ග්‍ර‍න්ථය හැඳින්වීම

මසකට පොහොය දින සතරක් ඇතත් මෙ කල බොහෝ දෙන සිල් සමාදන් වන්නේ පුර පසළොස්වක පොහොය දිනයන්හි පමණකි. සිල් සමාදන් වී හැසිරිය යුතු ආකාර නො දත් බැවින් බොහෝ දෙනා සිල් සමාදන් වන එක දිනයෙන් ද ලැබිය හැකි නියම ප්‍රයෝජන නො ලබති. සිල් සමාදන් වී දෙතුන් දෙනා එකතුව නිෂ්ඵල කථාවල යෙදීම් ආදියෙන් පොහොය යදිනයේ කාලය අපතේ යවති. ඒ බව දුටු සැදැහැවත් බෞද්ධ මහතකු වන මරදානේ ඉන්දික මුද්‍ර‍ණාලයේ ඩබ්ලිව්.ජේ.රත්නායක අප්පුහාමි මහතා අප වෙත පැමිණ සිල් සමාදන් වන පින්වතුන්ට දවසේ වැඩ සුදුසු පරිදි කාලසටහනක් අනුව කළ හැකිවන පරිදි ග්‍ර‍න්ථයක් සම්පාදනය කරන ලෙස ඉමහත් ඕනෑකමින් ආරාධනා කෙළේ ය. ඔහු ගේ ආරාධනාව පිළිගත් අප විසින් මේ කුඩා ග්‍ර‍න්ථය ඉතා ටික දිනකින් සම්පාදනය කරන ලදි.

හොඳින් අකුරු කියවිය හැකි පිනවතකුට අනිකකුගේ උපදෙස් නැතිව ද පොහෝ දිනයේ වැඩ නිසි ලෙස මෙයින් කරගත හැකි වනු ඇත. එබැවින් මේ පොත භික්ෂූන් වහන්සේ ගේ සම්බන්ධයක් නැතිව අනුරාධපුරාදි පෙදෙස්වලට ගොස් සිල් සමාදන් වන පින්වතුන්ට විශේෂයෙන් ම ප්‍රයෝජන‍ වනු ඇත. මේ පොත අනුව වැඩ කිරීමෙන් උපාසකවරුන්ට දවසේ සම්පූර්ණ කාලයෙන් ම ප්‍රයෝජන ගත හැකි වනු ඇත. වන්දනා පූජා පාඨ හා ගාථා පාඩම් කරගත නොහෙන පින්වතුන් විසින් පොත බලාගෙන ඒවා කියා වැඳුම් පිදුම් කළ යුතු ය. සීලය ආවර්ජනා කිරීම හා භාවනා ද පොත බලාගෙන කළ හැකි ය. පොත බලා කරන කල්හි කල්යාමෙන් ඒවා ප්‍රගුණ වී පොත නො බලා ම කළ හැකි තත්ත්වයට ද පැමිණිය හැකි වනු ඇත.

උපාසක පිරිසක් ඇති තැන්වල දී වන්දනා පාඨාදිය පැවිදි නමක් ලවා කියවාගෙන වන්දනා කිරීම සුදුසු ය. එහෙත් නිතරම භික්ෂූන් වහන්සේලාට ඒවා කරදීමට අනවකාශ විය හැකිය. එබැවින් උපාසක පිරිසේම කෙනකු ලවා ඒවා කියවා ගෙන වැඳුම් පිදුම් කිරීමට ද උපාසකෝපාසිකාවන් පුරුදු විය යුතු ය. කියවීමෙහි සමත් උපාසකෝපාසිකාවන් ඒවා ස්වකීය පිරිසේ අයට කියවා වන්දනා පූජා කරන්නට ද පුරුදු කර ගත යුතු ය. සෙස්සන්ට ඒවා කියවා වන්දනා කරවන පින්වතුන්ට එයින් ධර්මදානමය කුශලයක් ද අතිරේක වශයෙන් ලැබේ.

මෙකල බෞද්ධයන් පින් වශයෙන් බොහෝ සෙයින් කරන්නේ වන්දනා පූජා දෙක ය. ඔවුන් වන්දනා පූජා ද ගතානුගතිකව කරනවා මිස ඒවා ගැන නියම දැනීමක් ඇතිව කරනවා නොවේ. නියම දැනීමක් නැතිව පින් කරන්නවුන්ට බෙහෙවින් ඇති වන්නේ මහත්ඵල මහානිසංස නො වන දුබල වූ ඥානවිප්‍ර‍යුක්ත කුසල් ය. ඥානසම්ප්‍රයුක්ත වන බලවත් කුසල් ඇති කර ගත හැකි වීමට නම් ඒවා ගැන හොඳ දැනුමක් ඇති කර ගත යුතු ය. සිල්සමාදන් වන පින්වතුන් විශේෂයෙන් ම ඒ දැනුම ඇති කර ගත යුතු ය.

එබැවින් වන්දනා පූජා සම්බන්ධ විස්තරයක් පොහොය දිනය නමැති මේ ග්‍ර‍න්ථයට ඇතුළු කළ යුතු ය. එහෙත් ඒවා අප විසින් සම්පාදිත පුණ්‍යෝපදේශය නමැති ග්‍ර‍න්ථයෙහි විස්තර කර ඇති බැවින් මේ ග්‍ර‍න්ථයට ඒවා ඇතුළු නො කරන ලදි. සිල් සමාදන් වන දිනවල දී බණපොතක් වශයෙන් ඒ පොත කියවුවහොත් මේ පොත භාවිත කරන පින්වතුන්ට ඒ අඩුව පිරෙනු ඇත.

රාත්‍රියේ කරන සජ්ඣායනාවල් පොත බලාගෙන කළ යුතු ය. උපාසක පිරිස් ඇති තැන්වල කියවීමට සමත් එක් කෙනකු විසින් හෝ දෙදෙනකු විසින් සජ්ඣායනා කළ යුතු ය. සෙස්සන් අසා සිටිය යුතු ය. එක් අයකුට මුළුකාලයේ ම සජ්ඣායනා කිරීම අපහසු නම් මාරුවෙන් මාරුවට සජ්ඣායනා කළ යුතු ය.

පන්සිල් රැකීම ගැන මේ පොතේ දක්වා ඇති ක්‍ර‍මය අනුගමනය කිරීම ඉතා යහපත් බව විශේෂයෙන් මතක් කරමු.

මීට - ලෝවැඩ කැමති

රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිර

15 - 9 – 1966

ශ්‍රී විනයාලංකාරාරාමය

පොකුණුවිට.