ප්‍රස්තාවනා

(අතිගරු මඩිහේ පඤ්ඤාසීහ මහානායක හිමිපාණන් වහන්සේ විසිනි.)

‘පොහොය’ යනු පාළි උපොසථ යන්නෙන් බිඳුණු ශබ්දයකි. උපොසථ ශබ්දය පාළියෙහි අර්ථ පසෙක්හි වැටේ.

  1. තදහුපො‍සථෙ පණ්ණරසෙ යන ආදී තන්හි සාමාන්‍ය දවසට වඩා විශේෂ සීලාදී ගුණයන් ගෙන් පේවී වාසය කරන දිනයෙහි ද,
  2. ආයාමවුසො කප්පින උපොසථං ගමිස්සාමි යන ආදී තන්හි තුදුස්වක් පසළොස්වක් දිනයන් හි මහණ මෙහෙණන් ගේ පාමොක් උදෙසීමෙහි ද,
  3. එවං අට්ඨංග සමන්නාගතො ඛො විසාඛෙ උපොසථො උපවුත්ථො යන ආදී තන්හි පෝයදා රැක්ක යුතු අෂ්ටාංග ශීලයෙහි ද,
  4. සුද්ධස්ස වෙ සදා ඵග්ගු සුද්ධසුස්පොසථෙ සදා යනාදී තන්හි උපවාසයෙහි හෙවත් මුළුමනින් ම නිරාහාර වැ හෝ කිරි මී පැණි මිදියුෂ ආදිය පමණක් හෝ ගෙනැ කල් යවන ව්‍රතයෙහි ද,
  5. උපෝසථො නාම නාගරාජා යන ආදී තන්හි ඇත් කුලයකට තැබූ නාමයෙක්හි දැයි යන අර්ථ පසෙක්හි උපොසථ ශබ්දය යෙදෙයි. මෙයින් පළමු අර්ථත්‍රයය අනුවැ බෞද්ධයන් විසින් පාළි උපොසථ ශබ්දයෙහි හා සිංහල පොහො සදෙහි තේරුම් උගත යුතු ය. හතර වැනි අර්ථය බාහිරක තාපසවරුන්ගේ ව්‍රතයෙක්හි ද පස් වැනි අර්ථය නාම මාත්‍රයෙහි ද වැටෙන බව සැලකිය යුතු ය.

මේ පොහාය දවස බුදුරජාණන් වහන්සේ ලොවැ පහළ වන්නටත් පෙරැ සම්මත වූවෙකි. ඉතා පෙරැ ආදි කාලයෙහි විසූ ධාර්මික මනුෂ්‍යයෝ සැමදා මැ මෙලොව කටයුතුවලැ පමණක් නො යෙදී සතියකට වරක් පරලොවැ සුභසිද්ධිය සඳහා ආගමික වතාවත්හි යෙදුණාහ. මෙකලැ මෙන් දින දර්ශන හා ලිත් සුලභ නැති එකලැ අහසෙහි හඳ දෙස බලා සතියෙහි ආගමික දිනය හෙවත් පොහොය දැනගත් බව කිව යුතු ය. බුදුරජාණන් වහන්සේ ගේ කාලය වන විට බාහිරක තාපසවරුන් ද පොහොය ආගමික දින හැටියට යොදා ‍ගෙනැ තිබිණි.

බුදුරජාණන් වහන්සේ ගේ කාලයටත් පෙර පටන් පැවත එන උපොසථය පොහොය බුද්ධාගමට ඇතුළු වූ සැටිත් පොහොය දා පන්සල් යෑම බණ ඇසීම සිල් සමාදන් වීම ආදිය ආරම්භ වූ සැටිත් සැලකිල්ලට භාජන කරන්නේ පොහොය පිළිබඳව වැ විශේෂයෙන් ශාසනික පොහොය පිළිබඳ වැ ඥානවන්තයන්ගේ නුවණ මෙහෙයවනු සඳහා ය.

බුදුරජානන් වහන්සේ ගේ ප්‍රථම ධර්මදේශනාව පැවැත් වූ තැන් පටන් භික්‍ෂූන් වහන්සේ ධර්මදේශනා කිරීමටත් උපාසක උපාසිකාවන් ධර්ම ශ්‍රවණය කිරීමත් භික්‍ෂූන් හමුවන්නට පන්සල් යෑමත් ආරම්භ විය. එහෙත් දින සම්මතයක් නො වීය. එසේ වී නමුත් අන්‍ය තීර්ථක ආරමයන්හි පොහෝ දිනයන් හි ධර්ම දේශනාදිය පැවැත්විණ. එයින් ඔවුන් ගේ ගිහි පැවිදි සම්බන්ධය තර විය.

