පසේ බුදුවරයන් එක් සාළිස් නමක ගේ චරිත කථා ඛග්ගවිසාණ සූත්‍ර අටුවාවෙහි හා අපදාන අටුවාවෙහි දක්නා ලැබේ. ප්‍රත්‍යේකබෝධි පාරමිතාව හා ශ්‍රාවක බෝධි පාරමිතාව පිළිබඳ වූ ඇතැම් කරුණු දත හැකිවීම පිණිස ඒ එක් සාළිස් චරිත කථා වලින් පළමුවැන්න වූ බ්‍රහ්මදත්ත ප්‍රත්‍යේක බුද්ධයන් වහන්සේගේ චරිත කථාව දක්වනු ලැබේ.
ඒ ප්‍රත්‍යේක බුද්ධයන් වහන්සේ කල්ප අසංඛ්‍ය දෙකක් හා ලක්ෂයක් පැරුම් පුරා කාශ්‍යප බුදුන් වහන්සේ ගේ සස්නෙහි පැවිදිව ආරණ්‍යකයකු වී ගත පච්චාගත වත පුරමින් අවුරුදු විසි දහසක් මහණදම් පිරූහ. ඒ වත නො පුරා ප්‍රත්‍යේක සම්බෝධියට පැමිණෙන්නෝ නැතහ.
තමන්ගේ කර්මස්ථානය ගමට පිඬු සිඟා වඩනා කල්හි ගෙන යාම හා ආපසු එන කල්හි ගෙන ඒම ද ගත පච්චාගත වත ය. කර්මස්ථානය ගෙන යාම ය යනු පිඬු සිඟා වඩනට පටන් ගත් තැන් සිට අනෙකකට සිත යොමු නො කොට කර්මස්ථානය මෙනෙහි කරමින් යාම ය. ආපසු ගෙන ඒමය යනු එන කල්හි ද අනෙකකට සිත යොමු නො කොට කර්මස්ථානය මෙනෙහි කරමින් ම ඒමය. එහි පිළිවෙල මෙසේ දත යුතු.
කර්මස්ථානය ගෙන යන ආපසු නො ගෙනෙන භික්ෂුව ය, කර්මස්ථානය නො ගෙන යන ආපසු එන කල්හි ගෙනෙන භික්ෂුව ය, කර්මස්ථානය නො ගෙන යන නො ගෙන එන භික්ෂුව ය, කර්මස්ථානය ගෙන යන්නා වූ ද ආපසු ගෙනෙන්නා වූ ද භික්ෂුව ය යි මේ සස්නෙහි භික්ෂූහු සතර දෙනෙක් වෙති.
එක් භික්ෂුවක් දවල් කාලයේ හා රාත්‍රියේ ප්‍රථම යාමයේ ද නො නිදා සක්මන් කිරීම ය, හිඳීම ය යන ඉරියව් දෙකින් වෙසෙමින් භාවනාවෙහි යෙදෙමින් ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියේ මධ්‍යම යාමයේ සිහියෙන් යුක්තව නැඟී සිටින වේලාව සිත්හි තබා ගෙන සැත්පී පශ්චිම යාමයේ පිබිද සක්මනින් හා හිඳීමෙන් කර්මස්ථානය මෙනෙහි කරමින් ආවරණීය ධර්මයන් කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උදෑසනින් සෑ-මලූ, බෝ-මලූ වල වත් කරයි. බෝධියට පැන් වත්කරයි. විහාරයේ පැන් තිබිය යුතු තැන්වලට පැන් ගෙනවුන් තබයි. ආචාර්‍ය්‍යෝපාධ්‍යායයන් ගේ වත් මැනවින් සම්පාදනය කරයි. ඉතිරි කුඩා මහත් වත් ද සපයයි.
ඒ භික්ෂු තෙමේ ශරීරය පිරිසිදු කරගෙන සෙනසුනට පිවිස, ශරීරය උණුසුම් ගන්වමින් කර්මස්ථානය මෙනෙහි කොට, පිඬු සිඟා යා යුතු කාලය පැමිණි කල්හි නැඟිට කර්මස්ථානය නො හැර ම පා සිවුරු ගෙන කමටහන මෙනෙහි කරමින් ම සෑ-මලුව කරා යයි. ඉදින් ඒ භික්ෂුව මෙනෙහි කරන කමටහන බුද්ධානුස්මෘතිය වේ නම් එය මෙනෙහි කරමින් ම සෑ-මලුවට පිවිසෙයි. ඉදින් මෙනෙහි කරන කමටහන අනෙකක් නම් භික්ෂුව විසින් එය සෑ-මලුවට නඟින පඩිපෙළ මුල අතින් ගෙනා බඩුවක් තබන්නාක් මෙන් තබා, බුද්ධාලම්බන ප්‍රීතිය ගෙන සෑ-මලුවට නැග, සෑය මහත් නම් තුන් යලක් පැදකුණු කොට සතර තැනක දී පසඟ පිහිටුවා වැඳිය යුතුය. සෑය කුඩා නම් තුන් වරක් පැදකුණු කොට, අට තැනක පසඟ පිහිටුවා වැඳිය යුතු ය. ඉක්බිති බෝ-මලුවට ගොස් දිවමන් බුදුනට සෙයින් ගෞරව දක්වා බෝධි වන්දනාව කළ යුතුය. මේ අටුවාවල වැඳිය යුතු සැටි දක්වා තිබෙන ආකාරය ය.
අද මෙන් එදා ගාථා කියා වැඳීමේ සිරිතක් නො පැවති බව මෙයින් පෙනේ. ගාථා නො කියා ද වැඳීම කළ යුතු බව මෙයින් දත යුතු ය. මෙසේ ඒ භික්ෂුව සෑය හා මහබෝ වැඳ කමටහන තැබූ තැනට පැමිණ තැබූ බඩුවක් ගන්නාක් මෙන් කමටහන ගෙන, එය මෙනෙහි කරමින් ගම සමීපයට ගොස්, කර්මස්ථාන ශිර්ෂයෙන් ම ගම් වැදීමේ දී රැකිය යුතු සිකපද රැකෙන සේ සිවුරු හැඳ පොරවා පිඬු පිණිස ගමට පිවිසෙයි. ගම්වැසියෝ ඒ භික්ෂුව දැක “අපගේ හාමුදුරුවෝ වැඩම කළහ' යි පෙර ගමන් කොට පාත්‍රය ගෙන ගෙයක හෝ ආසන ශාලාවක හෝ හිඳුවා කැඳ පිළිගන්වති.
