මෑ නමින් ඉසිදාසිය විය. අවන්ති රට සිටුතුමා ගේ එකම දුව විය. තම තත්වයට ගැලපෙන සිටු පවුලක සිටු පුත්‍රයෙකු හා සරණ ගියා ය. ඈ අනලසව පණ්ඩිතව උත්සහවන්තව දාසියක් මෙන් සියළු කටයුතු තම ස්වාමියාට කර දුන් නමුත් නිරන්තරයෙන් ම ඒ සිටු පුත්‍රයා ඇයට බැණ වදින්නේ ය. අවසානයේ ඔහු විසින් ඇයව මාපියන් වෙත පිටත් කරන ලදි. ඉසිදාසිය ගේ පියා ඇයව නැවත මධ්‍යම පාන්තික සිටුවරයෙකුට සරණ පාවා දුන්නේ ය. ඒ සිටු පුත්‍රයාට ද තම ජීවිතය මෙන් ආදරය කළේ ද, සෙනහස දැක්වුව ද මැයගේ පෙර කර්මය නිසා ඔහුට ද එපා විය. ඔහු ද මෙතුමිය දෙමව්පියන් වෙත යැව්වේ ය.
පසුව සිටු පියා පාරේ ඉඳුල් කමින් යන හිඟන්නෙකු දැක ඔහු තම දුවට ස්වාමි කොට දී ඒ සිටු මැදුරේ ම නැවැත්වි ය. මහා පුදුමයකි, අහෝ කර්මයේ ඇති බලවත්ක ම නම් මැය ඔහුට ද ආදරයෙන් සෙනෙහසින් මවක් මෙන් ද සයනෙහි වෙසඟනක් මෙන් ද කටයුතු කල නමුදු මේ හිඟන මිනිසාට ද ඇය එපා වී සිටු මැදුරෙන් බැහැර වී යන්නට විය. අහෝ මේ අකුසල කර්මයන්ට නින්දා වේවා! පසුව ඈ මහණ වීමට හෝ සිය දිවි නසා ගැනීමට තීරණය කළා ය. පෙර පින් ඇති ඇය මහණ වී දින හතකින් රහත් වී ත්‍රි විද්‍යා ලාභී වූවා ය. මේ රහත් මෙහෙණින් වහන්සේ තමාගේ පූර්ව කර්මය බලා මෙසේ කීවා ය. ඇය පෙර ඒරකච්ච නුවර මහත් ධන ඇති රන්කරුවෙක්ව සිටිය දී තරුණ මඳයෙන් මත්ව පරදාර සේවනයේ යෙදී දිගු කලක් නිරා දුක් විඳ ඉන් මිඳී වැඳිරියක කුස පිළිසිඳ ගෙන ඉපදුන කල්හි නායක වඳුරා මේ කුඩා වඳුරාගේ පුරුෂ ලකුණ විනාශ කළේ ය. මෙයද පරදාර සේවනයේ දුක් විපාකයකි. පසුව මියගොස් අන්ධ වූ කුදු වූ එළදෙනක කුස පිළිසිඳ බිහිවූ අතර එහිදී ද බීජෝද්ධාරණය කරන ලදි. තව ද පුරුෂ නිමිත්ත ප්‍රදේශයේ පණුවන් ගසා අවුරුදු 12 ක් මහත් සේ දුක් විඳින්නට විය. මෙය ද පරදාර සේවනයේ විපාකයකි.
පසුව අන්ධ වී මහත් දුක් විඳ මැරී දාසියක කුස නපුංසකයෙක්ව ඉපදුණි. පසුව මැරී දිළිඳු වූ අසරණ පවුලක උපන්නා ය. ගිරිදාස නම් ගැල් අයිති තරුණයෙක් හා විවාහ වූ අතර ඔහුට තවත් බිරිඳක් ද විය. එබැවින් මේ දිළිදු කත ඒ බිරිඳ කෙරෙහි ස්වාමි පුත්‍රයා බිඳවා තමා ගේ වසඟයේ ම පවත්වා ගැනීමට විද්වේෂණ කර්මය කළා ය.
(ස්වාමියට ඒ බිරිඳ පෙනෙන විට අතිශයින් කිපෙන සේ කරන කටයුත්තකි). ඒ කළ පහත් අකුසලය හේතුවෙන් මේ දිවියේදී ඈ තම ස්වාමියාට කොපමණ ආදරය කලත්, සෙනෙහස දැක්වුවත්, දාසියක් මෙන් සියළු වැඩපළ කළත් හොඳක් නම් අසන්නට නො ලැබුණිය. ඈ සියළුම ස්වාමි පුත්‍රයන්ට එපා වූහ. පාරේ ඉඳුල්කමින් ගිය හිඟන මිනිසාට ද එපා විය. එබැවින් සත්පුරුෂයනි, කර්මයේ ඇති බරපතලක ම තේරුම් ගෙන අතිශයින් ම ප්‍රවේශමින් අකුසල් නො කොට ජීවත් වෙත්වා.
(ථේරී ගාථා වත්ථාලීස නිපාතය - ඉසිදාසි ථේරිය)