නිමි රජු දුටු නිරයන් හා එහි යෑමට හේතුවන කර්ම

star_outline

අතීතයේ අප මහා බෝසතාණන් වහන්සේ නිමි මහ රජුව ඉපිද සිටියදී මාතලී දෙව්පුත් පැමිණ සක් දෙවිඳුගේ අණින් නිමි මහරජු වෛජයන්ත නම් රථයෙහි නංවා ගෙන දෙව්ලොව බලා යන්නට වුණා. ඒ යන ගමනේදී අපායේ දුක් විඳින සත්වයන් ද දෙව්ලොව දෙව් විමන්වල සැප විඳින සත්වයන් ද මාතලී නම් දිව්‍ය රථාචාර්යා විසින් නිමි මහ රජතුමාට පෙන්නුවේ ය.

ඒ අතර මුලින්ම පෙන් වූ යේ අපායේ දුක් විඳින සත්වයෝ ය. එම නිරයන් අතරින් ද මුලින්ම පෙන් වූ යේ වේතරණි නම් ඔසුපත් නරකය යි. කැකෑරෙමින් පැසෙන රත් වූ ගිනිසිළු බඳු පැහැ ඇති යා නොහැකි ලෝදියෙහි පැසෙන නිරි සතුන් දැක බියට තැති ගැනීමට පත් නිමි මහ රජතුමා කුමන පව්කම් කළවුන් වේතරණි නරකයෙහි වැටෙත් දැයි මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් ඇසුවේ ය. එවිට මාතලී දිව්‍ය පුත්‍රයා මෙසේ කීවේ ය.

මේ ලෝකයෙහි බැනීමෙන් හා අත්පා වලින් පහර දීමෙන් ද අක්‍රෝෂ පරිභව කිරීමෙන් ද දුබලයන්ට හිංසා කරන්නා වූ බලවත් හු ඒ පව් සාහසික ක්‍රියා හේතුවෙන් ඒකාන්තයෙන් ම වේතරණි නම් නරකයට පැමිණෙන්නේ යැ යි මාතලී දෙව්පුත් තෙමේ කීවේ ය.

ඉක්බිති මාතලී දෙව්පුත් වෙන නරකයක් කරා රථය පදවා එහි දුක් විඳින නිරි සතුන් නිමි රජතුමාට පෙන්වී ය. එහි ගව් තුනක් පමණ ශරීර ඇත්තා වූ නිරි සතුන් මහ ඇතුන් පමණ විශාල රතු වර්ණ හා කබර වර්ණ ඇති බල්ලන් විසින් එළවාගෙන ගොස් කෙණ්ඩා මාංසය හපා යම පොළොවේ පෙරලා ඇට පමණක් ඉතිරි වන සේ මස් ඉර ඉරා කනු ලැබේ. තව ද කරත්ත පමණ ශරීර ඇති ලෝහ තුඩු ඇති ගිජුලිහිණියෝ ඒ ලෝහ තුඩු වලින් නිරි සතුන් ගේ ඇට බිඳ ඇට මිදුළු කති. තව ද ලෝහ තුඩු ඇති අතිශයින් ම භායානක කපුටු රෑන් දුටු දුටු තැන එළව එළවා කොටා කති. මේ විඳින දුක් දුටු නිමි රජතුමා කුමන පව් කළ හු මේ නරකයෙ හි වැටේ දැ යි මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් ඇසු විට හෙතෙම මෙසේ පිළිතුරු දුන්නේ ය.

මේ අනුව යම් කිසිවෙක් මසුරුකමින් අනුන්ට කිසිවක් නොදෙන්නා හු ද අනුන්ට දෙන දෙත් වළක්වන ක්‍රියා ස්වභාව ඇත්තෝ ද මහණ බමුණන්ට නින්දා කරත් ද හිංසා ආක්‍රෝෂ කෙරෙත් ද ඔවුහු පව් රැස්කොට නිරයට යති. ඒ මේ නිරි සතුන් ගේ මස් කවුඩෝ අනුභව කරති යි මාතලී දෙව්පුත් කිවේ ය.

