සංඥාපනය

සම්‍යක් සම්බෝධිය ය, ප්‍රත්‍යේක සම්බෝධිය ය, ශ්‍රාවක බෝධිය ය යන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට නො පැමිණ කිසිවකුට සසර දුකින් මිදී නිවනට නො පැමිණිය හැකි ය. ඒ ඒ බෝධියට පැමිණීමට පිරිය යුතු පාරමිතාවන් සම්පූර්ණ නො කොට කිසිවකුට බෝධිත්‍රයෙන් එකකට වත් නො පැමිණිය හැකි ය.

මෙ කල ලෝකයේ රහතන් වහන්සේලා ඇත් ද? නැත් ද? මෙ කල රහත් විය හැකි ද? නො හැකි ද? යන මේවා අද ලෝකයේ බොහෝ දෙනකුන් අතර පවත්නා ප්‍රශ්නයෝ ය. රහත් වීමේ මග දක්වන්නා වු තථාගතයන් වහන්සේ ගේ ධර්මය ලොව නිර්මලව පවත්නා තාක් ලෝකයෙහි රහත්හු නැත යයි ද, රහන් නො විය හැකි යයිද, නො කිය හැකි ය. මෙ කල පෙර සේ රහතුන් සුලභ නැති බව පමණක් කිය හැකි ය. රහත්හු තමන් ගේ රහත් බව ලොවට පෙන්වමින් කියමින් ඇවිදින්නෝ නො වෙති. දුටු විට රහත් බව දැන ගැනීමට ලකුණක් ද රහතුන් කෙරෙහි නැත. එබැවින් රහත් කෙනකුන් දුටුවත් හැඳින ගත නො හැකි ය.

කොළඹට යනු කැමතියකු කොළඹට වැටී ඇති මඟකට බැස, කොළඹ බලා ඒ මඟ ගමන් කොට අවසන් කළ හොත් අවසන් කළ දිනය කවර දිනයක් හෝ වේවා, එදින හේ කොළඹ ය. කාලයෙන් එයට බාධාවක් නැත. එමෙන් රහත් වීමට පිරිය යුතු ප්‍රතිපත්ති පුරා අවසන් කළ හොත් දිනය කවදා හෝ වේවා ඒ තැනැත්තා අර්හත්වයේ ය. රහත් වීමේ ප්‍රතිපත්තිය පුරා අවසන් කළත් සමහර කලෙකදී රහත් බවට නො පැමිණිය හැකිය” යි කීම යුක්ති යුක්ත නො වන කථාවෙකි. එසේ කීම තථාගතයන් වහන්සේ ගේ ධර්මයත්, ශාසනික ප්‍රතිපත්තියත් කලකට අවලංගු කිරීමෙකි.

රහත් වීමට උත්සාහ කරන පින්වතුන් ගෙන් ඇතැමෙක් සංක්ෂේප ධර්ම දේශනයක් ඇසීමෙන් ම ද රහත් වෙති. ඇතැමෙක් විස්තර ධර්ම දේශනයක් ශ්‍රවණය කිරීමෙන් රහත් වෙති. ඇතැමෙක් පැවිදිවීමට හිස කේ කපන අතරේ දී රහත් වෙති. ඇත්මෙක් පැවිදිව දින ගණනින් රහත් වෙති. ඇතැමෙක් මාස ගණනක් උත්සාහ කිරීමෙන් රහත් වෙති. ඇතැමෙක් වර්ෂ ගණනක් උත්සාහ කිරීමෙන් රහත් වෙති. ඇතැමෙක් මුලු ජීවිත කාලයේ ම දුක් ගෙන ද රහත් නො වෙති.

රහත් වීම පිළිබඳ වූ මේ වෙනසින් තේරුම් ගත යුත්තේ රහත් වීමට වර්තමාන භවයේ පවත්වන ප්‍රතිපත්තිය පමණක් නොව, අතීත භවයන්හි පුරන ලද පාරමිතාවකුත් උවමනා බවය. අතීත භව වලදී රහත් වීමට නිසි පාරමිතා බොහෝ දුරට සම්පූර්ණ කර ගෙන සිටියෝ, ඉතා පහසුවෙන් එක් ගාථාවක් ඇසීම පමණිනුත් රහත් බවට පැමිණෙති. වර්තමාන භවයේ දී රහත් වීමට ප්‍රමාණ වන අතීත පාරමිතාව නැතියෝ කොතෙක් උත්සාහ කළාහු ද ඒ ජාතියේ දී රහත් නො වෙති. එය නො මේරූ බීජයක් රෝපනය කොට, කොතෙක් දිය ඉස්සත් කොතෙක් පෝර කළත් පැළයක් ඇති නො වීම මෙන් දත යුතු ය.

