පව්කළ ගැහැණියක ගේ දුක්බර කථාව (මත්තා ප්‍රේත වස්තුව)
භූත යන පුතුගේ පියාට තිස්සා හා මත්තා කියා බිරිඳන් දෙදෙනෙක් වූහ. පසු කලෙක නරක ගති පැවතුම් තිබූ මත්තා මැරී ප්‍රේතියක් ව ඉපිද දිනක් භූතගේ පියා නිවසේ නැති අතරේ නිවස අසලට ආවා ය. මේ ප්‍රේතිය දුටු තිස්සාව ප්‍රේතියගෙන් තොප කවරෙක් දැ යි ප්‍රශ්න කළා ය. එහි දී ප්‍රේතිය තමා මේ නිවසේ සිටි මත්තා බව කීවා ය. කුමන පවක් කොට ප්‍රේත ලෝකයේ උපන්නේ දැ යි ඇසූ විට ප්‍රේතිය මෙසේ කිවා ය.
මම ක්‍රෝධ කරන, පරුෂ බස් කියන, ඊෂ්‍ය_ා කරන මසුරු සිත් ඇති කෛරාටික ගති ඇත්තියක් වීමි. මම ඒ නපුරු වචන කථා කොට මෙලොවින් ප්‍රේත ලෝකයට ගියෙමි යැ යි ප්‍රේතිය කී බව අර්ථ දත යුතු ය.
ඉක්බිති තිස්සාව විසින් කවර පාප කර්මයක් හේතුවෙන් පසින් ගැවසුනු සිරුරක් ඇත්තියක් වූයේ දැ යි අසන ලදී. එහිදී තමා මනුලොව දී, ලස්සන ඇඳුමින් සැරසුන තිස්සාව හා ස්වාමි පුත්‍රයා කථා කරමින් සිටිනා දැක ඊර්‍ෂ්‍යාවෙන් මැඩුනු සිත් ඇත්තී කෝපයෙන් පස් ගෙන එයින් තිස්සාවට ගැසූ පවින් මෙසේ වූ බව කීවා ය.
ඉක්බිතිව තිස්සාව විසින් ප්‍රේතියගෙන් කවර කර්මයක් හේතුවෙන් නුඹ කැසීම් රෝගයකින් පෙලෙන්නී දැ යි ඇසී ය. එහිදී ප්‍රේතිය මනුලොව මත්තා නමින් සිටිය දී කසඹිලියා ගෙඩි ගෙනවිත් තිස්සා (තම ස්වාමියාගේ අනෙක් භාර්යාව) නිදන යහනේ ඇතුරුවා වූ පාප කර්ම බලයෙන් මෙසේ වූ බව කීවා ය. ඉක්බිති තිස්සාව ප්‍රේතියගෙන් නුඹ නග්නව ඉපදීමට හේතුව කුමක් දැ යි අසනු ලැබුවා ය. පෙර මත්තා නමින් මනුලොව මිනිස් කතක්ව සිටිය දී වස්ත්‍රයක් සොරකම් කල පවින් මෙසේ නග්නව උපන්නේ යැ යි ප්‍රේතිය කිීවා ය.
ඉක්බිති තිස්සාව ප්‍රේතියගෙන් කුමක් හෙයින් (තෝ) අසූචි ගඳ හමන්නියක් වූවා දැ යි ඇසුවා ය. පෙර ජීවිතයේ දී ස්වාමි පුත්‍රයා ගේ අනික් බිරිඳ ගේ සුවඳ වර්ග ද, මල් මාලාවක් ද අගනා විලවුන් ද අරගෙන අසූචි වළකට දැමූ පවින් මෙසේ දුගඳ හමන්නියක් වූ බව ප්‍රේතිය කීවා ය. පසුව තිස්සාව විසින් භික්ෂූන් අට නමක් වඩම්මා දන් දී ඇය ප්‍රේත දුකින් නිදහස්කර දිව්‍ය සම්පත් ලඟාකර දුන්නා ය.
එබැවින් පින්වතුනි, මනුලොව ජීවත් වන ඔබ දුකට හේතුවන කිළිටි කර්ම නො කොට පිරිසිදු ජීවිතයක් ගත කිරීමට සිතට ගත යුතු ය.