බිම්බිසාර රජතුමා ශ්‍රද්ධාවන්ත උපාසක කෙනෙකි. සසුනු දියුණුව කැමැත්තෙකි. අන්‍ය තීර්ථකයන් අතර ගිහි පැවිදි සම්බන්ධය තරවන කරුණු අ‍වබෝධ කරැ ගත් රජතු‍මාණෝ බෞද්ධයන් අතරැ ද මේ කටයුතු ඇතිවීම මැනැවැ යි බුදුරජාණන් වහන්සේ හමුවන්නට ගොස් කරුණු සැල කළහ. කාගේ වුවත් හොඳ යෝජනාවන්ට ගරු කරන බුදුරජාණන් වහන්සේ “අනුජානාමි භික්ඛවෙ චාතුද්දසෙ, පණ්ණරසෙ, අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතිතුන්ති - මහණෙනි, - තුදුස්වක්හි, පසළොස්වක් හි, අටවක් හි රැස් වන්නට අනුදනිමි” යි වදාළ හ. මේ පොහෝ දිනයන්හි පන්සල් යෑම ආරම්භ වූ සැටි යි.

බුද්ධ නියමය පරිදි ගිහි පැවිදි දෙපස මැ පො‍හෝ දිනයෙහි රැස් වූ නමුත් ධර්මදෙශනා කිරීමක් නො වීය. එයින් අසතුටට පත් වූ ගිහි ජනතාව ධර්මදේශනා නො කිරීම ගැන දොස් නගන්නට වූහ. එය දැනගත් බුදුරජාණන් වහන්සේ, “අනුජානාමි භික්ඛවෙ චාතුද්දසෙ පණ්ණ‍රසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්තිපතිත්වා ධම්මං භාසිතුන්ති - මහණෙනි, තුදුස්වක්හි පසළොස්වක්හි පක්ෂයේ අටවක් හි රැස් වී දහම් දෙසන්නට අනුදනිමි” යි වදාළහ. මේ පොහෝ දිනයන්හි ධර්මදෙශනා ආරම්භ වූ සැටි යි.

දිනක් විශාඛා මහා උපාසික‍ාව බුදුරජාණන් වහන්සේ හමුවන්නට පැමිණියා ය. පැමිණි කාරණය විමසූ විට විශාඛා මහා උපාසිකාව ප්‍රකාශ කෙළේ තමා අද පෙහෙවස් රකින බව යි. එසඳ බුදුරජාණන් වහන්සේ පොහෝ දිනයන්හි පෙහෙවස් රැකීම පිළිබඳ ව දීර්ඝ විස්තරයක් ප්‍රකාශ කළහ. ත්‍රිවිධ උපොසථයන් දක්වා බෞද්ධයන් ආර්‍ය්‍යුපොසථයෙන් හෙවත් රහතන් වහන්සේ අනුගමනය කරමින් පෙහෙවස් රැකීම මැනැවැ යි බුදුරජාණන් වහන්සේ දේශනා කෙළෙන් ශ්‍රාවක ශ්‍රාවිකාවෝ පොහෝ දින පෙහෙවස් රැකීම ආරම්භ කළහ.

දිනක් නිහඬ වැ සිටින බුදුරජාණන් වහන්සේට මෙබඳු අදහසක් පහළ විය. මා විසින් භික්‍ෂූන් හට යම් සික පද කෙ‍නෙක් පනවන ලද්දාහු ද, ඒ සික පද ඔවුනට පාමොක් උදෙසීම කොට අනුදැනැ වදාළොත් නම් යෙහෙ‍කි. ඒ ‍පාමොක් උදෙසීම ඔවුනට පෙහෙකම් වන්නේ ය යනුයි. අනතුරුව භික්‍ෂූන් අමතා “අනුජානාමි භික්ඛවෙ සකිං පක්ඛස්ස චාතුද්දසෙ වා පණ්ණරසෙ වා පාතිමොක්ඛං උද්දිසිතුන්ති” මහණෙනි, පක්ෂයකට වරක් තුදුස්වක්හි හෝ පසළොස්වක් හි හෝ පාමොක් උදෙසන්ට අනුදනිමි”යි වදාළහ. මේ පොහෝ දිනයන්හි භික්ෂූන් ගේ උපෝසථ කර්ම ආරම්භ වූ සැටි යි.

පොහෝ දිනයන් හි පන්සල් යෑම, දහම් දෙසීම, සිල් සමාදන් වීම, පාමොක් උදෙසීම ආරම්භ වූ සැටි මැනවින් පැහැදිලි වේ. මේ අතර පැන නැගෙන ප්‍රශ්නයක් වෙයි. මෙකී දිනයන් හි හැරැ අන් දිනයන්හි එකී ආමික කටයුතු නො කළ හැකි ද නො කළ යුතු ද යන්න යි.

