සංඛාරපච්චයා විඤ්ඤාණං

star_outline

“තත්ථ කතමං සංඛාරපච්චයා විඤ්ඤාණං? චක්ඛුවිඤ්ඤාණං, සෝතවිඤ්ඤාණං, ඝාණවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනෝවිඤ්ඤාණං ඉදං වුච්චති සංඛාරපච්චයා විඤ්ඤාණං”

යනුවෙන් විභංග පාළියෙහි චක්ඛුවිඤ්ඤාණය, සෝතවිඤ්ඤාණය, ඝාණවිඤ්ඤාණය, ජිව්හාවිඤ්ඤාණය, කායවිඤ්ඤාණය, මනෝවිඤ්ඤාණය යන මේ සය සංස්කාර හේතුවෙන් හටගන්නා වූ විඤ්ඤාණය යි දැක්විණ. ‘විඤ්ඤාණය’ යනු දැනීම හෙවත් සිත ය. සයක් වූ විඤ්ඤාණයන්ගෙන් චක්ඛුවිඤ්ඤාණයට පෙනීම ය යි ද, සෝතවිඤ්ඤාණයට ඇසීම ය යි ද කියනු ලැබේ. විඤ්ඤාණය සාමාන්‍යයෙන් එකක් වුව ද කුශලාකුශලාව්‍යාකෘත වශයෙන් තෙවැදෑරුම් වේ. එයින් මෙහි ගනු ලබනුයේ අව්‍යාකෘත විඤ්ඤාණය යි. එ ද විපාක ක්‍රියා වශයෙන් දෙවැදෑරුම් වේ. මෙහි ගනු ලබනුයේ විපාක විඤ්ඤාණය යි.

චතුරාර්‍ය්‍ය සත්‍යය නො දැනීම වූ අවිද්‍යාව නිසා සංස්කාර සංඛ්‍යාත කුශලාකුශල කර්මයන් රැස් කළ තැනැත්තා මළ කල්හි එයට අනතුරුව ම එළඹ සිටි කර්මයක් හේතු කොට ඒ කර්මයට අනුරූප වන පරිදි යම්කිසි ස්ථානයක මනෝවිඤ්ඤාණයක් පහළ වේ. භවයක දී පළමුවෙන් ම පහළ වන ඒ මනෝ විඤ්ඤාණයට ප්‍ර‍තිසන්ධි විඤ්ඤාණය යි කියනු ලැබේ. එය පහළ වීමෙන් සත්ත්වයා දෙවන භවයට පැමිණියේ ය යි ද දෙවන භවයෙහි උපන්නේ ය යි ද කියනු ලැබේ. අතීත කර්ම හේතුවෙන් අන් තැනක විඤ්ඤාණයක් පහළ වීමෙන් සිදු වන සත්ත්වයාගේ නැවත නැවත ඉපදීම, අවබෝධ කර ගැනීමට ඉතා දුෂ්කර වූ - ගැඹුරු වූ කරුණකි. පටිච්චසමුප්පාදය ද ඉතා ගැඹුරු ධර්මයකි.

එක් දවසක් ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙත ගොස් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! මේ ප්‍ර‍තීත්‍යසමුත්පාදය ඉතා ගැඹුරුය, ඉතා ගැඹුරු සේ පෙනෙන්නේ ය. ස්වාමීනි! ආශ්චර්‍ය්‍යයෙකි. මට නම් එය නො ගැඹුරු දෙයක් සේ පෙනේය” යි සැල කළ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මා හෙවං ආනන්ද! අවච, මා හෙවං ආනන්ද! අවච” යනුවෙන් “ආනන්ද! එසේ නො කියව” යි දෙවරක් ම වළක්වා, “ආනන්දය! මේ පටිච්චසමුප්පාදය ගැඹුරු ම ය. ගැඹුරක් සේ ම පෙනෙන්නේ ය. මේ ධර්මය අවබෝධ කර ගත නුහුණු බැවින් සත්ත්වයෝ අවුලෙන් අවුලට පත්ව, දුර්ගතිය ඉක්මවිය නො හැකිව, සසර ඉක්මවිය නො හැකිව සිටිති” යි වදාළ සේක.

