බුදුව අන්‍යයන්ට ද අවබෝධකර වන්නෙමි. මම සසර දුකින් මිදී ලෝකයාත් එයින් මුදවන්නෙමි. මම මහ බියැති සසර සයුරෙන් එතර වී ලෝකයාත් එයින් එතර කර වන්නෙමි” යි සිතින් බුදු බව පතමින් මනෝප්‍රණිධානය මුදුන් පත් කළහ. එසේ ම සර්වභද්‍ර නම් අසංඛ්‍යයෙහි පටන් සර්වශෛල නම් අසං‍ඛ්‍යය දක්වා වූ මේ නවාසංඛ්‍ය කල්ප ලක්ෂය ඇතුළත ලොව පහළ වූ තුන් ලක්ෂ අසූ සත් දහසක් (3,87,000) පමණ වූ සියලු බුදුවරයන් වහ්නසේලා සියැසින් දැක මුලින් දැක් වූ ගාථාව අනුව වචනයෙන් බුදු බව පතමින් අප්‍රමාණ වූ පාරමිතාවන් සපුරා වාක්ප්‍රණීධානය මුදුන් පත් කළහ. මෙසේ උන්වහන්සේ මනෝප්‍රණිධානය පිරීමෙන් සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද වාක්ප්‍රණිධානය පිරීමෙන් නවාසංඛ්‍ය කල්ප ලක්ෂයක් දැයි යන මේ සෝළසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇතුළත ලොව පහළ වූ යන මේ පන්ලක්ෂ දොළොස් දහසක් පමණ වූ බුදුවරයන් වහන්සේලා සියැසින් දැක වැඳ පුදා මනෝප්‍රණිධානය හා වාක්ප්‍රණිධානය මස්තක ප්‍රාප්ත කළහ.

දීපංකර බුදුරදුන් ගෙන් නියත විවරණ ශ්‍රී ලබාගත් බුද්ධාංකුරයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දානාදී පාරමී ධර්මයන් පුරා ලොව්තුරා සම්බුද්ධත්වයට පත් වූහ. හැම පාරමිතාවක් ම කරුණා ප්‍රඥා දෙකින් සම්පූර්ණ ව ඇත. උන්වහන්සේ ගේ ෂඩ්අසාධාරණඥානයන් අතර සර්වඥතාඥානයත් මහා කරුණා සමාපත්තිඥානයක් දෙක ප්‍රධාන වේ.

“කරුණා සීතල හදයං පඤ්ඤා පජ්ජොත විහතමොහතමං” යනුවෙන් කරුණාවෙන් සීතල වූ හෘදයක් හා මොහඳුර නසන ප්‍රඥාවක් ද උන්වහන්සේ කෙරෙහි ඇතැ යි පොරණ ඇදුරන් විසින් ප්‍රකාශ කොට ඇත්තේ මේ නිසා ම ය. එදා දීපංකර පාද මූලයේදී අතට පත් නිවන් සුවය හැර දැමූ උන්වහන්සේ ගේ බෝධි චිත්තය වූයේ

“කිං මෙ අඤ්ඤාත වෙසෙන - ධම්මං සච්ඡිකතෙනිධ

සබ්බඤ්ඤුතං පාපුණිත්වා - බුද්ධො හෙස්සං සදෙවකෙ”