ඔවුහු දවල් දානය පිළියෙල වනතුරු භික්ෂුවගෙන් පැන හෝ විචාරති. බණ අසන්නට හෝ සැරසෙති. ආරාධනයක් නැතිව වුව ද ජන සංග්‍රහය පිණිස බණ කිය යුතු යයි අර්ථකථාචාර්‍ය්‍යයෝ කියති. කර්මස්ථානයෙන් යුක්ත වූ ධර්මකථාවෙක් නැත. එබැවින් ඒ භික්ෂුව කර්මස්ථාන ශිර්ෂයෙන් ම බණ කියා දන් වළඳා අනුමෝදනය කොට ආපසු එන්නට පිටත් වෙයි.
පහන් වූ ගම් වැසියෝ පසු ගමන් කිරීම් වශයෙන් භික්ෂුව හා එති. භික්ෂුව ඔවුන් හා කථා කරමින් අවුත් ඔවුන් නවත්වා මඟට බසී. පළමු පිඬු සිඟා වළඳා නික්මුණු භික්ෂු සාමණේරයෝ ඒ භික්ෂුව දැක පා-සිවුරු පිළිගනිති. එසේ හමුවන්නා වූ භික්ෂු සාමණේරයන් හා ද ගිහියන් හා ද කථා කරමින් ඒ භික්ෂුව විහාරයට එයි. මේ කමටහන ගෙනයාම පමණක් කොට ආපසු නො ගෙනෙන භික්ෂුව ගේ ප්‍රතිපත්තිය ය.
රාත්‍රියෙහි නිරාහාර ව කමටහන් මෙනෙහි කොට උදෑසන වත් සපයන්නා වූ ඇතැම් භික්ෂුවක ගේ පාචකාග්නිය උත්සන්න වේ. එයින් භික්ෂුව වෙහෙසට පත් වෙයි. ක්ලාන්ත වෙයි. එයින් හේ කමටහන මැනවින් මෙනෙහි කිරීමට නො සමත් වෙයි. ඒ භික්ෂුව උදෑසනින්ම පා-සිවුරු ගෙන ඉක්මනින් චෛත්‍යය හා බෝධිය වැඳ, ඉක්මනින් ගොස් කැඳ පිණිස ගමට පිවිසෙයි. ගමෙහි හැසිර කැඳ ලබා ආසන ශාලාවකට පිවිස කැඳ වළඳන්නට පටන් ගනී.
කැඳ උගුරු දෙක තුනක් වැළඳීමෙන් ගින්න සන් සිඳුණු පසු භික්ෂුව ඉතිරි කැඳ කර්මසථාන ශිර්ෂයෙන් වළඳා පාත්‍රය හා මුව සෝදා ගෙන, පිඬු සිඟා යාමට කාලය පැමිණෙන තුරු එහි ම කමටහන මෙනෙහි කරමින් වැඩ හිඳ, කාලය පැමිණි කල්හි කමටහන මෙනෙහි කරමින් ම පිඬු සිඟා වැඩ, කර්මස්ථාන ශිර්ෂයෙන් ම අහර වළඳා කර්මස්ථානය මෙනෙහි කරමින් ම විහාරයට ආපසු පැමිණෙයි. මේ කමටහන නො ගෙන යන ආපසු එන කල්හි ගෙනෙන භික්ෂුව ගේ ප්‍රතිපත්ති ය.
පෙර බුදු සස්න පැවති ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිස කරවන ලද බොහෝ ආසන ශාලාවෝ වූහ. ඒවායේ අසුන්වල හිඳ කැඳ වළඳා පිඬු සිඟා යාමේ වේලාව පැමිණෙන තුරු ඒ අසුන්වල ම හිඳ භාවනා කොට රහත් වූ භික්ෂූන්ගේ ප්‍රමාණයක් නැති බව ද, එකල ලක්දිව ඒ ඒ තැන්වල තුබූ ආසන ශාලාවල යම්කිසි භික්ෂුවක් කැඳ වළඳා භාවනා කොට රහත් නොවූ අසුනක් නුවූ බව ද අටුවාවල දක්වා තිබේ.
සියලු වත් බිඳ දමා කමටහන් මෙනෙහි කළ යුතු බවවත් නො සිතා ප්‍රමාද ව වාසය කරන්නා වූ භික්ෂුව, කාම විතර්කාදියෙන් රාත්‍රිය ඉක්මවා උදෑසන - පා - සිවුරු ගෙන කථා කරන්නට කෙනකු ලද හොත් කථා කරමින් ද, නො ලද හොත් කාමවිතර්කාදියෙන් ද යුක්තව ගමට පිවිස, පිඬු සිඟා වළඳා ගිහියන් හා අනනුලෝමික කථාවෙන් කල් ගෙවා, කාමවිතර්කාදියෙන් යුක්ත ව හෝ මඟ හමුවන්නවුන් හා තිරශ්චීන කථා කරමින් හෝ විහාරයට පැමිණෙන හිස් පුද්ගලයා කමටහන නො ගෙන යන, නො ම ගෙන එන භික්ෂුව ය.
ගත පච්චාගත වත පුරන භික්ෂුව නම් කමටහන ගෙන ගොස් නැවත ගෙන එන්නා වූ භික්ෂුව ය. වැඩ කැමති කුලපුත්‍රයෝ බුදු සස්නෙහි පැවිදිව, දස දෙන - විසි දෙන - තිස් දෙන - සතළිස් දෙන - පනස් දෙන - සියක් දෙන එක් ව මහණ දම් පුරති. “ඇවැත්නි, ආයුෂ්මත්හු ණය ගෙවා ගත නො හෙන නිසා හෝ, බිය නිසා හෝ, ජීවත් විය නො හෙන නිසා හෝ, පැවිදි වූවෝ නො වෙති. දුකින් මිදෙනු පිණිස ම පැවිදි වූවෝ ය. එසේ පැවිදි වූ ආයුෂ්මතුන්ට ප්‍රමාදවීමට සුදුසු නැත. එබැවින් ආයුෂ්මත්හු ගමනෙහිදී උපන් ක්ලේශය හිඳීම දක්වා නො පවත්වා ගමනෙහි දී ම දුරු කරත්වා. සිටීමෙහි දී හිඳීමෙහි දී ශයනයෙහි දී ක්ලේශයක් උපන හොත් ඒ ක්ලේශය අන් ඉරියව්වකට ගෙන නො ගොස් ඒ ඒ ඉරියව්වේ දී ම දුරු කෙරෙත්වා"යි කථා කර ගෙන උන් වහන්සේලා වෙසෙති.
