මේ ස්වාමීන් වහන්සේට මහණකම එපා වී සියදිවි හානි කරගන්නට ද සිතිණේ ය. ඒ සඳහා වෑයම් කළේ ය. සර්පයෙකු ලවා දෂ්ඨ කරවාගෙන මැරෙන්නට උත්සහ ගෙන නො හැකි වූ විට දැලි පිහියක් ගෙන කැලේට ගොස් ගෙල සිඳ ගැනීමට තැත් කළේ ය. ඒ මොහොතේ දී සීලය මෙනෙහි වී පිරිසිදු සීලයක් රැක තිබුණු බැවින් සතුට ඉපදී එය විදර්ශනාවට නංවා රහත් විය. මේ රහත් වීමට පින ඇති හිමි බුදු සසුනේ ලද පැවිදි ජීවිතය කලකිරීමට හේතුව තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක. මේ හිමියෝ කාශ්‍යප බුදු සසුනේ පැවිදි වී සිටිය දී එක හිමි නමක් සිවුරු හැර යන්න හදන විට ගෙහිගෙයි දෝෂ කියා වළක්වන ලදි. පසුව එම හිමි සිවුරු හැරියේ නම් මේ සියළු පිරිකර ඔබ වහන්සේට දී යෑමට සිතුවේ යැ යි කී විට ඒ සිවුර පිරිකර ගැන ආශාවෙන් නැවතත් පැවිදි ජීවිතයේ දුක කියා ගිහි අය විඳින සැප වර්ණනා කළේ ය. ඒ භික්ෂුව මොහු පිරිකර ආසාවෙන් එසේ කියන බව දැන සිවුරු හැර නො ගියේ ය. නමුදු උන් වහන්සේ ලාමක වූ දූෂිත පහත් සිතින් කළ කර්මයට දුක් විපාක දී මේ නිවන් දකින ආත්මභාවයේ දී ද මහණ ජීවිතය එපා වූ බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
(ධම්ම පදට්ඨ කථා 417 පිට)