රහතුන් හෙළා දැක රඟ දක්වා ජීවත් වන්නා වූ අඹුසැමි යුවලක ගේ කථාව

පෙර අතීතයේ කාශ්‍යප බුදු රජුන් ගේ රන් චෛත්‍යය කරන කාලයේ බරණැස් නුවරවාසී බොහෝ කුල පුත්‍රයෝ චෛත්‍යයේ වැඩ කිරීම සඳහා බොහෝ කෑ යුතු, බුදිය යුතු ආහාරත් ගෙන චෛත්‍යය ස්ථානයට යන අතර මඟදී එක් රහතන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වඩිනවා දැක, ඒ පිරිස අතරේ සිටියා වූ එක් කුල දියණියක් තම ස්වාමියාත් සමඟ කතාකොට ඒ මහ රහතන් වහන්සේට දානය පූජා කොට ඔබ වහන්සේ අවබෝධ කරගත් ධර්මය අවබෝධ කර ගැනීමට අපිත් භාග්‍යවන්තයෝ වෙත්වායි ප්‍රාර්ථනා කළහ. ඒ මොහොතේ මහ රහතන් වහන්සේට මේ දෙදෙනා ගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වන බව දැක මඳ සිනාවක් පහල විය. එසේ සිනහසීම දුටු අර යුවතිය තම ස්වාමියාට “ස්වාමීනි අපේ ආර්යන් වහන්සේ නැට්ටුක්කාරයෙක් මෙන් සිනාසෙන්නේ යැ යි” කී අවස්ථාවේ මෙය අනුමත කරමින් තම ස්වාමියාද එහෙම වෙන්න ඇතැයි කියා දෙදෙනාම යන්නට ගිය හ.

මොවුන් දිවි ඇතිතාක් වාසය කොට දෙව්ලොව ඉපිද එයින් චුතව ඒ කාන්තාව අප බුදුන් කාලයේ නැට්ටුක්කාර නිවසක ඉපදුණා ය. එම තරුණයාද රජගහ නුවර සිටු ගෙදරක උපන්නේ ය. මෙසේ කාලයා ගේ ඇවෑමෙන් අර නාට්‍යය රඟ දක්වන්නෝ ද තම දියණිය ද එම නාට්‍ය රංගන දැක්වීමෙහි හුරු පුරුදුකොට තම දියණියත් සමග ගම් නියම්ගම්වල රඟ දක්වමින් රජගහ නුවරට පැමිණ රජු ඇතුළු ජනතාවට නාට්‍ය රංගන (සර්කස්) දක්වන්නට විය. මුලින් කී සිටු පුත්‍රයා ද මේ රංගන බලමින් අර නැට්ටුක්කාර තරුණිය උණ ගසක් මත නැගී නොයෙක් ආකාරයේ නැටුම් ගී කීම් ආදිය කරනවා දැක පූර්වේ තිබූ සෙනෙහස නිසාදෝ ඇය කෙරෙහි ආදරයක් ඇතිකර ගත්තේ ය. පසුව තම දෙමව්පියන් ගේ අකමැත්ත පසෙකලා ආයාචනා කරද්දී ම, ඒ තරුණිය කෙරෙහි බැඳිමෙන් ඒ රඟ දක්වන්නන් සමඟ ඔවුන් ගේ බඩු බාහිරාදිය උසුලමින් දාසයෙක් මෙන් තරුණිය වෙනුවෙන් මඟට බැස්සේ ය. එසේ නමුත් ප්‍රේමය ආදරය කියන දෙය සිතුවිල්ලක් අස්ථීර දෙයක් බව පෙන්වමින් ස්ත්‍රීන්ට වසඟ වීමෙන් ඇයලා පිරිමි හෙලා දකින්නේ ය යන පඬි වදන සනාථ කරමින් එදා ඒ තරුණයාට කිසි ශිල්පයක් නොදන්නෙක්, අනුන්ගේ බඩු බාහිරාදිය උසුලන්නෙක් කියමින් අහන්නට ලැබුණු නින්දා බස් නිසා කලකිරුණේ ය.

පසුව ඇය ගේ මානය, ශිල්ප දත් නිසා බව දැන ඇයගේ පියාගෙන් ඒ රංග ශිල්පය ඉගෙන මහජනතාවට ශිල්ප දක්වමින් ගම් නියම්ගම් රාජධානිවල සැරිසරමින් රජගහ නුවරට ද පැමිණියේ ය. එහිදී මහජනයා මැද රියන් 60ක් උස උණ ගසක් මත නැගී නොයෙක් ආකාරයේ රංගන (සර්කස්) දක්වන මොහොතේ බුදු කරුණා ඇසට අසු වූ සිටු පුතුට පිහිට වීමට බුදුරදුන් මහා සඟ පිරිසද සමඟ එහි වැඩිය හ.

එහි වැඩම කොට ජනතාව තමන් වහන්සේ වෙත අවනත කර, එයින් අමනාප වූ රංගන තරුණයා මුගලන් තෙරුන් ලවා උත්සාහවත් කොට සංසාරික අනේක දුක් සාගරයෙන් ගොඩ ගනිමින් ඔහුට දහම් දේශනාකොට වදාළ හ. පෙර පින් ඇති නළුවෙක් වූ උග්ගසේන සිටු කුමාරයා උණගස මත්තෙහි සිටිමින් ම සිව්පිළිසිඹියා සහිත රහත්භාවයට පැමිණ නිවන් අවබෝධ කළේ ය.

බලන්න කාරුණික පින්වතුනි, පින්වතියනි එදා මහ රහතන් වහන්සේ නමකට නැට්ටුක්කාරයෙක් කියා ඒ කාන්තාව, රඟ දක්වා ජීවත් වන කුලයක ඉපදුණා ය. එය අනුමත කල පුරුෂයා ද සිටු කුලයක ඉපදුණත් පසුව නැට්ටුවන් සමඟ හැසිරෙන්නට සිදු විය. එදා මහ රහතන් වහන්සේට දන් දී නිවන් ප්‍රාර්ථනා කල බැවින් ඒ රඟ දැක්වූ තරුණිය ද පසු කලෙක පැවිදි වී නිවන් අවබෝධ කළා ය.