ප්‍රඥාව හැඳින ගැනීමට ප්‍රඥාවේ උසස් බව තේරුම් ගැනීම හා ප්‍රඥා ප්‍රභේද දැන ගැනීමත් ඉතා ප්‍රයෝජන ය. ප්‍රඥා ප්‍රභේද ඉතා බොහෝ ය. “සොතාවධානෙ පඤ්ඤා සුතමය ඤාණං සුත්වාන සංවරෙ පඤ්ඤා සීලමයෙ ඤාණං, සංවරෙත්වා සම්මා දහනෙ පඤ්ඤා සමාධි භාවනාමයෙ ඤාණං” යනාදීන් පටිසම්භිදා මග්ගයෙහි ප්‍රඥා බොහෝ ගණනක් දක්වා තිබේ. අභිධර්ම විභංග ප්‍රකරණයේ ඤාණ විභංගය යන නාමයෙන් ප්‍රඥා ප්‍රභේද දැක්වෙන පරිච්ඡේදයක් ම ඇත්තේ ය. ඒ සියල්ල මෙහි නො දැක්විය හැකිය. දනු කැමැත්තෝ ඒ පොත්වලින් බලා ගනිත්වා. මෙහි ද ප්‍රඥා ප්‍රභේද කීපයක් දක්වනු ලැබේ.
ලෞකික ලෝකෝත්තර වශයෙන් ප්‍රඥාව දෙ වැදෑරුම් වේ. කාමාවචර රූපාවචර අරූපාවචර සිත්වල ප්‍රඥාව ලෞකික ප්‍රඥාව ය. සතර මාර්ග සතර ඵල චිත්තයන්හි ප්‍රඥාව ලෝකෝත්තර ය. පෙරුම් පිරීමෙන් ලබන - පැමිණෙන සම්බෝධිය ලෝකෝත්තර ප්‍රඥාව ම ය. බුද්ධ ශ්‍රාවකයන් ගේ සතර මාර්ග - සතර ඵල චිත්තයන්හි ප්‍රඥාව ශ්‍රාවක බෝධිය ය. පසේ බුදුවරයන්ගේ සතර මාර්ග සතර ඵල චිත්තයන්හි ප්‍රඥාව ප්‍රත්‍යේක සම්බෝධිය ය. ලොවුතුරා බුදුවරයන්ගේ සතර මාර්ග සතර ඵල චිත්තයන්හි ප්‍රඥාව සම්‍යක් සම්බෝධිය ය. ප්‍රඥා පාරමිතාව වන්නේ ලෞකික ප්‍රඥාව ය. ලෞකික ප්‍රඥාව ද කුශලාව්‍යාකෘත වශයෙන් දෙ පරිදි වේ. ඒ දෙකින් ප්‍රඥා පාරමිතාව වනුයේ කුශල ප්‍රඥාව ය.
“චින්තාමය ප්‍රඥාව ය, ශ්‍රැතමය ප්‍රඥාව ය, භාවනාමය ප්‍රඥාව ය” යි ද ප්‍රඥාව ත්‍රිවිධ වේ. කෙත් වතු වැවීම, ගෘහ නිර්මාණය, නෞකා රථාදී නිර්මාණය, යන්ත්‍ර නිර්මාණය, භාණ්ඩ ආහාර ඖෂධ වස්ත්‍රාදි ප්‍රයෝජනවත් දේ නිර්මාණය කිරීම ය යන කර්මාන්තයන් පිළිබඳව ද වෛද්‍ය නක්ෂස්ත්‍ර ගණිතාදි ශාස්ත්‍ර පිළිබඳව ද, කුශලා කුශලයන් පිළිබඳව ද, ස්කන්ධාදීන්ගේ අනිත්‍යාදිය පිළිබඳව ද, තවත් නිරවද්‍ය දේ පිළිබඳව ද, අනුන් ගෙන් උපදෙස් නො ලබා, තමන් විසින් ම කල්පනා කොට ඇති කර ගන්නා දැනීම චින්තාමය ප්‍රඥාවය. ඒ කරුණු පිළිබඳව අනුන්ගෙන් අසා අනුන් ගෙන් උපදෙස් ලබා ඇති කර ගන්නා වූ ප්‍රඥාව ශ්‍රැතමය ප්‍රඥාවය. භාවනාවෙන් ඇති කර ගන්නා වූ ප්‍රඥාව භාවනාමය ප්‍රඥාව ය.
“ආය කෞශල්‍ය, අපාය කෞශල්‍යය, උපාය කෞශල්‍යය” යි ද ප්‍රඥාව ත්‍රිවිධ වේ. ආය යනු දියුණුවට නමෙකි. එය ද අනර්ථහානි, අනර්ථෝත්පත්ති වශයෙන් දෙ වැදෑරුම් වේ. අනර්ථයන් පැමිණීම දියුණුවට බාධාවෙකි. එබැවින් අනර්ථ නැති බව ද දියුණුවේ එක් අංගයෙකි. ලෝකයෙහි බොහෝ දෙනාට නොයෙක් අනර්ථ පැමිණේ. එහෙත් ඒවා පැමිණීමේ හේතු බොහෝ දෙනා නො දනිති. පැමිණියා වූ ද මතු පැමිණෙන්නට ඇත්තා වූ ද, අනර්ථයන්ගෙන් මිදෙන සැටිත් බොහෝ දෙනා නො දනිති.
දෙලෝ වැඩ සිදු කර ගත හැකි වීමට ත්, සම්බෝධියට පැමිණිය හැකි වීමටත්, “අර්ථය” යි කියනු ලබන දානාදි ක්‍රියා සිදු කර ගැනීමටත්, උපකාර වන ධන ධාන්‍යාදි වස්තුව හා කුශලය පිරිහීමේ හේතුවත් ඒවා වළක්වා ගන්නා සැටිත් දැන ගත යුතුය. වස්තුව වූ ද කුශලය වූ ද අර්ථය ඇති කර ගන්නා සැටිත් දත යුතු ය. අර්ථ හානි, අර්ථෝත්පත්ති යන ඒ කරුණු දෙක පිළිබඳ වූ යහපත් දැනීම - නිවැරදි දැනීම ආයකෞශල්‍ය යන නාමයෙන් කියැවෙන ප්‍රඥාව ය. අපාය යනු පරිහානිය ය. එය අර්ථහානි අනර්ථෝත්පත්ති වශයෙන් දෙ වැදෑරුම් වේ. ඒ දෙක වන සැටිත් වළක්වා ගන්නා සැටිත් දන්නා නුවණ අපාය කෞශල්‍ය නම් වූ ප්‍රඥාව ය. උපාය කෞශල්‍ය යනු හදිස්සියෙන් පැමිණෙන අන්තරාය-යන්ගෙන් මිදීමට හා සිදු කළ යුතු දෑ සිදු කිරීමට ද අවස්ථාවට සුදුසු සේ ඇති වන ප්‍රඥාව ය.