මෙසේ ගැඹුරු වූ පටිච්චසමුප්පාදයෙහි ද මෙය ඉතා ගැඹුරු තැන ය. විමසන්නා වූ තැනැත්තා හට ලෙහෙසියෙන් නො වැටහෙන කරුණකට, ගැඹුරු කරුණ ය යි කියනු ලැබේ. සත්ත්වයා නැවත උපදී ද? නැතහොත් මරණයෙන් කෙළවර වේ දැ යි සිතන්නකුට නැවත නැවත උපදනා බව ලෙහෙසියෙන් දැකිය හැකි නො වේ. මෙය ඉතා ගැඹුරු කරුණකැ යි කියන ලදුයේ එහෙයිනි.

ලෝකයෙහි කලාතුරකින් කෙනකුට තමන් ගේ අතීත ජාතිය සිහි කළ හැකි ශක්තියක් උත්පත්තියෙන් ම ලැබේ. ඔවුනට එයින් ම නැවත නැවත උත්පත්තියක් ඇති බව දැනේ. සමහරුන්ට තමන් ගේ කාලක්‍රියා කළ ඥාතීහු අමනුෂ්‍යයන් වී පැමිණ කරදර කරන්නට පටන් ගනිති. සමහරුන්ට උපකාර කරන්නට ද පටන් ගනිති. එවැනි සිදුවීම් ඇති වූවන්ට ඒවායින් සත්ත්වයා ගේ නැවත උත්පත්තිය ඇති බව පැහැදිලි වේ. ධ්‍යාන භාවනා කොට පූර්‍වෙනිවාසානුස්මෘති ඥාන, පරචිත්තවිජානන ඥානාදි විශේෂ ඥානයන් ලබා ගත් යෝගීන්ට නැවත උත්පත්තිය ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් ම පෙනේ. සියල්ල දත් ලොවුතුරා බුදුවරයන් වහන්සේලාගේ දිවැසට එය මැනවින් පෙනේ.

එබැවින් :-

“සෙය්‍යථාපි භික්ඛවේ! ද්වේ අගාරා සන්ධිද්වාරා තත්ථ චක්ඛුමා පුරිසෝ මජ්ඣෙ ඨිතෝ පස්සෙය්‍ය, මනුස්සේ ගේහං පවිසන්තේපි නික්ඛමන්තේපි අනුසඤ්චරන්තේපි අනුවිචරන්තේපි. ඒවමේව ඛෝ අහං භික්ඛවේ! දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකේන සත්තේ පස්සාමි, චවමානේ උප්පජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානාමි

යනු වදාරන ලදී. “එකිනෙකට මුහුණ ලා පිහිටි ගෙවල් දෙකක මැද, බලා සිටින්නා වූ ඇස් ඇති පුරුෂ තෙමේ ඒ ගෙවල් දෙකට ඇතුළු වන්නා වූ ද, ඒවායින් පිට වන්නා වූ ද, ඒ ගෙයින් මේ ගෙට යන්නා වූ ද, මේ ගෙයින් ඒ ගෙට යන්නා වූ ද, මිනිසුන් යම් සේ දකී ද, මහණෙනි! එ පරිද්දෙන් ම මම මිනිසුන් ගේ ඇස ඉක්ම සිටියා වූ පිරිසිදු වූ දිවැසින්, මැරෙන්නා වූ ද උපදනා වූ ද උසස් වූ ද පහත් වූ ද මනා වර්ණ ඇත්තා වූ ද දුර්වර්ණ වූ ද සුගතියට ගියා වූ ද දුගතියට ගියා වූ ද කර්මය වූ පරිද්දෙන් ඒ ඒ තැනට ගිය සත්ත්වයන් දකිමි” යනු එහි තේරුම යි. සැම දෙනාට ම නො දැනෙන නො පෙනෙන මෙ බඳු ගුප්ත කරුණු සාමාන්‍ය ජනයා විසින් ස්වකීය ශාස්තෘවරයා කෙරෙහි විශ්වාසය තබා පිළිගත යුතු ය. වෙන කරන්නට දෙයක් ඔවුනට නැත.