දිනයෙන් පිරිසිදුවන සිල් බුද්ධාගමේ නැත. දිනයෙන් උසස් වන පින්කම් බුද්ධාගමයෙහි නැත. එහෙයින් පොහොය නො වන දිනයන්හි ද පන්සල් යෑමට, බණ ඇසීමට, සිල් සමාදන් වීමට කිසිදු බාධාවක් නැත. එහෙත් භික්ෂූන් ගේ පාමොක් උදෙසීම නම් තුදුස්වක් පසළොස්වක් දිනයන්හි හැරැ අන් දිනයන් හි නො කළ හැකි මැ යි. ඒ අතර ම පොහෝ දිනයන් හි ආගමික කටයුතු සම්මතය පිළිබඳ ව ද නුවණින් සිතා බැලිය යුතු ය.

සැලැස්මක් ඇති වැ කාල සටහනක් ඇති වැ කටයුතු කිරීමට ලෝකයෙහි පළමු වරට ඉගැන්වීම කළ උත්තමයා බුදුරජාණන් වහන්සේ ය. පොහොය දින සම්මත වූයේ ද උපාසක උපාසිකාවනට එක් දිනයෙකැ එක් වේලාවෙකැ පන්සලට බැමිණ බුදුන් වැඳ බණ අසා යෑමේ පහසුව සඳහා ය.

පොහොය ආගමික දින වශයෙන් කොතරම් දුරට තහවුරු වූවා දැයි කිවහොත් ශක්‍ර ආදී දෙවියන් පවා මනුෂ්‍යයන් පින් කරන හැටි බලන්නට පොහෙය දිනයන් හි මිනිස් ලොවට පැමිණෙන සැටි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. පොහොය දින පිළිබඳ මෙතරම් පැහැදිලි වැ තිබෙද්දීත් ඇතැම් අය ‘සුද්ධස්ස වෙ සදා ඵග්ගු සුද්දස්සුපොසථො සදා” පිරිසිදු තැනැත්තාට සැමදාම පුවපල් ගුණේ නැකත ය. පිරිසිදු තැනැත්තාට හැම දින ම පොහොය යයි බණ පදය වරද්දා අල්ලා ගෙනැ බෞද්ධයාට පින්කම් කිරීමට පොහොය කියා විශේෂ දිනයක් උවමනා නැතැ යි සිතති. කියති. පිරිසිදුව මිථ්‍යා දෘෂ්ටි රැසක් ඇති වැ සිටි බමුණකු ගේ මිථ්‍යා දෘෂ්ටි හරණය සඳහා දේශනා කළ බණ පදයෙන් පොහෝ දින ආගමික කටයුතුවලට පටලවා නො ගන්නා මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

මෙසේ පොහොය දින නියම කළ බුදුරජාණන් වහන්සේ පොහොය දින ගණන් කර ගන්නා අයුරු ද භික්‍ෂූන්ට ඉගැන්වූ හ. අවුරුද්දක් ඍතු තුනකට බෙදා සාමාන්‍යයෙන් එක් එක් ඍතුවෙහි ලැබෙන පොහොය අටෙන් තුන් වැනි හත් වැනි පොහොය දෙක චාතුදස්සී - තුදුස්වක හා ඉතිරි හය පසළොස්වක බවත් ප්‍රකාශ කළහ. උපාසක උපාසිකාවනට පන්සල් යෑමට බණ ඇසීමට සිල් සමාදන් වීමට බුදුරජාණන් වහන්සේ නියම කළේත් මේ පොහො දින මැ යි. එයට අතිරේක ව පක්ෂයෙහි අටවකත් නියම කොට ඇත. මේ තමා ශාසනික පොහොය.

මෙකලැ බෞද්ධයන් ව්‍යවහාර කරන්නේ ශාසනික පොහොය නො වැ තිථි පොහොය යි. තිථි පොහොය නමින් මා සඳහන් කෙළේ දැනට ලිත්වල සටහන් වැ සිල් සමාදන්වීම ආදියට ව්‍යවහාර කරැ ගෙනැ එනු ලබන පොහොය යි. ඒ පිළිබඳ විස්තර නො දනිතත් එය වේද කාලයෙහි සිට පැවැත එන ඉතා උසස් ගණිත ක්‍රමයක්ය යි සිතමි. නිවැරදි ශාස්ත්‍රවලට බුදුරජාණන් වහන්සේ විරුද්ධ නො වූයෙන් බෞද්ධයන් විසින් ද නැකැත් ව්‍යවහාරය පෙර පටන් ම කරගෙන එනු ලැබේ. එහෙත් බුදුරජාණන් වහන්සේ නියම කළ පොහොය පින්කම් කරනුවා නම් උන්වහන්සේ නියම කළ පොහොයට මැ කළ යුතු නො වේදැයි සිතා බලන්නේ නම් මැනැවි.