රන්වන් ගතක් හා තිරිසන් මුවක් ලද සූඛර මුඛ ප්‍රේත වස්තුව
නාරද හිමි රන්වන් ගතක් හා ඌරු කටක් ඇති ප්‍රේතයෙක් දක්නා ලදී. ඒ ප්‍රේතයාගේ පූර්ව කර්මය විමසා බැලු විට හෙතෙම කාශ්‍යප බුදු සසුනේ භික්ෂුවක්ව සිටිය දී කායික සංවරය ආරක්ෂා කළ පිනින් රන්වන් පාට සිරුරක් ඇත්තෙක් විය. වචනයෙන් භික්ෂූන්ට ආක්‍රෝෂ පරිභව කළ පවින් නිරයෙහි බුද්ධාන්තරයක් ම පැසී දැන් ඌරු කටක් ඇති ප්‍රේතයෙක්ව ඉපිද ඇති බව ප්‍රේතයා විසින් ම කිවේ ය.
(ප්‍රේ.ව අ. 8 පිට)
කේළාම් කීමේ බරපතල කම
නාරද හිමි දුටු පූතිමුඛ ප්‍රේතයා ගේ ශරීරය දෙවියෙකු ගේ බඳු පැහැ ඇත්තේ ය. නමුදු දුගඳ හමන මුඛය පණුවෝ පිරී සිදුරු කොට කති. මෙසේ වීමට හේතුව මොහු කාශ්‍යප බුදු සසුනේ භික්ෂුවක් වී සිටිය දී කය සංවර කරගත් අතර ආවාසය ගැන ලෝභ උපදවා කේළාම් කියා එහි සිටි භික්ෂූන් දෙනම භේද කොට යවන ලදී. ඒ පවින් නොබෝ කලකින්ම ගිලන්ව මැරී නිරයේ ඉපදී බුද්ධාන්තරයක් ම පැසී දැන් ප්‍රේතව ඉපිද දුක් විඳින බව අටුවාවේ දක්වා ඇත.
(ප්‍රේ. ව අ. 10 පිට)
බොරු කියා දිවුරා ගැලවුන උපාසිකාව
සැවතට ආසන්න ගමක සිටිය දී භික්ෂූන් අටනමක් දුටු පඤ්ච පුත්‍ර ඛාදක ප්‍රේතියගේ විස්තරය මෙසේ ය. ඇය නග්නය, විරූප වූ පිළිකුල් රූපයෙන් යුක්ත ය, සිරුරින් කුණු ගඳ හමයි, හාත් පස මැස්සන්ගෙන් පිරුණු සිරුරු ඇත්තී ය. ඇය උදේ කාලයේ දරුවන් පස් දෙනෙක් වඳා සාදුකින් පෙලෙන බැවින් වැඳු පුතුන් පස් දෙනා ම කනු ලැබේ. සවස ද එසේම කරනු ලැබේ. හේතුව ඇය පෙර සැමියා ගේ අනෙක් බිරිඳ ගේ ගැබ්හෙලා එය ඇසූ කල එසේ නො කළ බව කියා, කළේ නම් පෙර කී දුක් විඳින්නියක් වේවා යැ යි බොරුවට දිවුරුවා ය. එබැවින් මෙසේ වූ බව දක්වා ඇත. මෙසේ ම අන් ස්ත්‍රියක ගේ ගැබ්හෙලා එසේ කළේ නැත යැ යි බොරු කියා දිවුරා උදේ සවස දරුවන් පස් දෙනා බැගින් බිහිකොට, ඒ තම දරුවන් ම අනුභව කරන ප්‍රේතියක් බොහෝ භික්ෂූන් විසින් දක්නා බව ද සඳහන් වේ.