ඉන්පසු වෙනත් නරකයක් කරා රථය පදවා එහි දුක් විඳින සත්වයන් නිමි මහ රජතුමාට දැක්වී ය. ඒ නරකයේ භයංකාර මුහුණු ඇති යමපල්ලන් විසින් තල් කඳන් පමණ ප්‍රමාණ ඇති දැවෙන යකඩ කඳන් වලින් නිරි සතුන් ගේ කකුල්වලට පහරදී ගිනියම් වූ යම පොළොවේ හෙළා එම දැල්වෙන යකඩ කඳන්වලින් නිරි සතුන් ගේ ඇඟ සුනු විසනු කරති. මෙය දුටු නිමි මහ රජතුමා බියට පත් වී කුමන පව් කළවුන් මේ නිරයෙහි වැටේ දැයි මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් ඇසී ය. ඔහු මෙසේ පැවසී ය.

ඒ අනුව මිනිස් ලොව සීලාදී ගුණ සම්පන්න යහපත් ආචර්ය පැවතුම් ඇති නිවැරදි පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට හිංසා කරන බණින පව්කාරයෝ අකුසල් රැස්කොට මේ නිරයට වැටෙන බව කියවේ.

ඉන්පසු මාතලී දෙව්පුත් අන් නිරයක් කරා රථය පදවාගෙන ගොස් එහි දුක් විඳින සත්වයන් නිමි රජුට දැක්වී ය. එහි යම පල්ලෝ වටකොට ගිනිගෙන දිලිසෙන ආයුධවලින් කොටමින් ගවයන් ගාලකට එළවන්නාක් මෙන් අඟුරු වළට පන්නති. එහි වැටුනා වූ නිරි සතුන් තුනටිය දක්වා ගිනි අඟුරු වළෙහි එරෙති. යම පල්ලෝ මහත් වූ කූඩා වලින් ගිනි අඟුරු ගෙන නිරි සතුන් ගේ මත්තෙහි හලති. නිරි සතුන් වේදනාවෙන් විලාප දෙති. ඇතැම් නිරිසතුන් සිහිමුලාවෙන් තමාම දෝතින් ගිනි අඟුරු ගෙන හිස ලා ගනිති. මෙය දැක නිමි රජු බියට පත් වී මාතලී ය කිනම් පව් කළවුන් මේ නිරයෙහි වැටෙත් දැ යි ඇසු විට මාතලී තෙමේ මෙසේ කීවේ ය.

අවස්ථාවක් ලද කල දානයක් හෝ දෙන්නෙමු, පූජාවක් හෝ පවත්වන්නෙමු, විහාරයක් හෝ කරවමු යැ යි පිරිස් එකතුව මහජනයාගෙන් මුදල් සම්මාදම් කොට සමූහයා ගේ ප්‍රධානියාට අල්ලස් දී අසවල් තැන වැඩ සඳහා මෙපමණ වියදම් ගියේ ය, අසවල් තැන කටයුතු සඳහා අප විසින් මෙපමණ දෙන ලද්දේ යැ යි බොරු සාක්ෂි දී, ඒ මුදල් කා දමා ජනයා රැවටූ හොර සම්මාදම් කාරයෝ මේ නිරයට වැටෙති. ඔහු අඟුරු වළට වැටීමෙන් කම්පාවෙති යැ යි, අටුවාවට ද අනුව අර්ථ දත යුතු ය.

ඉක්බිති මාතලී තෙමේ රථය අන් නරකයක් වෙත පැදවී ය. එහි ඇවිල ගත් දිලිසෙන ගිනිදැල් සහිත මහත් ලෝහ සැළියක් පෙනේ. එහි ලෝ දිය පිරී පවති යි. එහි උපන් නිරි සත්වයෝ යමපල්ලන් විසින් අල්ලාගෙන පා උඩට හිස යටට කොට ඒ ලෝදිය සැළියට දමනු ලැබෙත්. නිරි සතුන් එහි පෙණ දම දමා පුපුර පුපුරා පැසෙති. මෙය දැක බිය පත් වූ නිමි මහ රජතුමා මාතලී ය, මොවුන් කුමන පව් කළාහු දැ යි විචාළේ ය. එහිදී මාතලී තෙමේ මෙසේ කීවේ ය.