ශාසනික පොහොයන්හිත් තිථි පොහොයන්හිත් වෙනස් කම් කීපයක් පෙනෙන්නට ඇත. ඇතැම් පොහොය දින වශයෙන් දෙදිනකට පැමිණෙයි. ශාසනික පොහොය දිනයෙහි අතරතුර ලබන ගෙවෙන වේලාවක් නො වෙයි. මුළු දවස ම පොහොය යි. තිථි පොහොය දිනයෙහි මුලත් මැදත් අගත් ලබයි; ගෙවෙයි. එහෙයින් බුදුරජාණන් වහන්සේ පොහොයට නියම කළ පින්කම් පෙ‍ාහොය නැති වේලාවන්හිද කරන්නට සිදුවෙයි. තවද පූර්වයෙහි හෝරා ශාස්ත්‍රඥයන් දිනය ගත්තේ උදේ 6 සිට ය. එහෙත් දැන් බහුල වශයෙන් දකින්නට ලැබෙන්නේ රෑ 12 යි මිනිත්තුවේ සිට දිනය පටන් ගැනීම යි. ඒ අනුව පොහොය නියම ද සිදු කරන බව පෙනෙයි. දැන් ලිත්වල පෙනෙන සැටියට රෑ 11 මි. 59ට පොහොය ලැබුවා නම් සිල් සමාදන්වීම අද යයි ද රෑ 12යි මිනිත්තුවට පොහොය ලබනවා නම් සිල් සමාදන වීම හෙට යයි ද කියති. රෑ 11යි මිනිත්තු 59ට පොහොය ලබන දිනයක උපාසක උපාසිකාවන් සිල් සමාදන් වන්නේත් සිල් රකින්නේත් පොහොය නැති වෙලාවන්හි ය. පොහොය ලබන බොහෝ දෙනා තද නින්දේ බව පෙනෙයි.

ශාසනික පොහොය ගන්නවා නම් මෙබඳු අවුලක් නැහැ නො වේද? උදේ 6ට සිල් සමාදන් වන්නේ පොහොය ලබන වේලාවටම යි. පසුදා උදේ 6ට සිල් පවාරණ කරන්නේ ද පොහොය ගෙවෙන වේලාවට ම යි. මෙසේ ශාසනික පොහොය ගත් විට සම්පූර්ණ 24 පැය ම පෙහෙව සිටින අතර හෝරා ශාස්ත්‍රඥයන් ගේ ගණිත ක්‍රම අනුව පොහොය දිනයන්හි වෙනසක් ඇති වන්නේ නැත. අතිරේක කරුණු සියල්ල ම පසෙකින් තබා ප්‍රධාන වශනේ බෞද්ධයන් විසින් සිතට ගත යුත්තේ පොහොය දිනයට සිල් සමාදන් වීම් ආදිය කරනුව‍ා නම් එය බුදුරජාණන් වහන්සේ නියම කළ පොහොයට මැ කළ යුතු නො වේ ද? යන්න යි. හෝරා ශාස්ත්‍රඥයන් ද එය පිළිගන්නවා ඇතැ යි සිතමි.

සියම් බුරුම කාම්බෝජ ආදී ලොව ථෙරවාදී බෞද්ධ රටවල ව්‍යවහාර කරන්නේ ශාසනික පොහොය යි. ලංකාවේ මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වූ ශාසනික පොහොය සීතාවක රාජසිංහ රජකාලය දක්වා පැවති බව ඉතිහාසය දන්නෝ කියති. සීතාවක රාජසිංහ රජතුමා විසින් කරන ලද ශාසන විනාශයෙන් පසු ශාසනික ක්‍රම අභාවයට යෑමෙන් ශාසනික පොහොය වෙනුවට තිථි පොහොය ව්‍යවහාරය ඇති වූ බව කිව යුතු ය.

තව ද පොහොය නිවාඩු දින කිරීමට තීරණය කළ රජයට ද ශාසනික පොහොය ගැනීම වඩා පහසු ය. තිථි පොහොය ක්‍රමය අනුව දින 6 නුත් 7 නුත් 8 නුත් 9 නුත් පොහොය යෙදෙයි. ශාසනික පො‍හොය ක්‍රමය අනුව දින 7 ට අඩුවෙනුත් දින 8 ට වැඩියෙනුත් පොහොය නො යෙදෙයි. අවුරුද්දකට පොහොය හතළිස් නවයක් පනහක් ලැබෙන අතර එයින් පොහොය 30 ක් හෝ 31 ක් දින හතෙන් පැමිණෙයි. පොහොය 18 ක් හෝ 19 ක් දින 8 න් පැමිණෙන්නට පිළිවන. තුදුස්වක් පොහොයකට පෙර පැමිණෙන අටවක පමණක් දින 7 න් යොදා ගත යුතු ‍වේ. එයට බෞද්ධයන් අකැමැති නො වනු ඇත. වර්තමාන හෝරා ශාස්ත්‍රඥයන් වැඩි දෙනා බෞද්ධයන් වන බැවින් සිල් ගන්නා දින නියම කැරැ ගත යුත්තේ බුදුරජාණන් වහන්සේ ගේ අදහසට අනුව බව පිළිගන්නවා ඇතැයි සිතමි. මෙසේ කිරීමෙන් හෝරා ශාස්ත්‍රඥයන් ගේ ලිත් වල සඳහන් වන අන් එක ද කරුණකට වත් බාධාවක් නො වනු ඇත. එපමණක් නො වැ පොහොය අනුවැ සති වෙන් කිරීමේදී රජයට ලොකු පහසුවක් වනු ඇත.