බුදුවරයන් වහන්සේ කෙනකුන් ලොව පහළ වූ කල්හි රහත් වීමට තරමට පාරමිතාව සම්පූර්ණ කර ඇති පින්වත්හු උන් වහන්සේ ගෙන් දහම් ඇසීමෙන් ද, බුදු සස්නෙහි පැවිදි ව පිළිවෙත් පිරීමෙන් ද රහත්ව නිවන් දකිති. පාරමිතා සම්පූර්ණ කර ගෙන වෙසෙන අය අනුක්‍රමයෙන් රහත්වීමෙන් බුදු සස්න පරණ වත් වත් ම රහත් වන්නෝ අඩු වෙති. මේ බුදු සස්නෙහි රහත් වන්නවුන්ගේ සංඛ්‍යාව අඩු වන්නට පටන් ගත්තේ මෑතක දී නොව බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී ම ය. ඒ බව කස්සප සංයුත්තයෙන් හා භද්දාලි සූත්‍රයෙන් ද දත හැකි ය.

කො නු ඛො භන්තේ! හෙතු කො පච්චයො යෙන පුබ්බේ අප්පතරානි චෙව සික්ඛාපදානි අහෙසුං බහුතරා ච භික්ඛු අඤ්ඤාය සණ්ඨහිංසු කො පන භන්තෙ! හේතු කො පච්චයො යෙනෙතරහි බහුතරානි චෙව සික්ඛාපදානි අප්පතරා ච භික්ඛු අඤ්ඤාය සන්ඨහන්ති?

මේ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ විසින් බුදුන් වහන්සේ ගෙන් විචාළ ප්‍රශ්නයෙකි. මේ ප්‍රශ්නය ම භද්දාලි තෙරුන් වහන්සේ ගෙන් ඇසූ බව මජ්ක්‍ධිම නිකායේ භද්දාලි සූත්‍රයේ දැක්වේ.

“ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! පෙර සික පද තුබුයේ ටිකකි. එහෙත් බොහෝ භික්ෂූහු රහත් වූහ. දැන් බොහෝ සික පද ඇත්තේ ය. එහෙත් අලුතෙන් රහත් වන්නේ ටික දෙනෙකි. එයට හේතුව කවරේ ද?” යනු මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ ප්‍රශ්නය ය. බුදුන් වහන්සේ ජීවමාන කාලයේ දී ම අලුතෙන් රහත් වන සංඛ්‍යාව අඩු වූ බව මේ ප්‍රශ්නයෙන් පෙනේ. සිකපද වැඩිවීමෙන් වන්නේ භික්ෂූන්ගේ ප්‍රතිපත්තිය අඩුවීම නො ව වැඩි වීම ය. ප්‍රතිපත්තිය වැඩි වී තිබිය දී රහත් වීම අඩු වී යාමෙන් එයට වර්තමාන ප්‍රතිපත්තිය හැර තවත් දෙයක් උවමනා බව තේරුම් ගත හැකි ය. ඒ උවමනා දෙය නම් අතීත භව වලදී පිරූ පාරමිතාව ය.

රහත් වන සංඛ්‍යාව මෙසේ බුද්ධ කාලයේ දී ම අඩු වූයේ පෙරුම් දහම් සම්පූර්ණ කරගෙන සිටිය අය ක්‍රමයෙන් රහත් වී අවසන් වීමෙනි. මේ බුදුසසුන දැන් බොහෝ පැරණි ය. මේ සස්න ඇති වූ මුල් කාලයේ දී ම එක් එක් කෙනා බැගින් ද, සමූහ සමූහ වශයෙන් ද, රහත් වීමට හේතු සම්පත් ඇත්තෝ රහත්ව නිවන් දුටහ. හේතු සම්පත් ඇති අයගෙන් දැනට ඉතිරි වී ඇත්නම් ඇත්තේ ඉතා ටික දෙනෙක් ය. ලෝකයෙහි නව රහතුන් දුලබ වීමේත් රහත්වන්නවුන් දුලබ වීමේත් හේතුව එය ය.

මේ භවයේදී උත්සාහ කළ හොත් රහත් වීමට තරම් අතීත පාරමිතාව ඇත්තෝ දැනුදු නැත යයි නො කිය යුතු ය. බොහෝ සෙයින් අර්හත්වය සඳහා වෙර වඩන්නට - දුක් ගන්නට සිත් වන්නේ තරමක් වත් අතීත පාරමිතාව ඇති සත්පුරුෂයන්ට ය.

මේ ජාතියේ රහත් වුවත් නොවූවත් රහත් වනු පිණිස වෑයම් කරන පින්වත්හු දැනුදු නැත්තාහු නො වෙති. ඔවුනතර මේ ජාතියේ දී ම රහත්වීමට තරම් හේතු සම්පත් ඇත්තෝ වෙත් නම්, ඔවුහු ක්‍රමානුකුලව භාවනාවෙහි යෙදෙන්නාහු වෙත් නම්. ඒ පින්වත්හු සව් කෙලෙසුන් නසා මේ ජාතියේදී ම රහත් ව නිවන් දක්නාහ. එසේ උත්සාහ කරන පින්වතුන්ට මේ ජාතියේදී රහත් වන්නට නුපුළුවන් වුයේ ද, ඒ උත්සාහය නිෂ්ඵල නො වන්නේ ය. එය පසු ජාතියක දී අර්හත්වය ලැබීමේ පාරමිතාව වන්නේ ය.