සිල්වත් වූ යහපත් වූ ආචාර ගුණ ඇති මහණ බමුණන්ට හිංසා කෙරෙත් ද එසේ කළ පාපකාරී හු හිස පහළට වැටෙන සේ මේ ලෝකුඹු නිරයෙහි වැටී පැසෙත් යැ යි, අටුවාවට ද අනුව සරලව තේරුම්ගත යුතු ය.

ඉක්බිති මාතලී දෙව්පුත් තෙමේ ඒ දිව්‍ය රථය අන් නරකයක් කරා පදවන ලදී. එහි යමපල්ලන් විසින් තුන් ගව් පමණ ශරීර ඇති නිරි සතුන් ගේ බෙල්ලට ගිනිගෙන දිලිසෙන ලෝහ යොත් දමා ඉදිරියට නමා හිස කපා ගිනියම් වූ ලෝහ දණ්ඩකින් ගෙන ගොස් ලෝකුඹු නිරයෙහි දමති. එය බලමින් යමපල්ලෝ සතුටු වෙති. කර්ම බලයෙන් ඒ නිරි සතුන්ට නැවත නැවත බෙල්ල සහිත හිස් පහළ වෙයි. යම පල්ලෝ ද නැවත නැවතත් පෙර සේ ම දුක් දෙති. මෙය දුටු නිමි රජු බියට පත්ව කිනම් පව් කළවුන් මෙහි ඉපදී මෙසේ දුක් විඳින්නා හු දැ යි මාතලීගෙන් ඇසී ය. එහිදී ඇසු විට හෙතෙම මෙසේ කීවේ ය.

මහරජ, මේ ලෝකයෙහි යමෙක් පක්‍ෂීන් අල්ලාගෙන අත් තටු සිඳ පිහාටු ගලවා ගෙල සිඳ මරා කන්නේ හෝ වේ ද, විකුණන්නේ හෝ වේ ද ඔවුහු මේ නරකයට වැටී සුන් වූ හිස් ඇතිව සයනය කෙරෙත් යැ යි, අටුවාවට ද අනුව අර්ථ තේරුම් ගත යුතු ය.

ඉක්බිති මාතලී දෙව්පුත් රථය අන් නරකයක් කරා පදවන ලදී. එහි නො ගැඹුරු කොට ඇති රමණීය ගංඟාවක් ගලා බසියි. ගින්නෙන් රත් වූ නිරිසතුන් ගිනි පොළොව පාගමින් පැන් බීමේ අදහසින් ඒ ගඟට බසින්නාහ. එකෙනෙහිම ගං ඉවුර ගිනි ගනී. එහි ගලාගිය වතුර ගිනියම් වූ බොල් වී බවට පත් වෙති. පිපාසය ඉවසාගත නො හැකි වූ නිරි සත්වයෝ ඒ ගිනිගත් බොල් වී කන්නා හ. ඒ ගිනියම් වූ බොල් වී ඔවුන් ගේ සකල ශරීරය ම දවාගෙන අධෝ මාර්ගයෙන් නික්මෙති. ඔවුහු දුක ඉවසා ගත නො හැකිව දෙඅත හිසේ බදාගෙන හඬති. මෙය දැක නිමි රජු කිනම් පව්කම් කළවුන් දැයි මාතලීගෙන් ඇසී ය. මාතලී තෙමේ මෙසේ කීවේ ය.

ඒ අනුව වී ආදී සප්ත විධ ධාන්‍යයෙන් යම්කිසි ධාන්‍යයක් මිලයට ගන්නා තැනැත්තෙක් හට බොල් හා මිශ්‍ර කොට දෙයි ද, අර්ථයක් නැති දෙයක් හා මිශ්‍ර කොට දෙයි ද, වැලි මැටි ආදිය සමග මිශ්‍ර කොට දෙයි ද, මෙසේ ජනයා රවටා විකුණූ සොරු මෙහි ඉපදී ගිනියම් වූ බොල් ගිලින්නාහ යැ යි කීවේ ය.