(ප්‍රේ. ව පාලි 1-6 , 1-7 වස්තූන්)
සැමියාට කළ ශාපය බිරිඳට විඳවන්න වූ කථාව
එක් භික්ෂුවක් කැලේ විවේකයෙන් සිටිය දී නින්ද ගොස් මොහු සමඟ සිටි අනිත් පිරිස කථා නො කොට අමතක වී ගිය හ. සවස අවදි වූ පසු වනයේ එක් දෙවියෙක් මිනිස් වෙසින් විත් උපස්ථාන කලා. ඒ අතර අසූචි හා මූත්‍රා ද ලේ සැරව ද අනුභව කරන ප්‍රේතියක් විත් දිව්‍ය පුත්‍රයාගෙන්, හිමියනි මට ආහාර දෙන්න, වස්ත්‍ර දෙන්න යැ යි ඉල්ලයි. ඇයට දෙන දුහුල් දිව්‍ය සළු ද ලෝහ බවට පත්වෙත්. මෙය දුටු භික්ෂුව දෙව්පුත්ගෙන් විස්තර ඇසී ය. ඇය මනුලොව දී තමාගේ බිරිඳ බවද තමා දන්දෙන විට ඇය ලෝභයෙන් මසුරු බවින් මෙසේ ආක්‍රෝෂ කළ බව ද කිවේ ය. එනම් “මේ දානය තොපට පරලොවදී අසූචි ද මූත්‍ර ද සැරව ද වේවා, මේ දෙන වස්ත්‍ර තොපට ලෝහ වස්ත්‍ර වේවා” කියා ය. තමා දන් දී දෙව් විමනක් ලද බවද බිරිඳ දන් දෙන ඔහුට මසුරුව ශාප කොට මෙසේ ප්‍රේතියක් වී ඉපදී ඇති බවද දෙව්පුත් පැවසුවේ ය.
(මහාපේසකාර ප්‍රේත වස්තූව)
යහපත් දරුවාට ශාප කළ අයහපත් මවට වූ විපාකය
දිනක් කංඛාරේවත ස්වාමීන් වහන්සේ ගංඟා නදී තීරයේ සිටිය දී ප්‍රේතියක් විත් උන්වහන්සේගෙන් බීමට පැන් ඉල්ලී ය. සිහිල් දිය ඇති මේ ගඟ මෙහි තිබෙද් දී කුමක් නිසා පැන් ඉල්ලන්නී දැ යි ඇසූ විට තමා ඒ පැන් ගන්නා විට ඒ ගඟ දිය වතුර ලේ බවට පත් වන බව කීවා ය. ඊට හේතුව මැය මනුලොව ඉපදී සිටිය දී මැයගේ උත්තර නම් පුතු කච්චායන ස්වාමීන් වහන්සේට දන් දෙන විට මසුරු කමින් පෙළුණු මෑ පුතුට මෙසේ ශාප කලේ ය. “යම් සේ ඔබ මගේ අකමැත්තෙන් මෙසේ මහණුන්ට දන් දෙව් ද, මේ සියල්ලම ඔබට පරලොව දී ලේ වේවා” කියා ය. එහි විපාක ඇයට මෙසේ ප්‍රේතියක් වී ගෙවන්නට වූ බව දක්වා ඇත.
(උත්තර මාතු ප්‍රේත වස්තුව)
කූට වෙළෙන්දාට හා මව්පියන්ට පහර දුන්නන්ට වන විපාක
එක් ප්‍රේතයෙක් බොල් වී හිස විසුරුවා ගනී. එක් ප්‍රේතයෙක් මුඟුරෙන් සිය හිස බිඳගනි. එක් ප්‍රේතියක් සිය මස් ලේ අනුභව කරයි. එක් ප්‍රේතියක් අසූචි අනුභව කරයි. මෙය දුටු මුගලන් මහ රහතන් වහන්සේ අසූචි කන ප්‍රේතියගෙන් තොපි කුමන පව්කොට මෙසේ දුක් විඳින්නාහු දැ යි ඇසූ සේක.
පෙර කූට වෙළෙන්දෙක් හැල් වී (බොල්) රත් හැල් වී සමග මිශ්‍ර කොට හොර මිණුම් ක්‍රම ද ඇතිව වෙළදාම් කරමින් සිට කළුරිය කල පසු මේ පළමු ප්‍රේතයා වූ බව කීවා ය. මේ වෙළෙන්දා ගේ පුත් තෙමේ මව හිත මිතුරන්ට සංග්‍රහ නො කරන්නී ය කියා යෝග්‍ය හමක් ගෙන තම මවගේ හිසට පහර දුන්නේ ය. ඔහු කළුරිය කොට විත් මේ කියූ දෙවන ප්‍රේතයා විය. ඒ මවට ගැසූ පුතාගේ බිරිඳ හැම දෙනාටම ආහාර පිණිස තිබූ මස් හොරාට කා පසුව ඇසූ කල්හි තමා එසේ නො කෑ බව ද කියා ඉදින් “මා විසින් ඒ මස කෑවේ නම් භවයක් භවයක් පාසා තමාගේ පිටෙහි මස් සිඳගෙන කන්නියක් වේවා” යැ යි බොරුවට දිවුරා ශාප කළා ය. ඒ හේතුවෙන් ඇය සිය මස් ලේ අනුභව කරන තෙවෙනි ප්‍රේතිය විය. ඒ පුතාගෙන් ගුටි කෑ මව වූ මා යම් යම් දේ ඉල්ලා ගෙන ආ කල නැති බව කියා ඉදින් තියාගෙන නැති යැ යි කියන්නේ නම් උපනූපන් තැන අසූචි කන්නියක් ම වේවා යි කීවාය. ඒ හේතුවෙන් තමා කළුරිය කොට විත් මෙසේ අසූචි කන ප්‍රේතියක් වූ බව ඕ තොමෝ කිවා ය.