ලංකාවේ අවුරුදු දෙදහසකට අධික කාලයක් තිබුණු පොහොය නිවාඩුව නැති ‍කළේ 1770 වැන්නෙහි පෝක් නම් වූ ඕලන්ද ආණ්ඩුකාරයා විසිනි. මෙසේ පොහොය නිවාඩුව වෙනස් කොට ඉරිදා නිවාඩුව ඇති කෙළේ වී නමුත් බොහෝ කාලයක් බෞද්ධයන් තුළ මුල් බැස ගෙනැ තිබුණු නිවාඩුව ජනතාවගේ සිත් වලින් අස් කරන්නට ඉතා අපහසු විය. එහෙත් 1817 වැන්නෙහි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් නව පනතක් ඇති කොට දඬුවම් ද නියම කොට පොහොය නිවාඩු වෙනස් කරන ලදී.

අවුරුදු දෙදහස් පන්සියකටත් පෙරැ ලේ වගුරුවන විප්ලවයකින් නො වැ කරුණා මෛත්‍රියෙන් පිරුණු උපදේශ මාලාවකින් සාමකාමී වැ සමාජ පරිවර්තනයන් කළ උත්තමයා අපේ බුදුරජාණන් වහන්සේ ය. එහෙයින් උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසුව ද බුද්ධ ධර්මය පැතුරුණු හැම රටක ම සාමයෙන් සිදු වූ සමාජ පරිවර්තනයෙන් ඒ ජනතාව ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, සදාචාර යන චතුර්විධ දියුණුවෙන් නැගී ගියේ ය.

මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට පැමිණ දහම් දෙසා ජනතාව බෞද්ධ කිරීමෙන් සිංහල සමාජය ද මහා පරිවර්තනයෙකින් පුදුමාකාරයෙන් නැගී එන්නට පටන් ගති. බුද්ධ ධර්මය නිසා සිදු වූ සමාජ පරිවර්තනය කොතරම්දැ යි සිතා ගැනීමට පොසොන් උත්සවය මැ ප්‍රමාණවත් වනුවා ඇත. මිහිඳු මහ රහතන් වහන්සේ මෙහි වැඩම කරන කාලයෙහි පොසොන් උත්ස‍වයෙහි ප්‍රධානාංගය වූයේ රජතුමා ප්‍රධාන ජනතාව දඩයමේ යෑම යි. මිහිඳු මාහිමියන් වහන්සේ ට දේවානම් පියතිස්ස රජතුමා හමුවුණේ ද දඩයමේ ගොස් සිටින විට ය. බෞද්ධාලෝකයෙන් පසු එය කොතරම් දුරට වෙනස් වූවා දැයි කිවහොත් අද පොසොන් යනු කුරු කුහුඹුවකුටත් හිංසා නො කරන උත්සවයෙකි. ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් ගෙන් බුදුරජාණන් වහන්සේ හා මිහිඳු මහ රහතන් වහන්සේ පුදන දිනයෙකි. මිහිඳු මහ රහතන් වහන්සේ සිංහල බෞද්ධයනට බුද්ධ ධර්මය මෙන් ම බෞද්ධ චාරිත්‍ර ද ඉගැන්වූහ. සතර පොහොයට පන්සල් යෑම ද ඉන් එකකි.

දුටුගැමුණු රජතුමා ධර්මදානමය පින්කම සම්පූර්ණ කරැ ගැනීම සඳහා පොහෝ දිනයන් හි පන්සලක් පාසා ධර්මදේශනා කැරැවීම ආරම්භ ක‍ළෙන් ලක්වැසි ජනතාව ඒ ධර්මෝපදේශයන් අනුවැ කටයුතු කිරීමෙන්, ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, සදාචාර යන චතුර්විධ දියුණුවෙන් කොතරම් ඉහළට නැංගේ දැයි කිවහොත් ලොවැ අන් කිසි මැ රටකට නො ලැබුණු ධර්මද්වීපය යන ගෞරව නාමය ද හිමි කර ගත් සැටි අපේ බාල පරපුරට කියා දිය යුතු ව ඇත.

