බුදුරජුන් ජීවමාන කාලයෙහි ගයා ප්‍රදේශයෙ හි සුචිලෝම නම් කර්කශ වූ ඉදිකටු බඳු ලෝමගස් ඇති යක්ෂයෙක් විය. දිනක් තථාගතයන් වහන්සේ ඔහුගේ භවනට වැඩ ඔහු දමනය කොට සෝවාන් ඵලයෙහි පිහිට වූ සේක. පෙර පිරූ පාරමී ඇති මොහු මෙලෙස ඉදිකටු බඳු ලොම් ඇති යක්ෂයෙක් වීමට හේතුව මෙසේ වදාළ සේක. මොහු කාශ්‍යප සම්බුදු සසුනෙහි භික්ෂුවක්ව සිටිය දී දිනක් දිගු මාර්ගයක පැමිණ, බොහෝ දහඩිය දා තිබිය දී ඇඟ පිරිසිදු කර නො ගෙන ඇඳට තම ඇතිරිල්ලක් ද නො ගෙන සාංඝික ඇතිරිල්ල මත අනාදරව ඇල විය.
වසර විසි දහසක් පැවිදි දම් පිරුවත් මේ වරද මතු වී දහඩිය එන රෝම කූප ඉදිකටු බඳු වූ යක්ෂයෙක් වී ඉපදුනි. ඒ දිවියේ ද සසර දී පිරූ පාරමී ඇති බැවින් මගඵල නිවන් සුවය ලැබූ සේක. මේ සඳහන් කළේ සාරත්ථප්පකාසිනී නම් සංයුක්ත නිකායට්ඨ කථාවේ 233 පිටුව අනුව ය. නමුත් සුත්ත නිපාතට්ඨ කථාවේ 271 පිටුවේ මොහු පෙර උපාසකයෙකුව සිටිය දී බණ ඇසීමට ගොස් සඟ සතු ඇතිරිලි කිළිටි කළ පවින් ඉහත ආත්මය ලැබූ බව පෙන්වා ඇත.