මෙතුමිය කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ පුරාණ දුතිකාව වූ භද්‍ර කාපිලානිය වේ. මේ පශ්චිම දිවියේ නොව පෙර එක් ජීවිතයක ඇයට විපාක දුන් කර්මයක් පෙන්වා දී ඇත. මෙතුමිය තරුණියක්ව, විවාහ වී සිටිය දී ස්වාමි පුරුෂයාට වෙන්කොට තබන ලද ආහාර කොටස නිවසට වැඩි පසේ බුදුන් වහන්සේ නමකට ස්වාමි පුත්‍රයා ගේ නැගණිය විසින් පූජා කරන්නට යෙදුනා. ස්වාමි පුත්‍රයා එයට සතුටු නො වේ යැයි සිතා, ඔහු කෙරෙහි ඇති බලවත් ආදරය නිසා පසේබුදු හිමිගේ පාත්‍රයෙන් ඒ දන් කොටස නැවත ගෙන තම ස්වාමියාට පිළිගැන්වීය.
එහිදී ඔහු ඒ දන නැවත පසේබුදු හිමියන්ට පිදූ හෙයින් මෙයට තරහගත් මෙතුමිය පසේබුදු හිමි ගේ පාත්‍රයෙ හි තිබූ දානය විසිකොට පාත්‍රයට මඩ පුරවා දුන්නා ය. ස්වාමියා ගේ නැගණිය දාන පාත්‍රය දෙන විට ද, තමා මේ මඩ පිරවූ පාත්‍රය දෙන විටද, ඒ පසේබුදු හිමි ගේ මුහුණේ වෙනසක් නො වුණු බැවින් මෙය දුටු ඇය කම්පා වී සමාවගෙන පාත්‍රය නැවත සුවඳ දියෙන් සෝදවා ඉතා මියුරු දානයක් පූජා කළා ය. නමුදු කළ කර්ම විපාක ලෙස පසු භවයකදී එතුමිය ගේ මුවින් දුඟද වහනය වන්නට වූ බව ධර්මයෙහි සඳහන් වේ.