ඉක්බිති මාතලී දෙව්පුත් දිව්‍ය රථය අන් නරකයක් කරා පදවන ලදී. එහි රෞද්‍ර වූ යමපල්ලෝ දුනු ඊ ආදී නානා ආයුධ ගෙන වනයෙහි මුව වැද්දන් මෙන් නිරිසතුන් වට කොට දෙපසින් විදිති. ඒ නිරි සතුන්ගේ ශරීර හැම තැනම සිදුරු සිදුරු වී පණුවන් කෑ කොළ මෙන් වෙති. මෙය දුටු නිමි රජු මේ සතුන් පෙර මෙහි ඉපදීමට කිනම් පව් කළාහු දැයි ඇසු විට මාතලී රියදුරු තෙමේ මෙසේ කීවේ ය.

ඒ අනුව යමෙක් ධන, ධාන්‍ය, රන්, රිදී, එළු, බැටළු ගව ආදී හිමියන් විසින් නො දුන් අවිඤ්ඤාණක සවිඤ්ඤාණක යමක් සොර සිතින් ගෙන ජීවත් වෙද් ද, ගෙවල් බිඳීම් ආදිය කොට හෝ වංචා ප්‍රයෝගයකින් හෝ අනුන් සතු නො දුන් දෙය සොර සිතින් ගෙන දිවි පැවැත් වූ අය මෙහි ඉපිද ආයුධ වලින් නැසී දුක් විඳින්නේ යැ යි කී බව, අටුවාවට ද අනුව අර්ථ දත යුතු ය.

ඉක්බිති මාතලී දෙව්පුත් දිව්‍ය රථය අන් නරකයක් කරා පදවන ලදී. එහි උපන් ඇතැම් නිරි සතුන් යමපල්ලන් විසින් කපා මස් ගොඩවල් බවට පත් කරති. එහි උපන් ඇතැම් නිරි සතුන් යමපල්ලන් විසින් බෙල්ලට ලෝහ කඹ දා ඇද යමපොළොව මත පෙරලා නානා ආයුධ වලින් කොටා කෑලි කෑලි වලට වෙන් කරන ලදි. මෙය දුටු නිමි රජු බිය පත් ව මොවුන් පෙර කුමන පව්කම් කළාහු දැ යි මාතලී රියදුරාගෙන් ඇසු විට මාතලී දෙව්පුත් තෙමේ මෙසේ කීවේ ය.

ඒ අනුව මිනිස්ලොව ගවයන්, මීහරකුන්, එළුවන්, බැටළුවන්, ඌරන් මරා මස්කොට ජීවත් වන්නෝ ද මසුන් මැරුවෝ ද මොවුන්ගේ මස් මස්ලොඹු වල (මස් විකුණන ලෑලි වල) විකිණීමට කොටස් වශයෙන් තැබුවාහු ද තවත් නොයෙක් සතුන් මරා මස් විකුණා දිවි පවත්වන්නෝ ද මේ නිරයේ ඉපිද නිරි පල්ලන් විසින් කොටස් කළ මස් ගොඩවල් බවට පත්ව දුක් විඳින්නේ යැ යි මාතලී දෙව්පුත් කී බව, අටුවා විස්තරයට අනුව අර්ථ දත යුතු ය.

ඉක්බිති මාතලී දෙව්පුත් නිමි මහ රජතුමාට අන් නරකයක් දක්වන ලදී. එහි ඇති මළ මූත්‍රා පිරුණු අතිශයින් දුර්ගන්ධ වූ අසූචි විල ගිනිගෙන දුම් දමමින් පැසෙන්නේ ය. සාදුකින් පෙලෙන නිරි සත්වයෝ ඒ කුසගිනි වේදනා ඉවසාගත නො හැකිව දුම් දමමින් පැසෙන ඒ අසූචි ගුලි ලෙස පිඬුකොට ගෙන අනුභව කරති. මෙය දුටු නිමි රජු මේ සත්වයන් මනුලොව දී කිනම් පව් කළාහු දැ යි මාතලී දිව්‍ය රියදුරුගෙන් ඇසු විට හෙතෙම මෙසේ කීවේ ය.

ඒ අනුව යම් සත්වයෙක් අත්පා කැපීම් ආදී වශයෙන් මිනිසුන්ට දරුණු වධ දෙන්නෝ ද මිතුරන් වෙහෙසන්නෝ ද අනුන්ට හිංසා පීඩා කරන්නෝ ද අනුන්ගේ ගෙයි ආහාර පාන අනුභව කොට පනවන ලද අසුන්වල ම නිදා පසුව ඒ උපකාර කළ මිතුරන් ගේ ධනය පැහැර ගන්නා වූ ඔවුන්ගෙන් අල්ලස් ගන්නා වූ මිත්‍ර ද්‍රෝහිහු ද මේ නිරයෙහි ඉපිද ගිනියම් වූ අසූචි අනුභව කරත් යැ යි මාතලී දෙව්පුත් කියා ඇති බව අටුවාවට ද අනුව අර්ථ දත යුතු ය.

