“කම්මස්සකෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණෝ, යං කම්මං කරිස්සාමි කල්‍යානං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති අභිණ්හං පච්චචෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසේන වා ගහට්ඨේන වා පබ්බජිතේන වා ති”
(අභිණ්හපව්ව වෙක්ඛන සූත්‍රය)
අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යෙය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේ ම නමස්කාරය වේවා. පින්වතුනි! මේ මාතෘකා කළේ අභිණ්හ පච්චවෙක්ඛන සූත්‍රයේ එන සූත්‍ර පාඨයකි. ඒ නිවන් රසයෙන් රසවත් වූ ධර්ම පාඨයට අනුව සියලු සත්වයෝ ම කර්මය ස්වකීය කොට ඇත්තෝ ය. කර්මය දායාද කොට ඇත්තෝ ය. කර්මය සැප දුක් වේදනා ගෙනදෙන මූල හේතුව කොට ඇත්තෝ ය. එසේම කර්මය ඥාතිකොට ඇත්තෝ ය. කර්මය පිහිට පිළිසරණ කොට ඇත්තෝ ය. ඉදින් යහපත් හෝ අයහපත් හෝ යම් කර්මයක් කරන්නේ නම් ඔහු විසින් ඒ කලා වූ කර්මයා ගේ විපාකද ඔහුට ම දායාද වන්නේ ය යන ආත්මෝපදේශාත්මක නිර්වාණ ධර්මය කාන්තාවක් විසින් හෝ පුරුෂයෙකු විසින් හෝ ගිහියෙකු විසින් හෝ පැවිද්දෙකු විසින් හෝ නිරන්තරයෙන් සිහිකල යුතු යැ යි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාරන්නට යෙදුනා හ.
මේ අනුව අප බැලිය යුතු අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් වේ.
- කර්මය යනු කුමක් ද?
- යහපත් අයහපත් කර්ම මොනවා ද?
- එම කර්මයෝ අපට දායාද වන්නේ කෙසේ ද? කියා ය.