එසේ කථා කරගෙන හැසිරෙන්නා වූ ඒ භික්ෂූන් පිඬු සිඟා වඩිනා කල්හි යම්කිසි භික්ෂුවකට ක්ලේශයක් උපන හොත් ඒ භික්ෂුව වහා ඒ ක්ලේශය සිය සිතින් බැහැර කරයි. නො හැකි වුවහොත් ඉදිරියට නො ගොස් එහි ම නවතී. වැඩි මහලු පිළිවෙළින් යාම මිස ඉදිරියෙන් යන වැඩි මහලු භික්ෂුව පසු කොට යන සිරිතත් වතින් සම්පූර්ණ භික්ෂූන්ගේ නැත. එබැවින් කෙලෙස් උපන් භික්ෂුව සිටි කල්හි පසුව එන භික්ෂූහු ද සිටිති.
එකල්හි කෙලෙස් ඇති වුණු භික්ෂුව තමාට ම තමා අවවාද කරන්නේ “මහණ, තට කෙලෙස් ඇති වූ බව මේ අයුෂ්මත්හු ද දනිති. එය තට ලජ්ජා වීමට කරුණෙකි. වහා එය දුරු කරව” යි අවවාද කරගෙන එකෙණෙහි ම එය බැහැර කොට එතැන දීම ආර්‍ය්‍ය භූමියට පැමිණෙන්නේ ය. නො හැකි වුවහොත් එතැන ම හිඳ ගනී. පසුව එන්නාහු ද එසේ ම හිඳ ගනිති. කෙලෙස් උපන් භික්ෂුවකට එය දුරු කොට එතැනදී ම ආර්‍ය්‍යභූමියට පැමිණිය නො හැකි වුව හොත් එය යට කොට කර්මස්ථානය මෙනෙහි කරමින් යන්නේ ය. කර්මස්ථානයෙන් තොර වූ සිතින් පිය නො නඟන්නේ ය. ප්‍රමාදයකින් කෙලෙස් සහිත සිතින් ඉදිරියට ගියේ නම් කෙලෙස් උපන් තැනට ම ආපසු එන්නේ ය.
ආලින්දකවාසී මහා ඵුස්සදේව තෙරුන් වහන්සේ එකුන් විසිවසක් ගතපච්චාගත වත පිරූහ. කෙලෙස් ඇති වී අමතක වී ඉදිරියට ගමන් කළ හොත් එය දැනුණු වහාම උන් වහන්සේ කෙලෙස් උපන් තැනට ආපසු අවුත්, එය දුරු කර ගෙන ම ඉදිරියට යන්නාහ. උන්වහන්සේ ඉදිරියට යමින් ද ආපසු එමින් ද යනු දක්නෝ “මේ හාමුදුරුවෝ නැවත නැවත ආපසු එමින් යන්නාහ. “මුන්වහන්සේ නැති වුණු දෙයක් සොයත් ද, නැතහොත් පාර වරදවා ගෙන යෙත්දැ"යි කථා කරති. තෙරුන් වහන්සේ ඒවාට ඇහුම් කන් නොදී කමටහන මෙනෙහි කරමින් ම ගමන් කරති. උන්වහන්සේ වත පුරා විසි වසක් තුළ දී සියලු කෙලෙසුන් නසා රහත් වූහ.
රහත් වූ දිනයේ දී උන් වහන්සේ ගේ සක්මනේ කෙළවර වසන දෙවියා පහන්වලින් මෙන් ඇඟිලිවලින් එළිය විහිදුවමින් උන් වහන්සේට ගෞරව කෙළේ ය. සතර වරම් දෙවියෝ ද, සක් දෙව් රජ ද, සහම්පති බ්‍රහ්ම රාජයා ද ඒ පෙදෙස බබුළුවමින් පැමිණ සිටියෝය. වනවාසී මහාතිස්ස ස්ථවිරයන් වහන්සේ රාත්‍රියේ දී ආලෝකය දැක “රාත්‍රියේ දී ආයුෂ්මතුන් සමීපයේ දක්නට ලැබුණු ආලෝකය කවරේදැ"යි විචාළෝය. තෙරුන් වහන්සේ “ආලෝකය නම්, පහන් ආලෝකයක් ද විය හැකි ය. මාණික්‍යාලෝකයක් ද විය හැකි ය” යි කීහ. මහාතිස්ස තෙරුන් වහන්සේ “ආයුෂ්මත්හු කාරණය සඟවති” යි නැවත නැවතත් විචාළ කල්හි කාරණය සිදු වූ සැටියට ප්‍රකාශ කළහ.
කාළවල්ලි මණ්ඩප වාසී මහානාග තෙරුන් වහන්සේ ද ගතපච්චාගත වත පිරූහ. උන් වහන්සේ පළමුවෙන් “භාග්‍යවතුන් වහන්සේගේ මහා ප්‍රධානයට පූජා කෙරෙමි"යි සත් වසක් නොනිදා ම භාවනා කළහ. නැවත සොළොස් වසක් ගත පච්චාගත වත පුරා රහත් වූහ. උන් වහන්සේ කර්මස්ථානයෙන් යුක්ත වූ සිතින් ම පිය නඟමින් කර්මස්ථානයෙන් තොර වූ සිතින් ඉදිරියට ගිය හොත් ආපසු එමින් ගම සමීපයට ගොස්, පාත්‍රය සෝදා ආහාර පිළිගැන්වූ ද, වැන්දා වූ ද, මිනිසුන්ට “සුවපත් වේවා” යි කියන්නට යමෙන් ද, “කර්මස්ථානයට හානියක් නො වේවා” යි මුඛයේ ද පැන තබා ගෙන ගමට පිවිසෙති.
යම් කිසිවකු විසින් දවස හෝ භික්ෂු ගණන හෝ ප්‍රශ්නයක් හෝ විචාළ හොත් ඒ පැන් ගිල එයට පිළිතුරු දෙති. එබඳු ප්‍රශ්නයක් අසන කෙනකු නුවුව හොත් මුව තුළ පැන් තබා ගෙන ම පිඬු සිඟා ගම් දොර දී ඒ පැන් ඉවත ලා යන්නාහ.