“අනුන්ට පෙනෙන දැනෙන යමක් ඇති නම් ඒ සියල්ල තමන්ටත් පෙනෙන්නට - දැනෙන්නට ඕනෑය” යනු පුහු මානය නිසා ඇතැමෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහිදු විශ්වාසය තබන්නට අකමැති වෙයි. ඔවුහු තමනට නො පෙනෙන බැවින් ම පුනරුත්පත්තියක් නැතය යි මිසදිටු ගනිති. ලෝකයට ශාස්තෘවරයන් ගුරුවරයන් වුවමනා වන්නේ සැම දෙනා විසින් ම සියල්ල නො දැකි හැකි හෙයිනි. තමනට නො පෙනෙන අනුන් ගේ කීම් අසා දතයුතු මෙබඳු කරුණු සම්බන්ධයෙන් සැක ඇතිවීම නම් නො වැළැක්විය හැකි කරුණකි. ඒ සැකය එතැම් අනර්ථ දායක නො වේ. සැකයෙන් පමණක් නො නැවතී තමාට නො දැනෙන - නො පෙනෙන කරුණු එ පමණකින් ම ප්‍ර‍තික්ෂේප කිරීම අනුවණ කමෙකි. මෙ බඳු කරුණු දැනීමට බොහෝ වෙහෙසී ලබාගත යුතු විශිෂ්ට ඥානයක් වුවමනා වෙතත්, ‘නැතය’ යි ප්‍ර‍තික්ෂේප කිරීමට වුවමනා, මානයත් මෝඩකමත් පමණෙකි.

සත්ත්වයන්ගේ නැවත නැවත උත්පත්තියක් ඇතය යන බුදුන් වහන්සේගේ වචනය ගෞරවයෙන් පිළිගෙන ලෝකය දෙස බලන්නාහට එය සත්‍ය බවට නොයෙක් විට නොයෙක් සාක්ෂ්‍ය ලෝකයෙන් ලැබේ. ඒවායින් ඔහුගේ සැකය දුරු වේ. බුදුන් වහන්සේගේ වචනයට ගරු නො කර තමාට නො පෙනෙන නො දැනෙන පමණින් ම මතු ඉපදීමක් නැතය යන උච්ඡේද දෘෂ්ටිය ගෙන එහි පිහිටා ලෝකය දෙස බලන්නා වූ තැනැත්තාහට පෙනෙනුයේ මතු උත්පත්තියක් නැති බවට සාක්ෂ්‍යයෝ ම ය. ඇති බවට ඇති සාක්ෂ්‍යවලින් එකකුදු ඔහුට නො පෙනේ. එය සිතේ ඇති එක්තරා ගුප්තස්වභාවයකි. ඒ ස්වභාවය නිසා වරක් උච්ඡේද දෘෂ්ටිය ගත් තැනැත්තා එය තව තවත් දැඩි කොට ගන්නේය.

“අනුන් කියනු ඇසූ පමණින් ම යමක් නො පිළිගෙන තමන් ගේ නුවණින් ද විමසා, සත්‍යය යි වැටහුණ හොත් පමණක් පිළිගත යුතු ය” යනු යහපත් උපදෙසක් වන නමුත් එය සැම දෙනාගේ ම කියුම් සම්බන්ධයෙන් හා හැම කරුණක් ම සම්බන්ධයෙන් ද යෙදිය යුත්තක් නොවේ. රෝගියකුට වෛද්‍යවරයා විසින් නියම කළ බෙහෙත ඒ රෝගයට ගුණ වන්නක් ද අගුණ වන්නක් ද ගුණාගුණ දෙක ම නො වන්නක්දැ යි විමසා දැන ගෙන ම බෙහෙත වළඳන්නට සිටිය හොත් ඔහුට මිය යන්නට මිස බෙහෙත් වළඳා රෝගය සුව කරගන්නට කලක් නො ලැබෙන්නේ ය. සෑම දෙන ම එසේ කරන්නට සිතුව හොත් වෛද්‍යවරයකුට මිස අනෙකකුට බෙහෙතක් වළඳන්නට සිදු නො වන්නේ ය. එමෙන් ශාස්තෘන් වහන්සේගේ වචනය විමසා සත්‍යා සත්‍යතාව අවබෝධ කරගෙන ම ආගම අදහන්නට සිටිය හොත් ශාස්තෘන් වහන්සේ වැනියකුට මිස අනෙකකුට ආගම ඇදහීමට සිදු නො වන්නේ ය.