මෙසේ සිංහල බෞද්ධයා බාහිර දියුණුවෙන් පමණක් නො වැ ගුණ නුවණින් ද ඉහළට මැ දියුණු වී ගියේ ය. අපේ රටත් අපරාධ අඩු වී ලෝ වැසියන් මවිත කරන තරම් ධාර්මික රටක් විය. රූමත් තරුණියකට අල්ලේ වටිනා මැණිකක් තබාගෙනැ තනියම රට පුරා යා හැකි වැ තිබුණා නම් ලංකාවෙහි නිරපරාධී භාවයත් සදාචාර සෞභාග්‍යතාවත් පිළිබඳ වැ අන් කවර කතා ද?

රොබට් නොක්ස් මෙහි පැමිණෙන විට ලංකාවෙහි ස්වර්ණ යුගය අවසාන වී නොයෙක් ලෙසින් පිරිහී සිටි බව කිය යුතු ය. එහෙත් අපේ සමාජය නිරපරාධී ධාර්මික භාවයෙන් එතරම් පිරිහී නො සිටි බව මතු සඳහන් වන රොබට් නොක්ස් ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

“සිංහලයෝ වනාහි දඹදිව දී මා විසින් දක්නා ලද අන් හැම මිනිස්සුනට ම වඩා යහපත් ‍අය වෙති. භාග්‍ය සම්පන්න ද වෙති. ඔවුහු මධුර කථා ඇති ආචාරශීලී මනුෂ්‍යයෝ ය.”

“සිංහලයාගේ ගුණ ධර්ම සැකෙවින් වර්ණනා කරතොත් මෙසේ ය. ඔවුන්ගේ ගමන් ලීලා ව ද හැසිරීම ද ඉතා උදාර ය. යම් කිසිවක් වහා තේරුම් ගත හැකි විචක්ෂණ ඥානයක් සිංහලයනට ඇත්තේ ය. ඔවුහු ස්වභාවයෙන් ම මස් කෑමත්, මත්පැන් බීමත්, අප්‍රිය කෙරෙති. ඔවුහු කිපෙන සුලු නො වෙති. කෝපයක් ඇති වුව ද වහා එය සංසිඳවා ගෙනැ සමගි වෙති. සිංහලයෝ ඇඳුමෙන් පිරිසිඳු ය. ඉතා ශිෂ්ට ලෙස ආහාර අනුභව කෙරෙති. වැඩි වේලා නො නිදති. සිංහල ස්ත්‍රීන් ගේ හැසිරීම සුවිනීත ය. ගමන් ලීලාව ඉතා සංවර ය. සිංහල ස්ත්‍රීහු අරපරිස්සමෙහි ඉතා දක්ෂ වෙති. ස්වාමි පුරුෂයෝ ස්වකීය භාර්යාවන් අතිශයින් ම විශ්වාස කෙරෙති. සිංහල ස්වාමිදුව කොතරම් මහේසාක්‍ය වුවත් කොතරම් දැසිදසුන් සිටියත් සියතින් ම ගෙදර සියලු කටයුතු කෙරෙයි.”

“සිංහලයෝ උදය සවස දෙක් හි පිළිම වහන්සේ ඉදිරියේ මල් පූජා කෙරෙති. නවගුණවැල් අතින් ගෙන නිතර භාවනාවෙහි යෙදෙති. හොරකම් අතිශයින් ම පිළිකුල් කොට සලකති. කිසි ම සිංහලයකු කවරදාවත් හොරකමක් කළ බවක් මම නො දනිමි. සිංහලයෝ කරුණා කෙරෙති. පරහට උපකාර කෙරෙති. ආගන්තුකයනට දයාවෙන් සංග්‍රහ කෙරෙති. සිංහලයන් ළඟ මේ ගුණ ධර්ම ඇති බව අත් දැකීමෙන් ම දනිමි. සිංහලයන් ගේ භාෂාව ද සිංහලයන් මෙන් ම පොහොසත් ය. එය මටසිලුටු ය. සුමධුර ය. අලංකාර ය. සිංහලයෝ චතුර කථිකයෝ ය. සිංහල ද්වීපයේ එක ම සිංහල හිඟන්නෙක් වත් නැත.”