(ප්‍රේත වත්ථු අට්ඨ කථා-137 පිට)
දෙමහල්ලන් ගේ දුක්බර කථාව
සංකිච්ච හිමි උකටලී වී සිවුරු හැර යන්නට සිටි සාමණේර නමකට මේ ප්‍රේත පිරිස පෙන්වන ලදී. මුලින් ම ඇත් වාහනයකින් දිව්‍ය පුත්‍රයෙක් යති. දෙවැනිව අශ්ව වාහනයකින් දිව්‍ය පුත්‍රයෙක් යති. තෙවැනිව සිව්කාවකින් දෙවඟනක් යති. ඒ හැම පසුපස ප්‍රේතයෙක් හා ප්‍රේතියක් පරුෂ වචන කියමින් ඔවුනොවුන් ගේ ඇඟ විද ලේ සැරව බොමින් අතෘප්තිමත්ව යනු ලැබේ. ඒ ගමේ ඊට ටික දිනකට පෙර උපස්ථායක පවුලක් වැසි සුළඟට ගේ බිත්ති ඇද වැටී යට වී පස් දෙනෙක් මිය ගිය හ. එනම් දෙමාපියන් හා පුතුන් දෙදෙනා ද එකම දුව ද වේ. ඒ පෙර දන් දුන් පුතුන් දෙදෙනා දිව්‍ය පුත්‍රයන් වූහ. දුව තමා ලද කොටසින් අඩක් දී දෙවඟනක් වූවා ය. ඒ දෙමහල්ලෝ දන් දෙන දරුවන්ට ඒ දීම ගැන ආක්‍රෝෂ පරිභව කොට ප්‍රේතව උපන් බව පෙන්වා දෙන ලදි. මෙය ඇසූ සාමණේර හිමි සංවේග වී බවුන් වඩා රහත් විය.
(ප්‍රේත වත්ථුපාලි නාගා ප්‍රේත වස්තුව )
රෑට දෙව්සැප දවාලට අපාදුක (මිගලුද්දක ප්‍රේත වස්තුව)
මේ ප්‍රේතයාට රෑට දෙව්සැප ලැබේ. දවල්ට බොහෝ දුක් විඳින්නට සිදු වේ. හේතුව මොහු මුව වැද්දෙක්ව සිටිය දී එක් උපාසකතුමෙක් ගේ වචනය අසා රෑ දඩයම් කිරීමෙන් වැළකී සිට දවාලට එහි යෙදෙන්නේ ය. ඔහු කළුරිය කොට වේමානික ප්‍රේතයෙකු වී ඉපිද මෙසේ රෑට සැප ලැබෙන අතර දවාලට දුක් විඳින්නෙක් වූ බව දත යුතු ය.
වැරදි ලෙස විනිශ්චය කිරීමේ විපාක
බිම්සර රජු ගේ සේවයේ නියුතු එක් පුරුෂයෙක් එක් දිනක් රාත්‍රී කාලයේ පමණක් උපෝසථ ශීලය ආරක්ෂා කොට කළුරිය කල පසු ගොස් වේමානික ප්‍රේතයෙකු වී උපන්නේ ය. හෙතෙම අඩ රැයක් සිල් රැකී පිනින් මහත් සම්පත් ලැබුවේ ය. නමුදු මනුලොවදී කේළාම් කී බැවින් ද අල්ලස් ගෙන අධිකරණ විනිශ්චය නිවැරදි ලෙස සිදු නො කළ බැවින් ද තමාගේ ම පිටෙහි මස් තමා ම අනුභව කරන්නෙකු වූ බව ප්‍රේත වස්තු අට්ඨකථාවේ 150 පිටෙහි දැක්වේ.