යනුවෙන් “මේ අප්‍රසිද්ධ වේශයකින් ධර්මය සාක්ෂාත් කිරීමෙන් මට කවර ප්‍රයෝජනයෙක් ද? සර්වඥ බවට පැමිණ දෙවියන් සහිත ලෝකයෙහි බුදු වන්නෙමි”යි යන අධ්‍යාශය යි. දශ පාරමී ධර්මයන් සම්පූර්ණ කිරීමේදී විශේෂයෙන් උන්වහන්සේ ගේ සිත් තුළ මහා කරුණාව පෙරමුණ ගෙන ඇත. “පඤ්ඤාස්ස සබ්බ ධම්මෙසු කරුණා සබ්බ ජන්තුසු” යනුවෙන් සියලුම දතයුතු තාක් දේ දැන ගැනීමෙහි නුවණ මූලික වන්නා සේ සත්ත්ව ලෝකයා හට වැඩ සාදා දීමෙහි ලා උන්වහන්සේ ගේ මහා කරුණාව මූලික වන්නේ ය. දිනපතා උදේ හවස මහා කරුණාවෙන් ලොව බලා වදාරණ බුදුරජාණන් වහන්සේට වෛනෙය්‍ය ජනයන්, චතුස්සත්‍යාවබෝධනීය සත්ත්වයන්, උපනිඃශ්‍රය සම්පන්නයන් දක්නට ලැබුණු විට යොදුන් ගණන් වුව ද පියවි ගමනින් වැඩම කොට ඔවුනට සෙත් සුව ලසා දෙනුයේ මහා කරුණා සමාපත්තිඥානයෙන් යුතුව ම ය.

අචින්ත්‍ය ගුණ සමුදාය

“නියපිටින් ගත් පස් පිඬින් මේ මහා පොළොව යයි දැක්විය නො හැක්කා සේ, කන් හැන්දෙන් ගත් දිය බිඳින් මේ මහා සයුර යයි නො දැක්විය හැක්කා සේ සියොතක්හු ගේ පියා පතකින් අහස් කුස වසා ලිය නො හැක්කා සේ රියනක් දිග මිනුම් දඬින් මහ පොළොව නො මිනිය හැක්කා සේ ඉඳිකටු සිදුරකින් මහ සයුර ජලය එක පැහැර බැහැර කළ නො හැක්කා සේ එක සත්වයකුගේ මුඛයෙන් නොවැ තුන් ලෝ හැම සතුන් විසිනුදු වෙන වෙන ම වුව ද බුදුගුණ කියා නිමවාලිය නො හැක්කේ ම යැ”. එහෙයින් බුදුරජාණන් වහන්සේ ම මෙසේ වදාරා ඇත්තාහ.

“බුද්ධොපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං

කප්පම්පි චෙ අඤ්ඤ මභාසමනො

චීයෙථ කප්පො චිර දීඝමන්තරෙ

වණ්නො නඛීයෙථ තථාගතස්ස”

ලෝකයෙහි ලොව්තුරා බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රෙෂ්ඨ කෙනෙක් නැත්තාහ. ඉදින් සම්බුදු කෙනෙකුන් බුදු වූ දිනයේ පටන් අනෙක් කාර්‍ය්‍යයක නො යෙදී තමන් වහන්සේ ගේ ආයුෂ් කල්පය මුළුල්ලෙහි ම එක සම්බුදු වරයෙකු ගේ ගුණ සමුදාය වර්ණනා කරන්නාහු නම් ආයුෂ්කල්පය ගෙවී යයි. බුදුගුණ කියා අවසාන නො වේ. ඒ තරමට ම බුදුගුණයෙහි අර්ථ සීමාවක් නැත”. මේ ලෝකයෙහි මහා පෘථිවියට වඩා පැතිරුණු විශාල වස්තුවෙක් නො මැත. මහා සමුද්‍රයට වඩා ගැඹුරු වස්තුවෙක් නොමැත. ආකාශයට වඩා අනන්ත වූ වස්තුවෙක් නො මැත. බුදුගුණ වර්ණනා කරන්නෝ ලොව්තුරා සම්බුදුරදුන් ගේ ගැඹුරු ගුණ සමුදායට මහා සමුද්‍රයත් පැතුරුණු ගුණයට මහා පෘථිවියත් අනන්ත වූ ගුණයට ආකාශයත්, උස් වූ ගුණයට මහා මේරු පර්වත යත් උපමා කොට ඇත්තාහ. එහෙත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ආකාශයට වඩා අනන්ත වූත්, පෘථිවියට වඩා පතළ වූත්, මහ සමුදුරට වඩා ගැඹුරු වූත් මහා මේරුවට වඩා උස් වූත් ගුණයෙන් සමන්විතයහ. එබඳු සම්බුදුරදුන් ගේ අචින්ත්‍ය වූ අප්‍රමාණ වූ මහා ගුණස්කන්ධය මහා සමුද්‍රාදියට කෙසේ උපමා කොට දැක්විය හැකි ද? නො හැක්කේ මැයි.