මෙසේ සෞභාග්‍ය සදාචාර සම්පන්න රටක් ව පැවැති ලංකාවට දුර්භාග්‍ය අවාසනාවන්ත කාල පරිච්ඡේදයක් පැමිණියේ විදේශිකයන් ගේ ආක්‍රමණයත් සමග මිෂනාරීන් ගේ පැමිණීමත් සමග ය. කවර අදහසකින් හෝ ලක් වැසියනට එක්තරා ප්‍රමාණයක අධ්‍යාපනයක් දීම ගැන ඔවුනට කෘතගුණ පූර්වක ගෞරවය පිරිනමමු. ඒ අතරින් බෞද්ධ ජනතාව පන්සලෙන් ඈත් කොට මත්පැන් පානය ආදී දුරාචාර පුරුදු කොට මේ ‍රටේ බෞද්ධකම නරක් කිරීමේ සාපය ද ඔවුනට මැ පිරිනමමු. පන්සලෙන් හෙවත් භික්ෂූන්ගේ ආශ්‍රයෙන් ඈත් කිරීමෙන් ද සංකර සිරිත් පුරුදු කිරීමෙන් හා ගුණ ධර්ම වනසන අධ්‍යාපනයකින් ද දූෂිත වූ බෞද්ධ ජනතාව නො දැනුවත්වම අපරාධයනට පෙළඹෙන්නට පටන් ගනු ලැබිණි. එකලැ අපරාධ පුවත් පත්වලැ මෙතරම් පළ කරවීමේ දුෂ්ප්‍රතිපත්තිය නො පැවැති හෙයින් මහජනයාට දැන ගන්නට නො ලැබු‍ණේ වී නමුත් අපරාධ වැඩි වූ බව කිව යුතු ය. මේ අතරට කර්නල් ඕල්‍කට් තුමා ගේ පුරෝගාමීත්වයෙන් බෞද්ධ පාඨශාලා පැවැත්වීමත් ධර්මපාල තුමා ආදී උදාර පුරුෂයන්ගේ අහිංසක විප්ලවයක් හේතු කොට ගෙන බෞද්ධ සමාජය නැවතත් හොඳ අතට හැරී යන්නට විය. මෙසේ ඇති වූ බෞද්ධ ප්‍රබෝධය 2500 සම්බුද්ධ ජයන්තිය නිමිති කැරැගෙනැ ඉහළට මැ නැගී ගියේ ය.

බුද්ධ ජයන්ති ප්‍රබෝධයෙන් අපරාධ අඩු කොට සදාචාරය දියුණු කොට ලංකාවෙහි සෞභාග්‍යය නැවැතත් උදා කළ හැකි වූයේ මේ රටෙහි බහු ජනතාව වන බෞද්ධයන් සතර පොහොයට පන්සල් යෑම, නිතර බණ ඇසීම, පෙහෙවස් රැකීම, භාවනා කිරීම ආදී නොයෙක් පුණ්‍ය කර්මයන්හි බලවත් උද්‍යෝගයෙකින් යෙදී සිටීම නිස යි.

බුද්ධ ජයන්ති උත්සවයට ලක්වැසි බෞද්ධයා පේවූයේ ඉතා උසස් බලාපොරොත්තු ඇති වැ අකලංක ශ්‍රද්ධාවෙකිනි. එයින් මේ රටෙහි අපරාධ අඩු වී සදාචාරය දියුණු වූ ආකාරය විස්මය ජනක ය. ආගමික හැඟීම් දියුණු කිරීමෙන් අපරාධ සංඛ්‍යාව අඩු කර ගත හැකි ප්‍රමාණය දැන ගැනීමට ඒ කාලයෙහි අපරාධ අඩු වූ සැටි පොලිස් වාර්තා අනුවැ පෙන්වීම කාලෝචිතය යි කවුරුත් පිළිගන්නවා ඇත.

බුද්ධ ජයන්ති උද්‍යෝගය ආරම්භ වූයේ 1944 වැන්නෙහි දී පමණ ය. එය ඉහළට ම නැංගේ 1955 දී ය. 1944වැන්නෙහි ලංකාවේ ජනගහණය 62,76,000 කි. අපරාධ සංඛ්‍යාව 34,623 කි. 1955 වන විට මේ රටෙහි ජනගහනය 85,89,000 කට නැගැ තිිබුණේ ය. ජන සංඛ්‍යාව එතරම් නැගැ තිබියදීත් අපරාධ සංඛ්‍යාව 18,163 දක්වා බැස්සේ ය. 1944 දී මිනීමැරුම් 617 කි. 1955 වන විට එය ද 466 දක්වා අඩු විය.

මෙයින් පෙනී යන්නේ ධර්ම ප්‍රචාරය කොට ආගමික හැඟීම් ඇති කිරීමෙන් අපරාධ සංඛ්‍යාව හොඳට මැ අඩු කළ හැකි බවයි. එහෙයින් මෙරටැ නැවැතත් ධර්මද්වීපයක් කිරීමට නම් නැවැතත් බෞද්ධ පරිසරයක් ඇති කළ යුතු ය.

