ශ්‍රාවක බෝධි පාරමිතා කොතෙක් කල් පිරිය යුතු වන්නේ දැයි ආනන්ද ස්ථවිරයන් වහන්සේ විචාළ කල්හි බුදුන් වහන්සේ වදාරන සේක් : “ද්වින්නං අග්ග සාවකානං එකං අසංඛෙය්‍යං කප්පසතසහස්සං ච අසීති මහාසාවකානං කප්පසතසහස්සං තථා බුද්ධස්ස මතාපිතුන්නං උපට්ඨාකස්ස පුත්තස්ස” යි අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනාගේ පාරමිතාව එක් අසංඛ්‍යයක් හා කල්ප ලක්ෂයක් ද, අසූ මහා ශ්‍රාවකයන්ගේ පාරමිතාව කල්ප ලක්ෂයක් ද, එ පමණ ම කලක් බුදුන්ගේ මාපියන් ගේ හා අග්‍ර උපස්ථායකයා ගේ ද පුත්‍රයා ගේ ද පාරමිතාව පිරිය යුතු වේ යයි වදාළ සේක. අග්‍ර ශ්‍රාවකාදීන් ගේ අභිනීහාරය “අධිකාරය, ඡන්දතාය” යන අංග දෙකින් යුක්ත වූ කල්හි සමෘද්ධ වන බව දක්ව තිබේ.
අග්‍ර ශ්‍රාවක මහ ශ්‍රාවකාදීන් ගේ ප්‍රාර්ථනය සිදුවීම පිළිබඳ ව කියන ලද කාල නියමය ස්ථීර වූවක් නොවේ. ශ්‍රාවක බෝධියට පැමිණිය හැකි වීමට ලොවුතුරා බුදුවරයන් ලොව පහළ විය යුතුය. ලොවුතුරා බුදුවරයන් ලොව පහළ වන්නේ කලාතුරකිනි. සමහර විට කල්ප අසංඛ්‍ය බොහෝ ගණනක් ද බුදුවරයන් පහළ නොවී ඉක්ම යා හැකිය. බුදුවරයන් නැතිව කල්ප ලක්‍ෂ ගණන් ඉක්මී යාම නම් නිතර සිදු වන්නකි.
යම් කිසිවකු අග්‍ර ශ්‍රාවක බෝධිය පැතූ තැන සිට එක් අසංඛ්‍යයක් ගත වූ තැන දී බුදුවරයකු ලොව පහළ වෙතත් ඉදිරියට පැරුම් පිරිය යුතු කාලය තවත් කල්ප ලක්‍ෂයක් තිබෙන බැවින් ඒ පින්වතාට ඒ බුදු සස්නේදී අග්‍රශ්‍රාවක බෝධියට නො පැමිණිය හැකිය. එතැන් පටන් කල්ප ලක්‍ෂයක් ගත වූ තැන ලොවුතුරා බුදු වරයකු පහළ වත හොත් ඒ පින්වතාට බෝධියට පැමිණෙන්නට ඉඩ තිබේ. ඉදින් එතැන් පටන් කල්ප අසංඛ්‍යයක් ම බුද්ධ ශූන්‍ය වුව හොත් ඒ පින්වතා ගේ ප්‍රාර්ථනය සිදු වීමට කල්ප අසංඛ්‍ය දෙකක් ම ගත වන්නේය. අසංඛ්‍ය කීපයක් බුද්ධ ශූන්‍ය වී නම් ඒ පින්වතා ගේ ප්‍රාර්ථනයේ සිද්ධියට අසංඛ්‍ය කීපයක් ගත වන්නේය. කල්ප ලක්‍ෂයකින් ලබන මහා ශ්‍රාවක බෝධියට පැමිණිය හැකි වන්නේ ද ඒ කාලය තුළ බුදුවරයකු පහළවුව හොත් ය. ඒ කාලය තුළ දී බුදුවරයන් ලොව පහළ නො වුව හොත් කල්ප කෝටි ගණන් අසංඛ්‍ය ගණන් එයට ද ගත වන්නේය. කරුණු මෙසේ හෙයින් ශ්‍රාවක බෝධිය පිළිබඳ ව දක්වන ලද කාල පරිච්ඡේද අනියත බව දත යුතු ය.
අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකයන් ගෙන් අන්‍ය වූ රහතුන්ගේ ප්‍රාර්ථනා සිද්ධිය පිළිබඳ කාල පරිච්ඡේදයක් අනියමින් වුව ද තථාගතයන් වහන්සේ නො වදාළ සේක. ඇතැම් ආචාර්‍ය්‍ය වරයෝ සාමාන්‍ය රහතුන්ට ද කල්ප ලක්‍ෂයක් පැරුම් පිරිය යුතු බව කියති. ඇතැම් ආචාර්‍ය්‍ය කෙනෙක් කල්ප දහසක් පැරුම් පිරිය යුතු බව කියති. ඒවා ඒ ඒ ආචාර්‍ය්‍යවරයන්ගේ අදහස් ය. රහතුන් ගේ ප්‍රාර්ථනා සිද්ධියට ගත වන කාලය ද ලෝකයෙහි ලොවුතුරා බුදුවරයන් පහල වීමේ සැටියට කෙටිවීම හා දික්වීම සිදු වන බව කිව යුතු ය. ශ්‍රාවක බෝධියට පැමිණීමට හේතු සම්පත් ඇතියවුන් ද එය සඳහා උත්සාහ නො කිරීම නිසා ද, මාර්ගාවරණය කරන අකුශලයක් කරන නිසා ද ඒ ඒ සසුන්වල දී බෝධියට නො පැමිණෙන බව ඇතැම් කථා වස්තුවලින් පෙනේ.
ඒ ජාතියේදී ම මඟ ඵල ලැබීමට හේතු සම්පත් ඇති ව සිටි මහා ධන සිටු පුත්‍රයා ද ඔහු ගේ භාර්‍ය්‍යාව ද බෝධියට නො පැමිණියෝ ය. සෝවාන් වීමට හේතු සම්පත් ඇති ව සිටි අජාසත් රජ පාප මිත්‍ර සේවනයෙන් පිතෘ ඝාතක කර්ම කොට එයින් පිරිහිණ. ශ්‍රාවක බෝධිය පිළිබඳ ස්ථිර කාල නියමයක් නැති බව මේ කරුණුවලින් ද පෙනේ. එසේ නියමයක් නැත ද යම් කිසි ජාතියක දී නියම වශයෙන් ම රහත් වන පුද්ගල කොටසක් ඇති බව ද සංකිච්ච ස්ථවිරයන් වහන්සේ ගේ කථාවෙන් හා බක්කුල තෙරුන් වහන්සේ ගේ කථාවෙන් ද තවත් එබඳු කථාවලින් ද පෙනේ. සංකිච්ච තෙරුන් වහන්සේගේ මව උන් වහන්සේ ගැබ තුළ සිටියදී ම කාලක්‍රියා කළාය. ඇගේ සිරුර ද කුස තුළ හුන් දරුවාත් සමඟ ම සොහොන් කළහ. එහෙත් ඒ ජාතියේ දී ම රහත් වන්නට ඇති හේතු සම්පත්තිය නිසා ඒ දරුවාට අනතුරක් නොවූ බව සංකිච්ච රහතන් වහන්සේ ගේ කථාවෙහි දක්වා තිබේ. බක්කුල තෙරුන් වහන්සේ බාල කාලයේදී මසකු විසින් ගිලින ලද නමුදු එයින් අනතුරක් නො වූ බව ද ඒ කථාවේ දක්වා තිබේ.