වෛද්‍යවරයා නියම කරන බෙහෙත විමසා දැන ගෙන වළඳන්නට සිටීම අනුවණ කමක් වන්නාක් මෙන් ම සෑම දෙනාට ම නො දැකිය හැකි කරුණක් වූ නැවත නැවත උත්පත්තිය විමසා, තමන් දුටු විටෙක පිළිගන්නට සිටීම අනුවණ කමෙකි. මෙබඳු ගැඹුරු කරුණු සාමාන්‍ය ජනයා විසින් ශාස්තෘවරයා කෙරෙහි විශ්වාසය තබා පිළිගත යුතු ය. ආගමෙහි ශ්‍ර‍ද්ධාව උතුම් ධර්මයක් කොට උගන්වන්නේ ද හැම දෙනාට ම හැම දෙය ම නො දැකිය හැකි හෙයිනි. හැම දෙනාට ම හැම දෙය ම දැකිය හැකි නම් ශ්‍ර‍ද්ධාවෙන් ඇති වැඩෙක් ද නැත. තමනට නො පෙනෙතත් සත්‍ය වශයෙන් නැවත ඉපදීමක් ඇති බව බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍ර‍ද්ධාව පිහිටුවා ගෙන සැම දෙනා විසින් ම පිළිගෙන තම තමන්ගේ දෙලෝ වැඩ සාදා ගත යුතු ය.

කවර ආකාරයකින් හෝ දැන නැවත ඉපදීමක් ඇති බව පිළිගන්නවුන්ට ද එය සිදු වන ආකාරය නිවැරදිව දැන ගැනීමට අතිශයින් දුෂ්කර ය. එබැවින් ඔවුන් ගෙන් ඇතැමෙක් ප්‍රාණය නම් වූ දෙයක් ඇති සැටියට සිතින් සලකා ගෙන එය එක් ශරීරයකින් අනෙක් ශරීරයකට යාමෙන් නැවත උත්පත්තිය සිදු වෙතැ යි ගත්හ. ඇතැමෙක් ආත්ම නම් වූ දෙයක් සිතින් මවාගෙන එය එක් ශරීරයකින් අනෙක් ශරීරයකට යාමෙන් නැවත ඉපදීම සිදු වෙතැයි ගත්හ. ඇතැමෙක් නිත්‍යව පවත්නා විඥානයක් සිතින් ඇති කර ගෙන එය එක් ශරීරයකින් තවත් ශරීරයකට යාමෙන් නැවත නැවත ඉපදීම වෙතැ යි ගත්හ. මේ ශරීරයෙහි දෙවන භවයකට යන යම්කිසිවක් ඇතය යි ගැනීම ශාශ්වත දෘෂ්ටිය ය. මතු ඉපදීමක් නැතය යි ගැනීම උච්ඡේද දෘෂ්ටිය ය. ශාශ්වත දෘෂ්ටිය උච්ඡේද දෘෂ්ටිය සේ අනර්ත්ථදායක නොවේ. එය තිබීමෙන් මරණින් මතු සුගතියට යාමට බාධාවක් නො වේ. තථාගතයන් වහන්සේ විසින් දක්වන ක්‍ර‍මය ඒ දෘෂ්ටි දෙකින් එකකට වත් හසු නොවන ක්‍ර‍මයකි. ඒ බැවින් තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.

“සබ්බමත්ථිති ඛෝ කච්චාන! අයමේකෝ අන්තෝ, සබ්බං නත්ථිති අයං දුතියෝ අන්තෝ, ඒතේ ඛෝ කච්චාන! උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣෙන තථාගතෝ ධම්මං දේසේති”

“කච්චානය! සියල්ල ඇතය යන ශාශ්වත දෘෂ්ටිය එක් අන්තයෙක, සියල්ල නැත ය යන උච්ඡේද දෘෂ්ටිය දෙවන අන්තය ය. කච්චානය! ඒ අන්ත දෙකට නො ගොස් තථාගත තෙමේ මධ්‍යයෙන් ධර්මය දේශනා කෙරේය” යනු එහි තේරුමයි. තථාගතයන් වහන්සේ විසින් දේශිත ක්‍ර‍මයේ සැටියට වර්තමාන සත්ත්වයාගෙන් කිසිම කොටසක් අනාගත භවයට නො යන්නේ ය. එහෙත් නැවත ඉපදීම සිදුවන්නේ ය. වර්තමාන භවයෙන් කිසිවක් නො ගොස් සිදුවන්නා වූ ඒ ඉපදීම පහසුවෙන් ම තේරුම් ගත හැකි කරුණක් නොවේ. එය තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු ය. තේරුම් ගත් කල්හි හෙතෙමේ හොඳම බෞද්ධයෙක් වන්නේ ය. අපගේ ශක්තියේ සැටියට මෙහි එය පිළිබඳ විස්තරයක් කරනු ලැබේ.

අනු මාතෘකා