අන්තරා භව වාදය

තථාගත පරිනිර්වාණයෙන් පසු පුබ්බසේලිය, සම්මිතිය යන නිකායවල භික්ෂූහු “අන්තරාපරිනිබ්බායි” යන සූත්‍ර‍ පදය වරදවා තේරුම් ගෙන අන්තරා භවයක් ඇති බව පැවසූහ. මැරෙන සත්ත්වයෝ ඉපදීමට තැනක් බලාපොරොත්තුවෙන් සතියක් හෝ එයට අධික කාලයක් හෝ අන්තරාභවයෙහි සිටිතිය යනු ඔවුන් ගේ පිළිගැනීම ය. මළවුන් උදෙසා සත් වන දිනයේ දන්දීම පුරුදු වී ඇත්තේ ඒ වාදය නිසා ය යි සිතිය හැකි ය. තුන්වන ධර්මසංගායනාවේ දී මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ විසින් කථාවස්තුප්‍ර‍කරණය දේශනය කිරීමේ දී ඒ වාදය නිරාකරණය කරනු පිණිස අන්තරාභව කථාවක් දේශනය කර ඇත්තේ ය. ඇතැම් වර්තමාන පඬිවරුන් අන්තරා භවයක් ඇති බව කියතත් “අන්තරාභව” යන වචනයවත් සඳහන් වන සූත්‍ර‍යක් සූත්‍ර‍පිටකයෙහි දක්නට නැත.

සච්චං සත්තෝ පටිසන්ධි පච්චයාකාරමෙව ච

දුද්දසා චතුරො ධම්මා දෙසෙතුං ච සුදුක්කරා.

මේ බුදුගොස් හිමියන් අටුවා ලිවිමට ද පෙර ලෝකයෙහි විසූ මහා ධර්මධරයන් වහන්සේලා ගේ ප්‍ර‍කාශනයෙකි. එහි තේරුම මෙසේ ය. “චතුස්සත්‍යය, සත්ත්වයා ගේ තත්ත්වය, සත්ත්වයන් ගේ ප්‍ර‍තිසන්ධිය, පටිච්චසමුප්පාදය යන කරුණු සතර ගැඹුරු ය. තේරුම් ගැනීම දුෂ්කර ය. තේරුම් ගෙන ඇතියකුට වුව ද අන්‍යයන්ට අවබෝධ වන පරිදි කියාදීමට දුෂ්කරය” යනුයි.