කථා නො කිරීමට මෙ පමණ උත්සාහ කරන යෝගාවචරයන් කථා කරන්නේ කුමට ද යනු දත යුතු කරුණෙකි. සම්පූර්ණයෙන් ම කථා නො කිරීම තිර්ථකයන් ගේ ව්‍රතයක් මිස බෞද්ධ භික්ෂූන් ගේ සිරිතක් නොවේ. “න භික්ඛවෙ මුගබ්බතං තිත්ථිය සමාදානං සමාදියිතබ්බං, යො සමාදියෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යි මහණෙනි, තිර්ථකයන් ගේ සමාදානයක් වූ මුග ව්‍රතය (ගොළුවකු මෙන් හැසිරීම) සමාදන් නො විය යුතු ය. යමෙක් සමාදන් වේ නම්, ඒ මහණ හට දුකුළා ඇවැත් වේය"යි බුදුන් වහන්සේ සික පදයක් ද පනවා තිබෙන බැවින්, ලොව රවටන්නට කථා නො කරන අය මිස ශික්ෂාකාමීහු කථා නො කිරීමේ ව්‍රතය සමාදන් නො වෙති.
කලම්බතිත්ථ විහාරයේ වස් විසූ පනස් නමක් භික්ෂූහු ද ගත පච්චාගත වත පිරූහ. උන් වහන්සේලා ඇසළ මස පුණු පොහෝ දිනයේදී “අප රහත් නොවී ඔවුනොවුන් හා කථා නො කරමුය"යි කතිකා කර ගෙන වස් වැසූහ. උන් වහන්සේලා ද, මහානාග තෙරුන් වහන්සේ මෙන් ම මුව තුළ පැන් තබාගෙන ගම් වැදුණාහ. ගමේ දී කථා කිරීමට කාරණයක් නුවුවහොත් උන් වහන්සේ මුවින් ගත් පැන් ගම් දොර සමීපයේ ඉවත ලා යන්නාහ. මනුෂ්‍යයෝ ඉවත ලූ පැන් බලා පැමිණි භික්ෂූන් මෙතෙකැයි ගණන් ගනිති.
ඒ භික්ෂූන් වහන්සේලාට පිණ්ඩපාතය දෙන ගම්වැස්සෝ මෙ භික්ෂූන් කථා නො කරන්නේ අප හා පමණක් ද? මුන් වහන්සේලා ඔවුනොවුන් හා ද කථා නො කෙරෙත් ද? ඉඳින් ඔවුනොවුන් කථා නො කරත් නම් මුන් වහන්සේලා ඔවුනොවුන් හා කලහ කර ගෙන සිටින්නෝ ය. ඉදින් උන්වහන්සේලා අසමගියෙන් සිටිත් නම්, අප විසින් ඔවුනොවුන් සමගි කර වන්නට වටනේය”යි එක් දවසක් සෑම දෙනා එක් ව විහාරයට ගියෝ ය. විහාරයට ගියා වූ ඔවුහු එක් තැන භික්ෂූන් දෙනමක් නුදුටහ. ඔවුන් අතර සිටි එක් නුවණැති පුරුෂයෙක් විහාරයේ ඇවිද බලා සෙස්සන්ට කියනුයේ “මෙහි සෑ - මලු, බෝ - මලු හැමද තිබෙන්නේ ය. විහාරයේ හැමදිය යුතු තැන් සියල්ල හැමද තිබෙන්නේ ය. පැන් තිබිය යුතු තැන්වල පැන් ඇත්තේ ය. ඉදල් මුසුන් ආදී බඩු තැන්පත් කොට තිබෙන්නේය. කලහකරුවන් වසන තැන් මෙසේ නො වේය” යි කීහ. ඔහු ගේ බස් අසා සියල්ලෝ ම පෙරලා ගියහ. ගත පච්චාගත වත පිරූ ඒ හැම දෙනා වහන්සේ ම වස් කාලය තුළ දී සව් කෙලෙසුන් නසා රහත් ව මහා පවාරණයේ දී විසුද්ධි පවාරණය කළෝය.
ගත පච්චාගත වත පුරන්නා වූ භික්ෂූහු ආලින්දක වාසී මහා ඵුස්සදේව තෙරුන් වහන්සේ මෙන් ද, කාලවල්ලි මණ්ඩප වාසී මහානාග තෙරුන් වහන්සේ මෙන් ද, කලම්බතිත්ථ විහාරයේ වස් විසූ භික්ෂූන් මෙන් ද, කර්මස්ථානයෙන් යුක්ත චිත්තයෙන් ම පිය නඟමින් ගම සමීපයට ගොස්, මුඛයෙහි පැන් තබා ගෙන සුරා ධූර්ථාදි කලහ කාරයන් නැති, චණ්ඩ හස්ති, අශ්වයන් නැති විථිවලට වැද, නො සම මඟක යන දිය කරත්තයක් සේ සෙමින් ගෙපිළිවෙලින් වඩිති. පිඬු සිඟා අවසන් වූ පසු කර්මස්ථානයෙන් යුක්ත සිතින් ම ගමෙන් පිටත පහසු තැනකට හෝ විහාරයට ම හෝ පැමිණ සුදුසු තැනක හිඳ, ආහාරයෙහි ප්‍රතිකූල සංඥාව උපදවා, කරත්ත රෝදයට තෙල් දැමීමේ උපමාව ය, වණයට බෙහෙත් ගැල්වීමේ උපමාව ය, පුත්‍ර මාංසෝපමාව ය යන උපමාවලින් ප්‍රත්‍යවේක්ෂා කෙරෙමින් අෂ්ටාංගයකින් යුක්ත කොට ආහාරය වළඳති.
උන් වහන්සේලා ක්‍රීඩා පිණිස ආහාර නො වළඳති. මද වඩනු පිණිස නො වළඳති. ඇඟ තර කරවනු පිණිස නො වළඳති. ඇඟ පැහැපත් කරනු පිණිස නො වළඳති. වළඳා අවසන් වූ පසු ආහාර ක්ලාන්තය සන්සිඳෙනු පිණිස මඳක් විවේක ගෙන, දවල් කාලයේ ද රාත්‍රියේ ප්‍රථම යාමයේ හා පශ්චිම යාමයේ ද කර්ම ස්ථානයන් ම මෙනෙහි කරන්නාහ. එසේ මහණ දම් පුරන්නා වූ භික්ෂූහු ගත පච්චාගත වත සම්පූර්ණ කරන්නෝ ය.
