ශීලය ආවර්ජනා කිරීම

උදයේ ආහාර වැළඳීමෙන් පසු තමා සමාදන් වී සිටින ශීලයේ සිකපද එකින් එකට සිහි කොට ප්‍රීතිය ඇති කර ගත යුතු ය. එය කිරීමට අසමත් අය පොත බලා ගෙන කරනු. සිල් සමාදන් වූ පිරිසක් ඇති නම් ශබ්ද නඟා පොත කියවිය හැකි කෙනකු ලවා කියවා ගත යුතු ය. සිකපද ආවර්ජනය කරන්නේ මෙසේ ය.

1. රහතන් වහන්සේලා දිවිහිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකී සකල සත්ත්වයන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් වාසය කරන්නා හ. මම ද අද ප්‍රාණඝාතයෙන් වැළකී, සකල සත්ත්වයන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

2. රහතන් වහන්සේලා දිවිහිමියෙන් සොරකමින් වැළකී ඇද නැති පිරිසිදු සිතින් වාසය කරන්නාහ. මම ද අද සොරකමින් වැළකී ඇද නැති පිරිසිදු සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

3. රහතන් වහන්සේලා දිවිහිමියෙන් ස්ත්‍රී පුරුෂයන් ගේ ලාමක හැසිරීමෙන් වැළකී පිරිසිදුව වාසය කරන්නාහ. මම ද අද ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

4. රහතන් වහන්සේලා බොරු කීමෙන් වැළකී සෑම තැනදීම සත්‍ය ම පාවිච්චි කරමින් අවංකව වාසය කරන්නාහ. මම ද අද බොරු කීමෙන් වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

5. රහතන් වහන්සේලා දිවිහිමියෙන් සුරා පානයෙන් වැළකී වාසය කරන්නාහ. මම ද අද මදයට හා ප්‍ර‍මාදයට හේතු වන සුරාමේරය පානයෙන් වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

6. රහතන් වහන්සේලා දිවිහිමියෙන් නොකල්හි ආහාර වැළඳීමෙන් වැළකී වාසය කරන්නාහ. මම ද අද නොකල්හි ආහාර වැළඳීමෙන් වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

7. රහතන් වහන්සේලා දිවි හිමියෙන් නැටුම් ගැයුම් වැයුම් කිරීමෙන් හා කරවීමෙන් ද බැලීමෙන් හා ඇසීමෙන් ද, කෙලෙස් වැඩීමට හේතු වන විසුළු බැලීමෙන් ද, මල් පැළඳීමෙන් ද සුවඳ වර්ගවලින් හා විලවුන් වලින් ශරීරය සුවඳ කිරීමෙන් හා පැහැපත් කිරීමෙන් ද, අඩුතැන් පුරවා ඔප මට්ටම් කිරීමෙන් ද වැළකී වාසය කරන්නාහ. මම ද අද නැටුම් ගැයුම් වැයුම් කිරීමෙන් හා කරවීමෙන් ද බැලීමෙන් හා ඇසීමෙන් ද කෙලෙස් වැඩීමට හේතු වන විසුළු බැලීමෙන් ද, මල් පැළඳීමෙන් ද, සුවඳ වර්ගවලින් හා විලවුන් වලින් ශරීරය සුවඳ කිරීමෙන් හා පැහැපත් කිරීමෙන් ද, අඩු තැන් පුරවා ඔපමට්ටම් කිරීමෙන් ද වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

8. රහතන් වහන්සේලා දිවිහිමියෙන් කාමභෝගීන් පරිභෝග කරන උසසුන් මහසුන්, පරිභෝගයෙන් වැළකී වාසය කරන්නාහා. මම ද අද කාමභෝගීන් පරිභෝග කරන උසසුන් මහසුන් පරිභෝගයෙන් වැළකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

නවාංගශීලය ආවර්ජනය කිරීම

නවාංග ශීලය සමාදන් වූවන් විසින් ඉහත දැක්වූ පරිදි සිකපද අට ආවර්ජනය කොට නවවන සිකපදය මෙසේ ආවර්ජනය කළ යුතු ය.

9. රහතන් වහන්සේලා දිවි හිමියෙන් ඊර්ෂ්‍යා ක්‍රෝධවලින් තොරව සකල සත්ත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් වාසය කරන්නාහ. මම ද අද ඊර්ෂ්‍යා ක්‍රෝධවලින් තොරව සකල සත්ත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.

දශ ශීලය ආවර්ජනය කිරීම

දස සිල් සමාදන් වන්නවුන් විසින් අෂ්ටාංග ශීලයට කී පරිදි සිකපද ආවර්ජනය කොට දසවන සිකපදය මෙසේ ආවර්ජනය කළ යුතු ය.

10. රහතන් වහන්සේලා දිවි හිමියෙන් රන්රිදී මිල මුදල් පිළිගැනීමෙන් වැළකී වාසය කරන්නාහ. මම ද අද රන් රිදී මිල මුදල් පිළිගැනීමෙන් වැළකී රහතන් වහන්සේලා අනුව වාසය කරමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි.