තව ද පඤ්ච මච්ජරිය (මසුරු) ධර්මය අතුරින් ආවාස මච්ජරිය (තමා වාසය කරන තැන කෙරෙහි මසුරු වීම) හේතුවෙන් යක්ෂයෙක් හෝ ප්‍රේතයෙක් හෝ වී එම ආවාසයා ගේ ම කසල හිසින් ගෙන හැසිරෙන්නෙක් වේ.
කුල මච්ජරිය (කුලය කෙරෙහි මසුරුකම) හේතුවෙන් ඒ කුලයේ මිනිසුන් විසින් අන්‍යයන්ට දානමානාදිය දෙන කල්හි දැක “ ඒකාන්තයෙන් ම දැන් මේ කුලය මා කෙරෙහි බිඳෙන්නේ යැ යි ” සිතනුයේ ලේ හෝ මුඛයෙන් නික්මෙත්. කුසවිරේකයක් හෝ වෙයි. බඩවැල හෝ කැඩි කැඩී නික්මෙත්. ලාභ මසුරු කමින් සංඝයා ගේ හෝ ගණයා ගේ සන්තක ලාභයෙ හි මසුරු බව කොට, පුද්ගලික පරිභෝගයක් මෙන් පරිභෝග කොට යක්ෂයෙක් වී හෝ ප්‍රේතයෙක් වී හෝ මහා පිඹුරෙක් වී උපදිත්.
ශරීර වර්ණය හෝ ගුණ වර්ණය හෝ පරියාප්ති ධර්මය පිළිබඳව හෝ මසුරු වී තමා ගේ ම ගුණ කියයි. අන්‍යයන් ගේ ගුණ කියන කල්හි ඔවුන් ගේ කුමන ගුණයක් දැ යි කියන යම් යම් දෝෂ කියෙනුයේ ද, පරියාප්ති ධර්මය ද කිසිවක් (ඇසුවොත්) කියා නොදන්නේ වේ ද හෙතෙම දුර්වර්ණ වී ද දිශා විදිශා ආදී ව්‍යවහාර මාත්‍රය පවා නො දන්නා ජාතිවලම උපදියි.
තව ද ආවාස මසුරු බව හේතුවෙන් ලෝහ ගෙයෙහි පැසෙන්නට වේ. කුලය කෙරෙහි මසුරු බව හේතුවෙන් අල්ප ලාභ ඇත්තෙක් වේ. ලාභය කෙරෙහි මසුරු බව හේතුවෙන් ගූථ නිරයෙහි උපදියි.
වණ්ණ මච්ජරිය හේතුවෙන් භවයෙහි උපන්නාහුට වර්ණයක් නම් නො වේ. ධර්ම මච්ජරිය හේතුවෙන් කුක්කුළ නිරයෙහි උපදියි යැ යි අත්ථසාලින නම් ධර්ම සංඝණිප්පකරනට්ඨ කථාවේ 317 පිටෙහි දක්වා ඇත.
පව්කළ සත්වයෝ ඉහත කී සතර අපායෙහි ඉපිද අපමණ දුක් විඳ යම් හෙයකින් පසු කලෙක මිනිසත් බවත් ලද හොත් මෙහිදී ද නිවන් දැක පිරිනිවන් පාන තුරුම අඳුරු විපාක ගෙන දෙනු ලැබේ. මනු ලොවදී එසේ කර්ම විපාක දෙන්නට යෙදුන කථා කිහිපයක් මෙහි දක්වන්නෙමි. මේවා හොඳින් දැන ඉගෙන සියළු සත්වයෝම පාපයෙන් මිදෙත්වා. කුසල ධර්මයන්හි අප්‍රමාද වෙත්වා.