ආහාර වැළදීමේ දී මෙනෙහි කරන උපමාවලින් කරත්ත රෝදයට තෙල් දැමීමේ උපමාව මෙනෙහි කරන සැටි මෙසේ දත යුතු. කරත්ත රෝදයේ පූනුවෙහි තෙල් වියලුණු කල්හි එයින් හඬ නැගෙයි. ගොනුන්ට ඇදීම දුෂ්කර වෙයි. අලවංගුව හා පූනුව ගෙවෙන්නට පටන් ගනී. රියකරු එය නො ගෙවී ආරක්‍ෂා වනු සඳහා ද පහසුවෙන් ක්‍රියා කර වීමට හැකි වනු සඳහා ද එයට තෙල් දමයි. එමෙන් යෝගාවචර භික්ෂුව ද “ශරිරයේ පැවැත්ම පිණිස ද, එය ක්‍රියාවේ යෙදවීමට පහසු වනු පිණිස ද ආහාර වළඳමි” යි සිතා ආහාර වළඳයි.
වණයට බෙහෙත් ගැල්වීමේ උපමාව මෙනෙහි කරන සැටි මෙසේ ය. වණයෙහි බොහෝ දුක්වේදනා හට ගනී. දුක් හටගන්නා තැනක් බැවින් ශරීරය ද වණයක් බඳු ය. යෝගාවචර භික්ෂුව, රිදුම් - කැසුම් ආදි දුක් දුරු කර ගැනීම පිණිස වණයක් ඇති තැනැත්තා එහි බෙහෙත් ගල්වන්නාක් මෙන් “මම ද මේ සිරුරේ ඇතිවන බඩගිනි වේදනාව ආදී ආහාර නැති කමින් වන වේදනා දුරු කර ගනු පිණිස වළඳමි"යි අහර වළඳයි.
පුත්‍ර මාංසෝපමාව මෙසේ ය: අඹු සැමි යුවලක් ඔවුන්ගේ අත දරුවා ද ගෙන කාන්තාරයක් මැදින් ගමන් කළෝ ය. කාන්තාරය මැද දී ඔවුන් ගෙන ගිය බත් පැන් අවසන් විය. ඔවුහු බත් පැන් නැති කමින් ද තද උෂ්ණයෙන් ද අතිශයින් පීඩාවට පත් වූහ. සියුමැලි බැවින් ළදරුවා කලින් ම මළේය. ඒ අඹු සැමි දෙදෙනා ජීවත් වුව හොත් අපට මතු දරුවන් ලැබිය හැකි ය. නිරාහාර ව සිටියහොත් මෙහි ම මැරෙන්නට වනු මිස අපට ද කාන්තාරයෙන් එතර වන්නට නො ලැබෙන්නේ ය. අපි මේ දරුවා ගේ මස් කා කාන්තාරයෙන් එතර වන්නෙමු”යි දරුවා ගේ මස් අමුවෙන් ම කා කුස ගින්න නිවා ගත්තෝ ය. මෙය ඇත්ත වශයෙන් සිදු වූවක් නොව උපමා කථාවකි.
ඒ අඹු සැමියන්ට ඒ මස මිනි මස් නිසා පිළිකුල් ය. දරුවා ගේ මස් නිසා ද පිළිකුල් ය. ලපටි මස් නිසා ද පිළිකුල් ය. අමු මස් නිසා ද පිළිකුල් ය. ලුණු ඇඹුල් දුරු මිරිස් නැති නිසා ද පිළිකුල් ය. එ පමණ පිළිකුල් වූ ඒ මස ඔවුන් අනුභව කළේ, ඒ ගැන අල්ප මාත්‍ර වූ ද, සතුටක් ආසාවක් ඇති නිසා නොව කාන්තාරයෙන් එතර වීම පිණිස ය. එ මෙන් ගත පච්චාගත වත පුරන මේ භික්ෂුව ද රස තෘෂ්ණාව සම්පූර්ණයෙන් දුරු කොට “දිවි පවත්වා ගැනීම පිණිස ම සංසාරයෙන් එතර වනු පිණිස ම, පිළිවෙත් පුරනු සඳහා ම ආහාර වළඳමි"යි සලකා ආහාරය වළඳයි.
කියන ලද පරිදි ගත පච්චාගත වත පුරන්නා වූ භික්ෂු තෙමේ හේතු සම්පත් ඇතියෙක් වේ නම්, ප්‍රථම වයසේ දී ම රහත් වෙයි. නොවී නම් මධ්‍යම වයසේ දී හෝ රහත් වෙයි. එසේ ද නොවී නම් මරණාසන්නයේ දී හෝ රහත් වෙයි. එසේ නො වී නම් දෙ වන ජාතියේ දී දිව්‍යපුත්‍රයෙක් හෝ වී රහත් වෙයි. එසේ ද නො වී නම් අබුද්ධෝත්පාද කාලයේ දී පසේ බුදු කෙනෙක් හෝ වෙයි. එසේ ද නො වී නම් බාහිය දාරුචිරයන් මෙන් බුදුවරයකු ගේ හමුවෙහි වහා රහත් වෙයි. සැරියුත් මහ තෙරුන් වහන්සේ මෙන් මහා ප්‍රාඥයෙක් හෝ වෙයි. මුගලන් මහ තෙරුන් වහන්සේ මෙන් සෘද්ධි ඇතියෙක් හෝ වෙයි. මහ කසුප් තෙරුන් වහන්සේ මෙන් ධුත වාදියෙක් හෝ වෙයි. අනුරුදු තෙරුන් වහන්සේ මෙන් දිවැස් ඇතියෙක් හෝ වෙයි. උපාලි තෙරුන් වහන්සේ මෙන් විනයධරයෙක් හෝ වෙයි. පුණු තෙරුන් වහන්සේ මෙන් ධර්ම කථිකයෙක් හෝ වෙයි. රේවත තෙරුන් වහන්සේ මෙන් ආරණ්‍යකයෙක් හෝ වෙයි. ආනන්ද ස්ථවිරයන් වහන්සේ මෙන් බහුශ්‍රැතයෙක් හෝ වෙයි. රහල් තෙරුන් වහන්සේ මෙන් ශික්ෂාකාමියෙක් හෝ වෙයි.