ඉක්බිති නිමි රජතුමාට අන් නරකයක් පෙන්වන ලදී. එහි කුණු වූ ලේ සැරව පිරුණු අතිශයින් දුර්ගන්ධ වහනය වන අපවිත්‍ර විලක් ඇත. ගිනි රශ්මියෙන් අතිශයින් ම පෙලෙන නිරි සතුන් ඉන් පිපාසිතව බීමට පැන් නැතිව මේ කුණු වූ අපවිත්‍ර ලේ සැරව පානය කරති. මෙය දුටු නිමි රජු ඔවුන් කිනම් පව්කම් කළාහු දැ යි විමසී ය. එහිදී මාතලී දෙව්පුත් ඒ කරුණ මෙසේ පහදා දෙන ලදී.

ඒ අනුව යමෙක් මව හෝ පියා හෝ රහතුන් හෝ මරා ගිහි පරාජිකාවන්ට පත්වූවෝ ද පූජා සත්කාරයට සුදුසු වූ සිල්වත් ගුණවත් බුද්ධ ශ්‍රාවකයෝ නැසූ පව්කාරයෝ ද මෙහි ඉපිද ලේ සැරව අනුභව කරන්නෝ වෙති යැ යි මාතලී දෙව්පුත් කී බව අටුවාවට ද අනුව අර්ථ දත යුතු ය.

ඉක්බිති නිමි මහ රජතුමාට අනු නරකයක් පෙන්වන ලදී. එහි යමපල්ලන් විසින් උපන් නිරිසතුන් ගේ දිව ගිනියම් වූ බිලී කොකු වලින් අමුණා ඇද ගිනියම් වූ යම පොළොවෙ හි හෙලා ගව හමක් ඇද උල් ගහන්නාක් මෙන් උල් ගසත් නිරි සත්වයෝ ගොඩ දැමූ මසුන් මෙන් දුක් ඉවසා ගත නො හැකිව හඬමින් කෙළ වඟුරවත්. මෙය දුටු නිමි රජු බියපත් වී කිනම් පව් කළාහු මෙහි වැටී දුක්විඳිත් දැයි මාතලී රියදුරු ගෙන් අසන ලදී. එහිදී මාතලී දෙව්පුත් මෙසේ කීවේ ය.

ඒ අනුව බඩු මිල නියම කරන ස්ථානයෙ හි ඒ ඒ භාණ්ඩයේ අගය නියම කිරීම් වශයෙන් හෙවත් මිල ප්‍රමාණ කිරිම් වශයෙන් නියුතුව සිටින පුද්ගලයෙක් භාණ්ඩ ගන්නට සිටින පුද්ගලයන්ගෙන් අල්ලස් ගෙන වටිනා භාණ්ඩයේ මිල පහත හෙලන කෛරාටිකයෝ ද ඇමෙන් වැසූ බිලීකොක්ක රැගෙන මසකු මරන්නා සේ හොර කිරුම් මිණුම් ආදී කූඨ ක්‍රියා කරන නීච වෙළෙන්දෝ ද මෙහි ඉපිද ගිනියම් වූ බිලි අමුණන ලදුව ගිනියම් වූ යම පොළොවෙහි නිදත් යැ යි පවසන ලද බව අටුවාවට ද අනුව අර්ථ දත යුතු ය.

