පන්සිල් රැකීම

මෙකල බොහෝ බෞද්ධයන්ට පිරිත් පොළේදීත් බණ පොළේදීත් දානපොළේදීත් මරණ පොළේදීත් විහාරයේදීත් චෛත්‍ය වෙතදීත් තවත් නොයෙක් තැන්වලදීත් රැකීමේ බලාපොරොත්තුවක් නැතිව පන්සිල් සමාදන් වෙමුය කියා නිකම් සිකපද කීමක් පුරුදු වී තිබේ. ඒ සිකපද කීමට පන්සිල් සමාදන්වීම යයි කියතත් එය කීමක් මිස සමාදන්වීමක් නොවේ. එය බෞද්ධයන්ට පන්සිල් රැකීම ගැන සැලකිල්ලක් නැති වී යාමට ද හේතුවක් වී තිබේ. පන්සිල් සමාදන් වීමය කියන්නේ, පස් පවින් වැළකීමේ බලාපොරොත්තුවෙන් පස් පින් වැළකී සිටීමට අධිෂ්ඨානයක් කිරීමක් වශයෙන් හෝ පොරොන්දුවක් වීම් වශයෙන් හෝ සිකපද, කීම ය. සඟනමක් ඉදිරියේ හෝ විහාරයක දී හෝ චෛත්‍යයක් ළඟක දී හෝ රැකීමේ අදහසක් නැතිව බොරුවට සික පද කීම පිනක් ද? පවක් ද? කියා බෞද්ධයන් විසින් සිතා බැලිය යුතු ය. පන්සිල් සමාදන්ව රැකිය යුත්තේ මෙසේ ය.

පස්පව් කිරීමේ ආදීනවය දුටු තැනැත්තා විසින් ඒවායින් වැළකී සිටීමේ අදහසින් යම්කිසි සිල්වත් ගුණවත් මහතෙර නමක් වෙත ගොස් පස් පවින් වැළකීමට අධිෂ්ඨාන කර ගැනීමක් වශයෙන් හෝ පොරොන්දු වීමක් වශයෙන් සිකපද කියවා ගත යුතුය. ගුණවත් මහතෙර නමක් නොලැබිය හැකි කල්හි නවක සඟ නමකගෙන් වුව ද සිල් සමාදන් වීම සුදුසු ය. සිල් සමාදන් වීමට සුදුසු කෙනකු නැති විට විහාරයකට හෝ දාගැබක් බෝධියක් වෙත හෝ ගොස් බුදුරජාණන් වහන්සේගෙන් සිල් ලබා ගැනීමක් වශයෙන් තමා ම සිකපද කියා සිල් සමාදන් විය යුතු ය. සමාදන් වූ ශීලයෙහි පිහිටා සිටීමට තරම් ශක්තිය ඇති නුවණැති පුද්ගලයෝ සිකපද කඩ නො කරති. සිල් කැඩෙන්නේ අනුවණ කමත් දුබල කමත් නිසා ය. තමා සමාදන් වූ ශීලය කඩ වුවහොත් නැවත සිල් සමාදන් වූ මහ තෙරුන් වහන්සේ වෙත ගොස්-

“ස්වාමීනි, මාගේ අනුවණකමත් දුබලකමත් නිසා මා සමාදන් වූ ශීලය බිඳී ගියේ ය. මා අතින් වූ ඒ වරදට නුඹ වහන්සේ සමාවන සේක්වා.”

මෙසේ සමාව ඉල්ලා නැවත ද පන්සිල් ලබාගත යුතු ය. සිල් කඩවන සෑම වාරයක දී ම එසේ කළ යුතු ය. එසේ සිල් රක්නා සත් පුරුෂයාට ක්‍ර‍මයෙන් ශීලය නො කඩවා පවත්වා ගත හැකි ශක්තිය ලැබෙන්නේ ය.

සිල් කැඩුණු විට සිල් සමාදන් වූ තෙරුන් වහන්සේ මුණ නො ගැසුණ හොත් අන් සඟ නමක් වෙත හෝ ගොස් “ස්වාමීනි, මාගේ අනුවණ කමත් දුබල කමත් නිසා මා සමාදන් වූ ශීලය බිඳී ගියේ ය. මා අතින් සිදු වූ වරදට නුඹවහන්සේ සමා වන සේක්වා” යි කියා සමාව ගෙන සිල් ලබාගත යුතු ය. සඟ නමක් නො ලැබෙන කල්හි විහාරයකට හෝ දාගැබක් බෝධියක් වෙත හෝ ගොස් තෙරුවන් සමා කරවා ගෙන නැවත සිල්සමාදන් විය යුතු ය. මේ පන්සිල් රැකීමේ නියම ක්‍ර‍මය ය.

පසළොස්වක් පොහෝ දිනට පසු ඔබ සමාදන් වන පඤ්ච ශීලය ඊළඟ පසළොස්වක පොහොය දිනය පැමිණෙන තුරු රක සික පදයකුදු නො කඩවා ආරක්ෂා කළ හොත් එය පොහෝ දිනයක සිල් රැකීමට වඩා බොහෝ උසස් කරුණක් බව සැලකිය යුතු ය.