ඉහත සඳහන් කළ ප්‍රත්‍යේක බෝධි සත්ත්ව තුමා කසුප් බුදුන් වහන්සේගේ සස්නෙහි ගත පච්චාගතවත පුරා ආයු කෙළවර චුතව, කාමාවචර දිව්‍ය ලෝකයෙහි ඉපද, බෝ කල් දිව්‍ය ශ්‍රී සම්පත් විඳ දෙව් ලොවින් චුත ව එවකට දඹදිව අග රජ වූ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුගේ අග මෙහෙසිය කුස පිළිසිඳ ගත්තේය. කුසයෙහි දරුවකු පිළිසිඳ ගතහොත් නුවණැති ස්ත්‍රීහු එකෙණෙහි ම දැන ගනිති. දේවිය නුවණැතියක බැවින් දරු ගැබ පිහිටි බව දැන රජුට දැන්වූවාය. පින්වත් දරුවන් කුස හොත් කල්හි මව්වරු ගර්භාරක්ෂාව ලබති. බ්‍රහ්මදත්ත රජතෙමේ මේ පින්වත් කුමරුගේ මවට ගර්භාරක්ෂාව සලසා දිණ.
ගර්භාරක්‍ෂා දීමය යනු කුස හොත් දරුවාට පීඩාවක් නො වන සේ හැසිරීමට උවමනා සියල්ල මවට සපයා දීම ය. ආදරයෙන් ආරක්ෂා කරනු ලබන ගැබ මේරූ දේවිය, සූතිකා ගෘහයට පිවිස එක් බලවත් උදෑසනක තෙලින් හැණූ මනෝ සීල පිණ්ඩයක් සේ ශෝභන වූ පින්වත් කුමරකු ප්‍රසූත කළාය. ඉපදී පස්වන දීනයේ ඒ කුමාරයා සරසා බ්‍රහ්මදත්ත රජුට දැක්වූහ. රජ සතුටුව කිරි මවුන් සැට දෙනකු යොදවා කුමරා පෝෂණය කරවීය. සොළොස් හවුරුදු වයසට පැමිණියා වූ පින්වත් කුමරා පිය රජ තුමා විසින් එවකට දඹදිව පැවති විසි දහසක් නගරවලට අග රජු වශයෙන් බ්‍රහ්මදත්ත නාමයෙන් ම රජයෙහි අභිෂේක කරවන ලද්දේ ය. ඒ රජතුමාට විසි දහසක් නගරයෝ වූහ. විසි දහසක් ප්‍රාසාදයෝ වූහ. විසි දහසක් ඇත්තු වූහ. විසි දහසක් අශ්වයෝ වූහ. විසි දහසක් රථ වූහ. විසි දහසක් ඇමතියෝ වූහ. රජ තෙමේ මහත් යස ඉසුරෙන් රජය කරද්දී ම කසිණ පරිකර්ම කොට පඤ්චාභිඥාවන් හා අෂ්ටසමාපත්තීන් ඉපද වී ය. අභිෂේක ලත් රජුන් විසින් විනිශ්චයාසනයෙහි හිඳ ගත යුතු ම ය.
දිනක් විනිශ්චය ශාලාවේ හිඳ ගත් කල එ තැන මහා ශබ්ද ඇති විය. රජ තෙමේ මේ ශබ්ද සාමාපත්තියට බාධා වෙතැයි එතැනින් නික්ම ප්‍රාසාදයට නැග ධ්‍යාන සමාපත්තියට සම වදින්නට උත්සාහ කළේය. එහෙත් එදා සමවතට පැමිණෙන්නට නො හැකි විය. රාජ්‍යයේ කටයුතුවලින් වික්ෂිප්ත වූ එතුමා ධ්‍යානයෙන් පිරිහිණ. ඉක්බිති රජතුමා “රාජ්‍යයය, ශ්‍රමණ ධර්මය ය යන මේ දෙකින් කවරක් උතුම් දැ”යි විමසනුයේ “රාජ්‍ය සුඛය සුළු ය. අනේකාදීනව ඇත්තේ ය. උතුමන් විසින් සෙවුනා ලද ශ්‍රමණ සුඛය ම උතුම් ය. එහි අනුසස් බොහෝය”යි වැටහී එක්තරා ඇමතියකුට රජය බාර කොට, ප්‍රාසාදයට නැග බත් පැන් ගෙන එන්නවුන්ට හැර අන් කිසිවකුට එහි නො වදනා ලෙසට නොයෝග කොට සමවත් සුවයෙන් වසන්නට පටන් ගත්තේ ය.
අඩ මසක් පමණ ගත වූ පසු දේවිය, “උයන් ගමන් නැටුම් බැලීම් ආදී කිසි තැනක රජු දක්නට නැත. රජ කොහි වෙසේදැ"යි විචාළා ය. ඇමතියෝ සිදු වූ සියල්ල ඇයට කීහ. ඉක්බිති දේවිය “රජු විසින් රජය භාර කරන ලද්දේ නම් මම ද භාර කරන ලද්දී වෙමි ය. මා හා වාසය කිරීමට මෙහි එනු මැනවැ” යි රාජ්‍ය භාර අමාත්‍යයා වෙත දූතයකු යැව්වාය. ඇමති තෙමේ “නො ඇසිය යුත්තක් ඇසුම්හ” යි කන් අතින් වසා ගත්තේය. දේවිය නැවතත් දෙතුන් වරක් පණිවිඩ යවා, ඇමතියා නො එන කල්හි තර්ජනය කොට යැව්වා ය. ඇමතියා බිය වී “ස්ත්‍රීහු තද සිත් ඇත්තෝය. ඉදින් නො ගියෙම් නම් මා හට අනර්ථ කෙරෙති"යි සිතා නො කැමැත්තෙන් ම එක් දිනක් රහසින් ම එහි ගොස් ඇය සතුටු කෙළේ ය. ඇමතියාට ද ඇගේ ශරීර ස්පර්ශය රස වී හේ නැවත නැවතත් එහි යන්නට පටන් ගත්තේ ය. කල් යෑමෙන් ඇගේ හිමියකු මෙන් ප්‍රසිද්ධියේ ම එහි යන්නට විය. රාජ පුරුෂයෝ ඒ පුවත රජුට සැල කළෝ ය. රජ පළමුවෙන් එය නො අදහා නැවත නැවතත් කියන කල්හි තෙමේ ම විමසා කාරණය සියැසින් ම දැක, සියලු ඇමතියන් රැස් කරවා කාරණය ඔවුනට කීහ.