රහත් වීමට බලාපොරොත්තු වන පින්වතුන් විසින් අනාගත භවයන් ගැන, අනාගත බුදු සස්නක් ගැන බලාපොරොත්තු නොවී, මේ ජාතියේ දී ම රහත්වීමේ බලාපොරොත්තුවෙන් උත්සාහ කළ යුතු ය. පැළවීමට සෑහෙන තරමට මෝරා ඇති බීජය වුව ද ජලය නො ලද හොත් නො පැළ වී දිරා යන්නාක් මෙන් මේ ජාතියේ දී උත්සාහ කළ හොත් රහත් වීමට සෑහෙන පමණට අතීත පාරමිතාව ඇත්තෝ ද උත්සාහ නො කිරීම නිසා රහත් නො වෙති.

වර්තමාන භවයේ දී රහත් වීමට උත්සාහ කිරීමට චිත්ත ශක්තියක් නැති, අනාගතයේදී රහත් වීමට බලාපොරොත්තු වන පින්වතුන් විසින් ද කවදා හෝ එය සිදු කර ගත හැකි වනු සඳහා ඒ බෝධියට නිසි පාරමිතා කුශල් කළ යුතු ය. එය කළ හැකි වීමට පාරමිතා පිළිබඳ දැනුම ඇති කර ගත යුතුය. මේ පොත කියවීමෙන් පාරමිතා ගැන පිරිසිදු දැනීමක් ඇතිකර ගත හැකි ය.

පාරමිතාවන් විස්තර කර ඇති සිංහල පොත් බොහෝ ඇත්තේ ය. එහෙත් ඒවා සම්පාදනය කර තිබෙන්නේ සම්‍යක් සම්බෝධි පාරමිතාව විස්තර කිරීම් වශයෙනි. සම්‍යක් සම්බෝධි පාරමිතාව සම්පූර්ණ කර බුදු වීමට සමත් අය ලෝකයෙහි සුලභ නැත. බොහෝ දෙනකුන් නිවන් දකින්නේ ද, නිවන් දක්නට බලාපොරොත්තු වන්නේ ද ශ්‍රාවක බෝධියෙනි. එබැවින් බෝධිත්‍රය පිළිබඳ වූ ම පාරමිතාව විස්තර කිරීම් වශයෙන් මේ ග්‍රන්ථය සම්පාදනය කෙළෙමු.

මෙය සම්පාදනය කිරීමේ දී කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි කරුණු විස්තර කිරීමට ද අපි හැකි පමණ උත්සාහ ගතිමු. අන් පාරමිතා පොත්වල ඇති, පාඨකයන්ගේ වෙහෙසට හේතු වන, වඩා ප්‍රයෝජනයක් නැති කරුණු මෙයට ඇතුළු නො කෙළෙමු. පොත මහත් කිරීමට නිෂ්ඵල දේ මෙයට ඇතුළු කොට ද නැත. අප නිතර ම උත්සාහ ගත්තේ පොත හැකිතාක් කුඩා කිරීමට ය. මෙහි තැනින් තැන ඉතා ප්‍රයෝජනවත් ධර්ම විනිශ්චයන් ඇත්තේ ය. මෛත්‍රී පාරමිතා කථාවේ දැක්වෙන මෛත්‍රී භාවනා විස්තරය ඉන් එකකි.

මෛත්‍රී භාවනාව කරන අය රටේ බොහෝ ඇතත් එය ගැන මනා දැනුමක් ඇති අය උගතුන් අතර ද සුලභ නැත. මෛත්‍රිය බුද්ධාගමයේ මූලික ධර්මයෙකි. එබැවින් එය නැවත නැවත කියවා හොඳින් තේරුම් ගන්නා ලෙසත්, එය තේරුම් කර ගෙන ඵලදායක වන පරිදි මෛත්‍රී භාවනාව තම තමන් විසින් කරන් ලෙසත්, අන්‍යයන්ටත් එය කියා දී මෛත්‍රී භාවනාව පුරුදු කරවන ලෙසත්, මෙය කියවන පින්වතුන් ගෙන් විශේෂයෙන් ඉල්ලමු.

(පඤ්ච ශීලය හා ආජීවාෂ්ටමක ශීලය පිළිබඳ පසු කාලයේදී මා අවබෝධ කරගත් කරුණු ඇතුළත් ලිපියක් ද මෙම මුද්‍රණයෙහි පල කර ඇත.)

මෙයට - ශාසනස්ථිතිකාමී,

රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර

2485 (1949) නොවැම්බර් මස 18 වෙනි දින

පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ දී ය.