බුදුන් පුදට ගෙන යන මල් සුවඳ වැළැක්වීමේ විපාක
තව ද රජගහ නුවර එක් ධනවත් පුරුෂයෙක් අප බුදුරජාණන් වහන්සේ ගේ සෑය පිදීමට තම බිරිඳ හා දුව ද ලේලිය ද ගෙන යන්න හැදූ මල් සුවඳ විලවුන් වැළැක් වූ පවින් කුණු වී දුඟද හමන පණුවන් පිරි මුහුණ බිඳගෙන කන අවි ආයුධ වලින් මුහුණ නිතර තුවාල කරගනු ලබන ප්‍රේතයෙකු වූ බව ධාතුවණ්ණක ප්‍රේත වස්තුවේ දැක්වේ.
අභිප්‍රේත වස්තුව
මේ ප්‍රේතයා ගේ හිස මිනිසෙකු ගේ වැනිය. කඳ නාගයෙකු ගේ වැනි ය. මුළු ඇඟම ගිනිගෙන නිතර විලාප කියමින් දුවයි. මෙය ගිජුකුළු පව්වේදී දුටු මුගලන් හිමි බුදුරජාණන් වහන්සේ හමුවී ඒ බව ප්‍රකාශ කොට ඔහුගේ පූර්ව කර්මය විචාළේ ය. බුදුරජාණන් වහන්සේ එය වදාළ සේක. පෙර මොහු පන්සලක් අසල කුඹුරක් ඇති ගොවියෙකි. ඉදින් බොහෝ මිනිසුන් කුඹුර මැඬගෙන පන්සලට එන බැවින්, මොහු මේ පන්සල නැත්නම් මගේ කුඹුර රැකේ යැ යි සිතා පන්සල ගිනිබත් කළේ ය. මේ පවින් අවීචියේ පැසී දැන් ප්‍රේතව ඉපදී දුක් විඳින්නේ යැ යි වදාළ සේක. එබැවින් සත්පුරුෂයෙනි පවට බිය වෙත්වා.
විහිළුවට කළ වරදින් ගෙනදුන් විපාකය
පෙර එක් වෙළෙන්දෙකු තම කඩපිල සමීපයේ ඇති පාර අසල එක් මඩවගුරක් මිනිස්සුන්ට පහසුවෙන් යන්න ලැබේවා යි සිතා, මැරී කල්ගිය ගොණුන් ගේ හිස් කබල් ගෙන්වා ගෙන එය ගොඩ කළේ ය. දිනක් තම බෑනා ගේ මිත්‍රයෙක් දියෙහි බැස නාන කල්හි ඔහුගේ වස්ත්‍ර ක්‍රීඩා පිණිස විහිළුවට සැඟ වූයේ ය. පසුව නැවත දෙන ලදී. මේ වෙළදාණන් ගේ බෑණා කළ වරදකට මොහු ගේ හිස ගසා දමන ලදී. මැරීගොස් භූමාටු දෙවියෙක් විය. පොදු පාරක් සෑදු පිනෙන් වේගයෙන් යා හැකි වාහනයක් ලැබුණි. ගුණවතුන්ගේ ගුණ වර්ණනා කළ කුසලයෙන් ශරීරයෙන් සුවඳ හමන්නේ ය. නමුදු කෙළි පිණිස වස්ත්‍රය සඟවා අනුන් වෙහෙස කළ අකුසලයෙන් නග්නව උපන් බව දත යුතු ය. එබැවින් සත්පුරුෂයෙනි, විහිළුවටවත් අනුන්ව වෙහෙස කිරීමක නො කෙරෙත්වා.