ඉක්බිති මාතලී දෙව්පුත් තෙමේ නිමි මහ රජතුමාට අන් නරකයක් පෙන්වන ලදී. එහි යමපල්ලන් විසින් කැපූ ශරීර ඇති පිළිකුල් ස්ත්‍රී හු හිස අත බැඳගෙන හඬති. ගෙල සිඳි ගවයන් මෙන් ලේ සැරව තැවරුණු ශරීර ඇතිව ගිනියම් වූ යම පොළොවෙ හි ඉඟටිය තෙක් එරී සිටුවන ලද කණු මෙන් සිටිති. එහිදී එක් එක් දිශාවලින් ගිනියම් වූ යකඩ පර්වත, හෙන ගහන්නාක් මෙන් ශබ්ද නංවමින් නැගී අවුත් ඔවුන් ගේ ශරීර සුණු විසුණු වී එකෙනෙහි ම කර්ම බලයෙන් නැවතත් ශරීරය තිබූ අයුරින්ම පහළ වෙති. ගිනියම් වූ පර්වත ද නැවත නැවත ඔවුන්ගේ ශරීර සුණු විසුණු කරත් ම ය. විටක ගිනියම් වූ පර්වත දෙකක් දෙපසින් විත් උක්ගස් අඹරන්නාක් මෙන් පෙලත් ඉතා රත් වූ ලේ වැගිරෙති. කිසියම් විටක පර්වත තුන හතරක් ද විත් මෙසේ ම පෙලති. මෙය දුටු නිමි රජු බියපත්ව මාතලීය, මොවුන් කිනම් පව් කළාහු දැ යි විචාළේ ය. එහි දී මාතලී දෙව්පුත් තෙමේ මෙසේ කීවේ ය.

ඒ අනුව අපිරිසිදු ක්‍රියා ඇති සමහර කුල ස්ත්‍රී හු අසංයත ධූර්තිකාවන් මෙන් ආහාර පාන වස්ත්‍රාභරණ සපයා දීමෙන් තමන් පෝෂණය කරන හිමියන් හැර පර පුරුෂයන් සතුටු කරවන්නා වූ ඔවුන් හා සිත් පරිදි කම්රතියෙහි හැසිරෙන පාප ස්ත්‍රී හු මේ නිරයට පැමිණ ගිනියම් වූ යම පොළොවෙහි ගිනිදැල් සහිත පර්වතවලින් ඇඹරෙති යැ යි කියා ඇති බව අටුවාවට ද අනුව අර්ථ දත යුතු ය.

ඉක්බිති මාතලී දෙව්පුත් තෙමේ නිමි මහ රජතුමාට අන් නරකයක් පෙන්වන ලදී. එහි දිලිසෙන බියකරු ගිනි අඟුරු පිරුණු මහ නරා වලකි. එය දැක නිරි සතුන් එහි පිවිසීමට බියව සිටින විට ගාලට නො පිවිසෙන හරකුන්ට මෙන් යමපල්ලන් විසින් නොයෙක් ආයුධ ගෙන විදිමින් තලමින් ඒ අඟුරු වල කරා ගෙන ගොස් නිරි සතුන්ගේ පා වලින් ගෙන හිස යටිකුරුව සිටින සේ ඒ බියකරු ගිනි අඟුරු වලේ හෙලත්, එහි ගිලෙන්නා වූ නිරි සතුන් දුටු නිමි මහ රජතුමා බියපත්ව මොවුන් මේ තාක් මහත් දුකට පත්වන්නට කිනම් පව්කම් කළා හු දැ යි විචාළේ ය. එහි දී මාතලී තෙමේ මෙසේ කීවේ ය.

ඒ අනුව මිනිස්ලොව මිනිසුන් ගේ උත්තම භාණ්ඩයන් වූ ඉතාම ඇලුම් කරන ප්‍රිය භාර්යාවන් හා යම් පුරුෂයෙක් පරදාර සේවනයේ යෙදෙද් ද ඒ පාපී පුරුෂයෝ මෙහිදී දෙපාවලින් ගෙන හිස පහළට සිටින සේ අඟුරු වළට හෙලනු ලැබෙත් යැ යි කී බව කෙටියෙන් දත යුතු ය.

