තේරුම:-
ප්‍රාණඝාතයෙන් වැළකීම නමැති සිකපදය සමාදන් වෙමි.
විස්තරය:-
ප්‍රාණය යනු ජීවිතය ය. මනුෂ්‍යයකුගේ හෝ තිරිසන් සතකුගේ හෝ ඇසට නොපෙනෙන භූතයකුගේ හෝ අන්තිම වශයෙන් උකුණකු මකුණකු මදුරුවකුගේ ද, මව් කුස සිටින සත්ත්වයකුගේ ද, බිත්තරයක පිළිසිඳ සිටින සත්ත්වයකුගේ ද ජීවිතය ස්වභාව ධර්මය අනුව පවත්නා තාක් පවතින්නට නොදී වෙඩි තැබීම, බෝම්බ ගැසීම, ඇසිඩ් ගැසීම, දියේ ගිල්වීම, විෂදුම් ගැස්වීම, හුස්ම හිර කිරීම, අතින් පයින් පොලුවලින් ගැසීම, උගුල්වට අසු කිරීම, රථවාහනවලට යට කිරීම, ගින්නෙන් දැවීම, වස කැවීම, බිය ගැන්වීම, වරදවා බෙහෙත් දීම, ගප්සා බෙහෙත් දීම යනාදි යම් කිසි උපක්‍රමයකින් තමා විසින් හෝ අනුන් ලවා හෝ නැති කිරීම හෙවත් සතකු මැරවීම යන මෙයින් මේ සිකපදය බිඳේ.
ප්‍රාණඝාතයට අංග පසක් ඇත්තේ ය. එනම් :- පණ ඇති සතකු වීම ය, පණ ඇති සතකු යන හැඟීම තිබීම ය, මරමිය යන සිත ඇතිවීම ය, මරන්නට යම්කිසි උපක්‍රමයක් කිරීම ය, ඒ උපක්‍රමයෙන් සත්ත්වයා ගේ මරණය වීම ය යනු ප්‍රාණඝාතයේ අංග පස ය.
සිකපදය කැඩෙන්නේ පඤ්චාංගය සම්පූර්ණ වූ ප්‍රාණඝාතයෙනි. යන එන විට කුඩා සතුන් පෑගී මළ ද මරණ සිත නැති බැවින් සික පදය නො කැඩේ. එහෙත් සිල් සමාදන් වන උපාසකවරුන් විසින් තමන් නිසා කුඩා සතකුදු නො මැරෙන ලෙස පරෙස්සම් විය යුතු ය. සමහරවිට ජලයෙහි කුඩා සතුන් සිටිය හැකිය. වතුර බිව් කල්හි හුණු කළ කල්හි එහි සතුන් සිටිය හොත් උන් නැසෙන්නාහ. එසේ නොවීම පිණිස සිල්වත්හු පැන් පෙරා පරිභෝග කරති.
ප්‍රාණඝාතය පිළිබඳ තවත් දත යුතු බොහෝ කරුණු ඇත්තේ ය. ඒවා ද දනු කැමති අය “බෞද්ධයාගේ අත්පොත” කියවත්වා.