ඇමතියෝ මොහු රාජ්‍යාපරාධ කාරයෙක, මොහු ගේ අත් කපන්නට වටනේ ය, පා කපන්නට වටනේ ය, යනාදීන් උල හිඳුවීම් දක්වා ඇති සියලු ම වධ කළ යුතු බව කීහ. රජතුමා කියනුයේ මොහුට වධ කරවීමෙන් මා හට, හිංසා කිරීමේ අකුශලය සිදු වන්නේ ය. ‘මොහු ගේ දේපොල ගැනීමෙන් මා හට අදත්තාදාන පාපය වන්නේ ය. ඒවායින් කම් නැත. මොහු මාගේ රාජ්‍යයෙන් බැහැර කරව’යි කීය. ඇමතියෝ ඔහු රජයෙන් නෙරපූහ. හේ අඹු දරුවන් හා ධන සාරය ද ගෙන අන් රටකට ගොස් එහි රජුට උපස්ථාන කරන්නට විය.
හේ ටික දිනකින් ඒ රජු හා විශ්වාසයට පැමිණ එක් දවසක් දෙවයන් වහන්ස, “මැස්සන් නැති මීයක් ඇත. එය කන කෙනකු නැතය”යි කීය. රජ එය කවටකමක් සේ සිතා ඒ ගැන සැලකිල්ලක් නො කෙළේ ය. ඇමතියා ඉන් පසු ද ඉඩ ලැබුණු විටක වඩාත් වර්ණනා කොට කීහ. රජ “ඒ කුමක් දැ” යි ඇසීය. “දේවයන් වහන්ස, බරණැස් රජය”යයි ඇමතියා කීය. එකල්හි රජු “නුඹ තැත් කරන්නේ මා එහි ගෙන ගොස් මරවන්නට දැ” යි ඇසීය. ඇමතියා කියනුයේ “දේවයන් වහන්ස, එසේ නො කියනු මැනවි. අවිශ්වාස නම් නුඹ වහන්සේ ම මිනිසුන් යවා විමසන සේක්වා.”යි කීය. රජු එහි මිනිසුන් යැවීය. ඔවුහු එහි ගොස් උමං කැණ රජු ගේ යහන් ගබඩාවෙන් ම මතු වූහ. රජතුමා “කුමට අවු දැ” යි ඔවුන්ගෙන් විචාරා “දේවයන් වහන්ස, ”අපි සොරු නො වෙමු.”යි කී කල්හි ඔවුනට ධනය දී මතු එවැනි දේ නො කරන ලෙසට අවවාද කොට ඔවුන් යැවී.
සතුරු රජ එසේ තුන් වරක් ම විමසා, බරණැස් රජු සිල්වතකු බව ද, නපුරකු නො වන බව ද, ස්ථිර වශයෙන් ම දැන සිවුරඟ සෙනඟ ගෙන බාරාණසී නගර සීමාවේ එක් කුඩා නගරයකට වැද, මේ නගරය දෙව, නො දෙත හොත් යුදයට එව"යි කියා ඇමතියකු බ්‍රහ්මදත්ත රජු වෙත යැවීය. ඇමතියා ගොස් බඹදත් රජුට එ පුවත් කියා “දේවයන් වහන්ස, නගරය දෙන්නෙම්ද, යුද කරන්නෙම් දැ"යි විචාළේ ය. බඹදත් රජතුමා “යුද නො කොට නගරය දී මෙහි එව"යි ඇමතියට අණ කළේ ය. හේ රජ අණ පරිදි එසේ කෙළේ ය. සතුරු රජ ඒ නගරය ගෙන තවත් නගර වලට ද ගොස් එසේ ම ඒ ඒ නගරවල හුන් ඇමතියන් බඹදත් රජවෙත යැවී ය. රජතුමා යුද නො කොට ඒ නගර සතුරු රජුට දී එන ලෙස සැමට ම අණ කෙළේ ය.
ඇමතිවරු හැම දෙන ඒ ඒ නගර සතුරු රජුට දී බරණැස් නුවරට පැමිණියහ. ඉක්බිති ඇමතිවරු රැස්ව බඹදත් රජු වෙත ගොස්, “මහරජ සතුරු රජු හා යුද කරමු"යි කීහ. රජතුමා ද “ප්‍රාණඝාතය නො කළ හැකි ය"යි ඔවුන් වැළැක්වී ය. ඇමතියෝ, “අපි ඒ රජු නො මරා අල්ලා මෙහි ගෙනෙමු” ය යනාදීන් නොයෙක් කරුණු කියා “මහ රජ, එනු මැනව” යි කියා ගමනට සූදානම් වූහ. රජතුමා “ඉදින් මැරීම් පහර දීම් කොල්ලකෑම් නො කරන්නහු නම් එන්නේ මැ"යි කීය. ඇමතියෝ “දේවයන් වහන්ස, අපි ඒ කිසිවක් නො කරන්නෙමු ය, බිය ගන්වා සතුරන් පලවා හරිමු” ය යි කියා සේනා රැස් කරවා කළ තුළ පහන් දල්වා ගෙන රාත්‍රියෙහි ගියෝ ය.
සතුරු රජ ද එක් නගරයක් ගෙන විරුද්ධ ව කිසිවකු නො පැමිණියෙන් සන්නාහයන් මුදා යුදයක් ගැන බලාපොරොත්තු රහිත ව ඒ වේලාවේ සේනාවත් සමඟ නිදමින් සිටියේ ය. බරණැස් රජුගේ ඇමතියෝ රජු ද කැඳවා ගෙන සතුරු රජු ගේ කඳවුරට වැද, කළවල තුබු පහන් එකවර පිටතට ගෙන ආලෝකවත් කොට එකවර මහ හඬ නැගූහ. සතුරු රජුගේ ඇමතියෝ මහසෙනඟ දැක බිය වී තමන් ගේ රජු වෙත ගොස් “නැගිටින්න මී වදය කන්නය"යි මහ හඬ නැඟුහ. සතුරු රජ ඒ හඬින් පිබිද බිය වී “අනුන්ගේ කීම් අසා සතුරන් අතට පැමිණියෙමි"යි රාත්‍රිය මුළුල්ලෙහි වැලපී “මේ ධාර්මික රජතුමා අපරාධයක් නො කරන්නේ ය. එතුමා වෙත ගොස් සමාව ඉල්ලමි"යි එතුමා වෙත ගොස් දණින් වැටී සමාව ඉල්ලී ය.
බඹදත් රජ ඔහුට මතු එවැනි දේ නො කරන ලෙසට අවවාද කොට සමාව දිණ. සතුරු රජ බරණැස සමීපයෙහි ම වූ ජනපදයක රජ බව ලබා බරණැස් රජු හා මිතුරු ව විසී ය. බඹදත් රජ දෙ සෙනඟ ඔවුනොවුන් සමඟියෙන් සතුටින් සිටිනු දැක, මාගේ සිත රැකීම නිසා ජන සමූහයේ එකකු ගෙන්වත් මැස්සකුට බොන පමණට ලේ බිඳුවක්වත් නො සෙල්විණැයි සතුටුව “සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා” යනාදීන් හැම සතුන් කෙරෙහි මෙත් වඩන්නට පටන් ගත්තේ ය. ඔහුට එයින් මෛත්‍රී ධ්‍යානය උපන.