මේ කරුණු හෙඳින් සළකා බලා අවුරුදු 195 කට පසු සිදුවන නිවාඩු පරිවර්තනයෙන් සමාජ පරිවර්තනයක් කිරීමට ලංකාවට හිතැති හැම දෙනාමත් විශේෂයෙන් සිංහල බෞද්ධයනුත් තරයේ ම සිතා ගත යුතු වැ ඇත. කවර කටයුත්තක් වුවත් සඵල සාර්ථක කැරැගැනීමට මනා සැලැස්මක් ඇති වැ ක්‍රියා කළ යුතු බව ලෝකයෙහි පළමුවරට ප්‍රකාශ කෙළේ අපේ බුදුරජාණන් වහන්සේ ය. එහෙයින් මේ සමාජ පරිවර්තනය සඳහා මනා සැලැස්මක් පිළියෙළ කොට ලංකාව පුරා ක්‍රියාත්මක කළ යුතු වේ. එය සාර්ථක කැරැ ගැනීමට ගරුතර මහා සංඝයා වහන්සේ පුරෝගාමී විය යුතු බව ගෞර‍වයෙන් මතක් කෙරෙමි. ගිහි පැවිදි දෙපක්ෂය ම බුද්ධ ජයන්තියට පෙහෙ උණාක් මෙන් උද්‍යෝගයෙන් ක්‍රියා ‍කළොත් සතර පොහොය නිවාඩුව ලංකාව නැවැතත් ධර්මද්වීපයක් කිරීමට අත්තිවාරම වෙනවා ඇත.

පොහොය නිවාඩු බලාපොරොත්තු වූ තරමට ම සාර්ථක වූයේ නැත. ඊට හේතු කීපයෙකි. නිවාඩු පරිවර්තනයෙන් සමාජ පරිවර්තනයක් සඳහා මහජන මතයක් ඇති කිරීමට ප්‍රධාන බාධකය වූයේ පොහොය නිවාඩුව ලැබී දෙ දිනකින් ඇති වූ කලබලය නිසා හදිසි නීතිය පැන වීමයි. එයින් ජනතාව තුළ මහා නොසන්සුන් කමක් ඇති වුනා පමණක් නො වැ සමාජ පරිවර්තනයට උවමනා කරන මහජන උද්ඝෝෂණය වැළකිණ.

තවද පොහොය දිනය අපිරිසිදු කරන යම් යම් කටයුතු රජය ලවා වළක්වා ගන්නට ගත් උත්සාහය ද අසාර්ථක විය. බොහෝ පන්සල් වලට ගමේ ජනතාව පන්සලට ඇදී එන පරිදි පොහොය දිනය වැඩ සටහනක් ද යොදා ගත්තේ නැත.

ඉදිරියට හෝ නිවාඩු පරිවර්තනයෙන් සමාජ පරිවර්තනයක් ඇතිකොට ලංකාව නැවැතත් ධර්මද්වීපයක් කැරැ ගන්නට නම් සිනමාශාලා සමාජශාලා සුරාහල් මස්කඩ ආදී පොහොය දින අපිරිසිදු කරන කටයුතු නීතියෙන් නතර කොට පොහොය දින ආගමික දින හැටියට සම්මත කර ගත යුතු යි. හැම ආරාමයන්හි ම ගමේ ජනතාව දෙලෝ වැඩ සැලසෙන මනා වැඩ සටහනක් පොහෝ දිනයන්හි ක්‍රියාවට නැංවිය යුතු යි.

පොහොය දිනයන්හි වැදගත්කම දැක්වෙන සිද්ධි රාශියෙකි. එය ත්‍රිපිටකයෙහිත් අටුවාවන්හිත් ටීකාවන්හිත් විසිරී පවතී. එහෙයින් සාමාන්‍ය කෙනෙකුට තබා උගත් ධර්මධරයකුට වුව ද දැනැ ගැනීම දුෂ්කර ය.

ශාස්ත්‍රවේදී පණ්ඩිත මාපලගම සිරි සෝමිස්සර ස්ථවිරපාදයන් වහන්සේ නොයෙක් තන්හි විසිරී පවත්නා පොහෝ දිනයන්හි සිදු වූ වැදගත් සිද්ධීන් එක් රැස් කොට මේ පොත ලියා ඇත. ත්‍රිපිටකයත් අටුවාත් ටීකාත් ‍බලා මේ කරුණු එක්රැස් කරන්නට කොතරම් පරිශ්‍රමයක් දැරිය යුතු දැයි වටහා ගැනීම නුවණැති කෙනෙකුට අපහසු නො වේ.

මාපලගම සිරි සෝමිස්සර ස්ථවිරපාදයන් වහන්සේ ගේ මේ බලවත් උත්සාහය පොහොය නිවාඩුවෙන් සමාජ පරිවර්තනයක් ඇති කොට ලංකාව නැවැතත් ධර්මද්වීපයක් කිරීමට උපකාර වේවා යි ඉත සිතින් ප්‍රාර්ථනා කෙරෙමි.

මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්ථවිර

2511/1967 අගෝස්තු 24

මහරගම,

සිරි වජිරඤාණ ධර්මායතනයේ දී ය.