සීල විස්තරය

සිල් ඉල්ලන වාක්‍යයේ තේරුම:

අවසර ස්වාමීනි: මම තිසරණය සහිත අෂ්ටාංග ශීලය ඉල්ලමි. මා හට අනුග්‍ර‍හ කොට අනුකම්පාවෙන් සිල් දුන මැනවි. “දුතියම්පි, තතියම්පි” යි දෙවනුව තුන්වෙනුව කියන්නේ ද එයමය.

නමස්කාර පාඨයේ තේරුම:-

ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේට නමස්කාර කරමි.

සරණගමන පදවල තේරුම:-

බුද්ධං සරණං ගච්ඡාමි:- සියල්ල දැන වදාළා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සසර දුකින් මිදීම පිණිස නිවන් සුවය ලබනු පිණිස උතුම් පිහිටක් කොට සේවනය කරමි. උතුම් පිහිටකැයි පිළිගනිමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි.

ධම්මං සරණං ගච්ඡාමි:- සතරමාර්ග සතරඵල නිර්‍වාණ යන නවලොව්තුරා දහම හා භාග්‍යවතුන් වහන්සේගේ දේශනා ධර්මය සසර දුකින් මිදීම පිණිස නිවන් සුවය ලබනු පිණිස උතුම් පිහිටක් කොට සේවනය කරමි. උතුම් පිහිටකැයි පිළිගනිමි. මම ඒ ධර්මය අනුව හැසිරෙන්නෙක් වෙමි.

සංඝං සරණං ගච්ඡාමි :- තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සසර දුකින් මිදෙනු පිණිස නිවන් සුවය ලබනු පිණිස උතුම් පිහිටක් කොට සේවනය කරමි. උතුම් පිහිටකැයි පිළිගනිමි. මම ඒ සංඝරත්නයේ ශ්‍රාවකයෙක් වෙමි.

“දුතියම්පි, තතියම්පි” යන වචනවල තේරුම දෙවනුව ද තුන්වනුව ද යනුයි.

බුද්ධං සරණං ගච්ඡාමි යනාදිය කිය යුත්තේ ශරණ ශීලය සමාදන් වනු පිණිස ය. සමාදන් වන තැනැත්තා හට ශරණශීලය පිහිටන්නේ ශරණය කිලිටි වන සැටි බිඳෙන සැටි දැන ගෙන සමාදන් වුවහොත් ය. ඒ කිසිවක් නොදැන නිකම්ම සුදුරෙදි හැඳ පෙරවා සිකපද කී පමණින් ශරණශීලය පිහිටන්න් නොවේ. එබැවින් සිල් සමාදන් වන්නවුන් විසින් කෙසේ හෝ ඒ කරුණු ටික උගත යුතු ය. තේරුම් ගෙන සිටිය යුතු ය. ඒවා දැනගැනීම සඳහා මතු දැක්වෙන කරුණු නැවත නැවත කියවනු.