මහා සංඝ රත්නය වෙත කරන නිවේදනය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

පොහොය දිනයන්හි සිල් සමාදන් වන සැදැහැවතුන්ට ඔවුන් ඒ දිනයේ දී කළයුතු කටයුතුවල සුදුසු පරිදි යොදවා ශීලසමාදානය සාර්ථක කර දෙන කෙනකු සිටිය යුතු ය. එබඳු කෙනකුගේ සහාය නො ලද හොත් බොහෝ දෙනෙක් ම සිල් සමාදන්වීම සාර්ථක කර ගැනීමට අපොහොසත් වෙති. ගිහියන් සිල් සමාදන් වීම සඳහා පන්සල්වලට පැමිණෙන්නේ තමන්ගේ ශීල සමාදානය භික්ෂූන් වහන්සේලාගේ සහයෝගයෙන් සාර්ථක කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. එසේ පැමිණෙන සැදැහැවතුනට සහයෝගය දීම භික්ෂූන් වහන්සේගේ යුතුකමෙකි. සමහරවිට භික්ෂූන් වහන්සේලා අතින් ඒ යුතුකම හරියට ඉටු නො වීම නිසා ගිහියන් ඇතැම් භික්ෂූන් වහන්සේලා ගැන අප්‍ර‍සාදය පළකරනවා ද අසන්නට ලැබේ. මෙකල භික්ෂූන් වහන්සේලාට ද නොයෙක් කටයුතු ඇත්තේ ය. උපාසකෝපාසිකාවන් බලාපොරොත්තු වන තරමට ඔවුන්ගේ වැඩවල දවස මුළුල්ලේ යෙදීමට භික්ෂූන් වහන්සේට ද ඉඩක් නැත. එබැවින් මෙය දුෂ්කර ප්‍ර‍ශ්නයක් වී තිබේ.

පොහොය දිනය නමැති මේ ග්‍ර‍න්ථයෙන් ඒ ප්‍ර‍ශ්නය බොහෝ දුරට විසඳා ගත හැකි ය. පොහෝ දිනයෙහි උපාසකෝපාසිකාවන් කළයුතු වැඩ සියල්ල මෙහි කාලසටහනක් අනුව විස්තර කර ඇත. විහාරස්ථානවලට සියල්ල සමාදන් වන්නට පැමිණෙන්නවුන් මේ පොතේ සැටියට ක්‍රියා කරන ලෙස යෙදවුව හොත් ඒ ප්‍ර‍ශ්නය ලෙහෙසියෙන් විසඳෙන්නේ ය. පැමිණෙන පිරිස උදේ සිල් සමාදන් කරවා ඉන්පසු කළ යුතු වැඳුම් පිදුම් හා ශීලය ආවර්ජනා කිරීම මේ පොත අනුව කුඩා නමක් ලවා හෝ උපාසක පිරිසේ ම කෙනකු ලවා හෝ කරවිය හැකි ය. අකුරු කියවිය හැකි කවරෙකුට වුව ද මේ පොතෙන් ඒ වැඩ කළ හැකි ය. මේ පොතේ ඇති භාවනාවල් සිල් පිරිසට කියවා භාවනා කරවීම ද සිල් පිරිසේ කෙනකු හෝ කුඩා නමක් හෝ යොදවා කරවිය හැකි ය. බණ කිය යුතු වේලාවේ දී බණක් වශයෙන් ද මේ පොතේ ඇතැම් කොටස් කියවීම සුදුසු ය. රාත්‍රී කාලයේ කරන ධර්ම සජ්ඣායනා උපාසකවරුන්ට මේ පොත බලා කළ හැකි ය. මේ පොත අනුව වැඩ කිරීම පුරුදු කරගත හොත් උපාසකෝපාසිකාවන්ගේ දියුණුවත් භික්ෂූන් වහන්සේට පහසුවත් ඇතිවන බව මහාසංඝයා වහන්සේට සැලකරමු.

රේරුකානේ චන්දවිමල ස්ථවිර.