ඉක්බිති රජතුමා මෛත්‍රී ධ්‍යානය පාදක කොට සකල සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන් බලමින් විදසුන් වැඩීය. එයින් එතුමා සියලු කෙලෙසුන් නසා ප්‍රත්‍යේක සම්බෝධියට පැමිණියේය. පසේ බුදු වී ඵල සමාපත්ති සුඛයෙන් ඇතු පිට හුන් රජු වෙත ඇමතියෝ ගොස් “දේවයන් වහන්ස, දැන් යාමට කාලය ය. එබැවින් ජය ගත් සේනාවට සත්කාර කළ යුතු ය. පැරදුණු සේනාවට බත් වැටුප් දිය යුතුය"යි කීය. රජතුමා “දරුවෙනි, මම රජ නොවෙමි, පසේ බුදු වෙමි"යි කීය. එකල්හි ඇමතියෝ “දේවයන් වහන්ස, කුමක් කියන සේක්ද? පසේ බුදුවරු ඔබඳු නොවෙති"යි කීහ. රජතුමා පසේ බුදුවරුන්ගේ සැටි විචාළේ ය. “දේවයන් වහන්ස, පසේ බුදුවරු දෑඟුල් හිසකේ ඇති අට පිරිකර දරන්නෝ වෙති"යි ඇමතියෝ කීහ.
රජ තෙමේ අතින් හිස පිරිමැද්දේ ය. එකෙණෙහි ම ගිහි ලිංගය අතුරුදහන් විය. පැවිදි වෙස පහල විය. රජතුමා සියවස් ගත කළ මහ තෙර කෙනකු සේ පෙනිණ. බ්‍රද්මදත්ත ප්‍රත්‍යේක බුද්ධයන් වහන්සේ චතුර්ථ ධ්‍යානයට සම වැදී ඇතු පිටින් අහසට පැන නැඟ පද්මයක වැඩ හුන්හ. ඇමතිවරු වැඳ “ස්වාමීනි, ඔබ වහන්සේ මෙය කෙසේ ලැබූ සේක් දැ"යි විචාළෝය. පසේ බුදුන්වහන්සේ -
“සබ්බේසු භූතෙසු නිධාය දණ්ඩං
අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං
න පුත්ත මිච්ඡෙය්‍ය කුතො සහායං
එකො චරෙ ඛග්ගවිසාණ කප්පො”
යන මේ ගාථාව වදාරා මහා ජනයා බලා සිටියදී ම පසේ බුදුවරයන් වහන්සේලාගේ වාසස්ථානය වූ ගන්ධමාදන පර්වතයට අහසින් වැඩිසේක. ගන්ධමාදන පර්වතය හිමාලය අඩවියේ පිහිටි රම්‍ය පර්වතයෙකි. එහි පා - ගමනින් නො යා හැකිය. එය පසේ බුදුවරයන් ගේ ප්‍රධාන ස්ථානය ය. අහසින් ගොස් පසේ බුදුවරු එහි ගුහාවල වෙසෙති. එහි ම රැස්වීම් පවත්වති. විද්‍යා චක්‍රවර්තීන් විසින් විරචිත බුත්සරණයේ මේ පසේ බුදුවරුන්ගේ වාසස්ථානය මෙසේ විස්තර කර තිබේ.
"එහි මැ නන්දමූලක නම් පර්වතයෙහි පසේ බුදුන් වහන්සේ වරුන් දෑ වසන තැන රන් ගුහා යැ, මැණික් ගුහා යැ, රිදී ගුහා යැ යි තුන් ගුහායෙක් ඇත. ඔවුන් අතුරෙහි මැණික් ලෙණ දොරැ යොදුනක් උස යොදුනක් පළල මඤ්ජූසක නම් ගසෙක් ඇත. ඒ වෘක්ෂයෙහි දියහි ගොඩහි පුප්නා හැම මල් මැ පිපෙන්නේ යැ. එහි විශේෂයෙන් හැම පසේ බුදුන් වහන්සේ වඩනා දවස් මැ සිසාරා සර්ව රත්නමය වූ මලුවෙක් වෙයි.
එහි හමනා වාතයෙන් කසළ හැමද දමයි. එක් වාතයෙක් සත් රුවන් වැලි තනයි. දිය ඉස්නා එක් වාතයෙක් අනවතප්ත විලින් දිය ගෙන වුත් ඉස්නේ යැ. සුවඳ කරන එක් පවනෙක් සියලු සුවඳ රුකින් සුවඳ ගෙනෙන්නේ යැ. මල් බිඳිනා එක් පවනෙක් මල් කඩා වගුරුවයි. අතුරන්නා වූ එක් පවනෙක් හැම තන්හි මැ මල් අතුරුයි. එහි හැම වේලෙහි ම ආසන පනවා තිබේ මැයැ. එහි පසේ බුදු වූ දවස් ද පොහෝ කරන දවස් ද පසේ බුදුන් වහන්සේ එයට වැඩැ පණවන ලද ආසනයෙහි වැඩැ හිඳිනා සේක.
උන් වහන්සේ වැඩැ හුන් ඉක්බිති සෙසු පසේ බුදුන් වහන්සේ වරුන් දෑ ද අවුත් පණවන ලද ආසනයෙහි වැඩ හිඳැ එක්තරා සමාපත්තියකට සම වැද සමාපත්තීන් නැගෙන සෙයෙකැ. ඉක්බිති හැම දෙනා වහන්සේට පළමු පසේ බුදු වූ වහන්සේ අළුතැ පසේ බුදු වැ වැඩි වහන්සේ හැම දෙනා වහන්සේට අනුමෝදනා පිණිස “තෙපි කෙසේ පසේ බුදු වූ දැ” යි කමටහන් විචාරන සේක. ඒ වේලෙහි පසේ බුදුන් වහන්සේ තමන් වහන්සේගේ උදානඛ්‍යාකරණ ගාථා වදාරන සෙයෙක. මෙසේ ගන්ධමාදනකූටය තෙම පසේ බුදුන් වහන්සේ වරුන් දෑ ට වසන තැන වෙයි.”