ඉක්බිති නිමි මහ රජතුමාට මාතලී දෙව්පුත් විසින් අන් නරකයක් පෙන්වන ලදී. ඒ නිරයෙහි කුඩා මහත් දුක්ගැහැට ඇති අතර යමපල්ලන් බිම පෙරලා උල් ගැසීම, හරස් කියතින් ශරීරය කැපීම, වෑයෙන් කැපීම, ලෝ දිය පෙවීම, ලෝහ ගුළි කැවීම, ආදී අනේක දුක් දෙයි. (රේරුකානේ චන්දවිමල මහා නා හිමිගේ - චත්තාලිසාකාර මහා විපස්සනා භාවනාව යන ධර්ම ග්‍රන්ථයෙහි දක්වා ඇත.) මෙහි නිරි සතුන් තියුණු රළු කටුක දුක් වේදනා විඳිති. නිමි රජු මෙය දැක බියට පත්ව මොවුහු කිනම් පව් කළාහු දැ යි මාතලී රියදුරුගෙන් විමසී ය. හෙතෙම මෙසේ කීවේ ය.

ඒ අනුව මෙලොවක් නැත, පරලොවක් නැත, දී මෙහි විපාක නැත, මව්පියන්ට උපස්ථාන කළාට වැඩක් නැත, යනාදී ලෙස කර්ම ඵල විශ්වාස නො කරමින් මිසදිටු ගෙන තමාද මෝහයෙන් නොයෙක් පව්කම් කොට අන්‍යයන්ට ද මිසදිටු අදහස් දී ඔවුන් ද මුලා කරන අධම පව්කාරයන් මෙහි ඉපිද තියුණු රළු කටුක දුක් වේදනා විඳිත් යැ යි කියා ඇති බව දත යුතු ය.

මේ අතර දෙව්ලොව දෙවියෝ ද සුධර්මා දෙව් සභාවේ රැස්ව නිමි මහ රජ මාතලී රථාචාර්‍ය්‍යයා හා පැමිණෙන තුරු මඟ බලා සිටිති. සක් දෙවිඳු මාතලී දෙව්පුත් ප්‍රමාද කුමක් නිසා ද කියා බලනුයේ මේ කරුණ දැක මෙසේ සිතුවේ ය. මාතලී දෙව්පුත් නිමි රජුට අසවල් කර්මය කොට අසවල් නිරයෙහි පැසෙත් යැ යි කියමින් නරකයන් දක්වමින් හැසිරෙ යි. “නිමි රඤ්ඤෝ පණ ආයු ඛියේථනනිරය දස්සනස්ස පරියන්තං ගව්ජෙය්‍යාති” ඉදින් නිමි රජුගේ ආයුෂ ගෙවුනේ නමුදු නිරයන් දැකීම කෙළවරකට නම් නො යන්නේ යැයි රජුන් සමඟ වහා එන්න යැයි දිව්‍ය පුත්‍රයෙක් අත පණිවිඩයක් යැවී ය. එය ඇසූ මාතලී දෙව්පුත් (ගුවනට නැංවූ අහස් යානයක සිට නගරයක සිරි නරඹන්නාක් මෙන්) එකපාරටම සතර දිශාවල බොහෝ නිරයෝ දක්වා මෙසේ කීවේ ය.

මහරජ, පව්කම් කළ සතුන් වසන තැන් ද දරුණු පව්කම් කළ සතුන්ගේ උප්පත්ති ස්ථානයෝ ද දුශ්සීල සත්වයන් උපදනා ස්ථානයෝ ද ඔබ විසින් දක්නා ලදහ. දේවයන් වහන්ස! දැන් සක් දෙව් රජුගේ දිව්‍ය සම්පත් දක්නා පිණිස යනු මැනවි යැයි මාතලී දෙව් පුත් කීවේ ය. පසුව මෙසේම එහි දෙව් විමන් බලමින් ගිය බව නිමි ජාතකයේ දැක්වේ.

මේ ඉහත දැක්වූ නිරයන්හි ඉපදීමට හේතුවන යම් පවක් කලේ නම් එය චුත වන මොහොතේ සිහි වුවහොත් එම නිරයන් හි ඉපිදී දුක් විඳීමට සිදුවේ. පසුව එයින් මිදී තිරිසන් සතුන් වී ඉපිද අපමණ දුක් ගැහැට විඳීමට සිදු වේ. තිරිසන් ලෝකයේ ඇති දුක ටිකක් හෝ ඔබට පෙනෙන බැවින් මෙහි එය විස්තර නො කරන්නෙමු. ඉන්පසු ශේෂ කර්ම විපාක ලෙස ප්‍රේත ලෝකවල ද ඉපදී අපමණ දුක් විඳීමට සිදු වේ.