(අම්බ සක්ඛර ප්‍රේත වස්තුව ඇසුරිනි)
අධර්මවාදීන් හා එක් වී සිල්වතුන්ට පරිභව නො කරනු
පෙර ඊර්‍ෂ්‍යා කරන සුලු වූ කුල මසුරු බවින් යුත් පාපී භික්ෂුවක ගේ කීම අසා එක් සැදැහැවත් දායකයෙක් සිල්වත් භික්ෂූන්ට නින්දා කළේ ය. ඔහු මැරීගොස් ප්‍රේතයෙකු වී උපන්නේ ය. දිනක් වැසිකිළි වළකින් මතුවන මෙම ප්‍රේතයා දැක ඔහුගෙන් මෙසේ වීමට හේතුව ඇසූ විට භික්ෂූන්ට මෙය කියන ලදී. ඒ ලාමක භික්ෂුව දැන් කොහි දැ යි ඇසූ විට ඒ පාපී භික්ෂුව ද තමා ගේ මෙහෙකරුවෙක් වී ශ්‍රමණ ප්‍රේතයෙකු වී සිටින බව ද මා ඒ ශ්‍රමණ ප්‍රේතයා ගේ හිස උඩ සිටින බව ද කිවේ ය. තව ද ලාමක භික්ෂුව ගේ වචන පිළිගෙන සිල්වතුන්ට නින්දා කළ දායක ප්‍රේතයා මිනිසුන් ගේ අසූචි කා ජීවත් වන අතර දායකයා නො මඟට යැවූ ශ්‍රමණ ප්‍රේතයා ඒ දායක ප්‍රේතයා ගේ අසූචි කා ජීවත් වන්නේ ය. මේ පරිද්දෙන් ම පාපී භික්ෂුවක ගේ වචන අදහා සිල්වතුන්ට නිග්‍රහ කොට ප්‍රේතියක්ව ඉපදී ඒ පවිටු භික්ෂුව ද ශ්‍රමණ ප්‍රේතයෙක් වී ඉපදී ඒ ප්‍රේත දායිකාව හිස උඩ තබාගෙන ඇගේ අසූචි කා ජීවත් වන කථාවක් ද දක්නට ලැබේ.
එබැවින් සත්පුරුෂයෙනි, භික්ෂුවක් නමුදු ඔබට කෙනෙකු ගැන චෝදනාවක් කල පමණින් අදහා අනුන්ට දොස් නගා අපාගත නො වෙත්වා.
(ප්‍රේත වස්තු ප්‍රකරණයේ ගූථ ඛාදක, ගූථ ඛාදිකා ප්‍රේත වත්‍ථු)
බිම්බිසාර රජු ගේ 84000 ක් ඥාතීන් ප්‍රේතයෝ වීමට හේතුව
ඵුස්ස බුදු සමයේ දී ඒ ප්‍රේතයෝ දුප්පත් මිනිසුන් වී සිටි අතර ඔවුන් රජුට සේවය පිණිස රජ නිවසේ මහ සඟරුවනට දානය සකසන්නට යෙදිනි. මේ අතර ඔවුන් ගේ අසරණ දරුවන් ආහාර ඉල්ලා අඬන්නට වන්හ. මුල් කාලයේ සඟුන් වළදා අවසන් කල ඉතිරි වූ ආහාර දුන් නමුදු පසු කාලයේ මහ සඟරුවන සඳහා සකස් කරන භෝජනය මහ සඟරුවන වැළදීමට පෙර දරුවන්ට දුන් අතර පසුව සැක බිය අඩු වී ඔවුන් ද අනුභව කරමින් දාන ශාලාවට ද ගිනි තැබු හ. මෙයට සම්බන්ධ සියල්ලෝ ම නිරයෙහි ඉපිද දුක්විඳ ඉන් චුතව ප්‍රේතව උපන්නා හ. පසු කාලයක බිම්බිසාර රජු දානයක් දී පින් දී ඔවුන් සැපවත් කලා. බලන්න පින්වත්නි, බුද්ධාන්තර හතක් ම දුක් දුන් කර්මයක හැටි.
සත්පුරුෂයෙනි, තව දැක්විය යුතු බොහෝ කථා ඇතත් මෙහිලා කෙටි කරමි. මසුරු බව හේතුවෙන් ප්‍රේතව ඉපිද ඇති කථා බොහෝ ය. එය සමාජයේ කවුරුත් දන්නා කරුණක් බැවින් මෙහි ඇතුලත් නො කළෙමි. ප්‍රේත ලෝකයේ දුක් විඳ ඉන් චුත වී සමහරු අසුර ලෝකවල ඉපදේ. සමහරු තිරිසන් යෝනිවල ද ඉපදේ. අසුරයෝ ද කොටස් පහක් වේ.