අවධානය

වෙසක් දිනය නිමිති කොට නොයෙක් ආකාරයෙන් උත්සව පවත්වන ලෝකවාසීන් විසින් විශේෂයෙන් බොදු බැතිමතුන් විසින් අවධානය යොමු කළ යුතු කරුණෙක් ඇත. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි සැතපී වැඩ හිඳ දේශනා කළ ශ්‍රෙෂ්ඨ ධර්මයට අවධානය යොමු කළ යුතු ය.

“යො ඛො ආනන්ද භික්ඛුවා භික්ඛුනීවා උපාසකොවා උපාසිකාවො ධම්මානුධම්ම පටිපන්නො විහරති. සාමීචි පටිපන්නො අනුධම්මචාරි සො තථාගතං සක්කරොති ගරුකරොති මානෙති පූජෙති පරමාය පූජාය පටිපත්ති පූජාය...” යනුවෙන් “යම් භික්ෂුවෙක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ නවලෝකෝතර ධර්මයට අනුධර්ම වූ පූර්වභාග ප්‍රතිපදා සංඛ්‍යාත උතුම් ප්‍රතිපත්තියට පිළිපන්නකු ව වෙසේ නම් ඒ තැනැත්තේ නිසි උතුම් පූජායෙන් තථාගතයන් වහන්සේ පුදන්නේ නම් වේ යැ”යි වදාළහ. මෙයින් පැහැදිලි වනුයේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රෙෂ්ඨ බවයි. යමෙක් තථාගතයන් වහන්සේට නිසි උතුම් පූජාවෙන් පුදන්නේ නම් නියම ගෞරවය සැලකිල්ල දක්වන්නේ නම් ආමිස පූජාවෙන් පමණක් බුදුරදුන් පුදන්නේ නැති ව ප්‍රතිපත්ති පූජාවෙන් ද බුදුන් පුදන්නට කල්පනා කළ යුතු ය. එය උතුම් බුද්ධ පූජාව ම වන්නේ ය. අද බොහෝ දෙනා ගේ සිරිත ආමිස පූජාවනට පමණක් පුරුදු වීම ය. ප්‍රතිපත්ති පූජාව බොහෝ සෙයින් ඈත් වී යෙයි. ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ගරු කොට සැලකූ බුදුරජාණන් වහන්සේ ගේ ත්‍රිවිධ මංගල්‍යය සිදු වූ අත්‍යුත්තම පූජනීය වෙසක් පොහෝ දිනයෙහි වැඩි වැඩියෙන් ප්‍රතිපත්ති පූජාවෙහි යෙදිය යුතු ය. සම්මා සම්බුදු රදුන්ගේ අනන්ත ගුණ සමුදායයට ඔබ මෙදින පූජා කරන මලේ සුවඳත් දල්වනු ලබන පහනේ ආලෝකයත් කරනු ලබන සැරසිලි වල ශෝභාවත් අමාමහ නිවන් පුරය තාක් නො නැසී විහිදුවන්නට හැකි අයුරු ඥානාන්විත ව ක්‍රියා කිරීමට කල්පනා කාරී විය යුතු ය. මෙම ශ්‍රෙෂ්ඨතම දිනයෙහි තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රෙෂ්ඨ ගුණ ගරුක ජීවිතයක් ගත කරන්නටත් ප්‍රතිපත්ති පූජාවෙන් තථාගතයන් වහන්සේ පුදන්නටත් අධිෂ්ඨාන කර ගැනීම හැම බෞද්ධයාගේ ම පරම යුතුකම විය යුතු ය.

සියපින් සිරින් සරු

දෙතිස් ලකුණෙන් විසිතුරු

කෙලෙසුන් කෙරෙන් දුරු

වඳිම් මුනි උතුමන් තිලෝ ගුරු