ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රධාන ඉගැන්වීමක්. අපගේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රද්ධාව කොටස් දෙකකට බෙදලා තියෙනවා. එකක් තමයි අමූලිකා ශ්‍රද්ධාව. අනෙක තමයි ආකාරවතී ශ්‍රද්ධාව. අමූලිකා ශ්‍රද්ධා කියන්නේ විමසන්නේ නැතුව, හොයන්නේ බලන්නේ නැතුව, අධ්‍යයනය කරන්නේ නැතුව යමක් විශ්වාස කිරීම. ඒ විශ්වාස කරන එකට පදනමක්, මුලක් නෑ. ඒ නිසා ඒකට අමූලිකා ශ්‍රද්ධා කියලා කියනවා. මේ අමූලිකා ශ්‍රද්ධාව කෙනෙක් දියුණුවක් කරා ගෙන යන එකක් නෙවෙයි. අමූලිකා ශ්‍රද්ධාව තියෙන කෙනාගේ ලක්ෂණය තමයි, එයා කෙනෙක් ගැන පහදිනවා. ටික කාලයක් යනකොට ඒ පැහැදීම නැතිවෙලා වෙන කෙනෙක් ගැන පහදිනවා. තව ටික කාලයක් යනකොට ඒ පැහැදීමත් නැති වෙලා ඊළඟ කෙනා ගැන පහදිනවා. සමහර විට ඒ පැහැදීම පෞද්ගලික වාසි තකා වුණත් කෙරෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒ අමූලිකා ශ්‍රද්ධාව අගය කළේ නෑ. උන්වහන්සේ අගය කළේ ආකාරවතී ශ්‍රද්ධාව යි.
ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙකු ගේ යම්කිසි තේරුම් ගත් වටහා ගැනීමක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ ආකාරවතී ශ්‍රද්ධාවට එන්න කියලයි. ආකාරවතී ශ්‍රද්ධාවට පැමිණි කෙනා තුළ තියෙන විශේෂ ලක්ෂණය තමයි (සද්ධාති තථාගතස්ස බෝධිං) එයා අදහන්නෙ තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය යි. මේ ලෝකයේ පුද්ගලයන් එක එක දේවල් විශ්වාස කරනවා. එක එක දේවල් අදහනවා. නමුත් ඒ අදහන බොහෝ දේවල් වලට පදනමක් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය පදනම් වෙලා තියෙන්නේ උන්වහන්සේ ගේ අවබෝධයෙන් ය. ඒ අවබෝධය නැමති පදනම තුළ හිඳගෙනයි, උන්වහන්සේ ධර්ම දේශනා කළේ. ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කළා ද, ඒක අවබෝධයෙන්ම යි දේශනා කළේ. භාග්‍යවතුන් වහන්සේ ගේ ඒ අවබෝධය හරි කියලා අප තුළ ඇතිවෙන පැහැදීමටයි. ඒ අදහසට ආවාහම ඒ ඔස්සේ තමයි ඊට පස්සේ එයා කල්පනා කරන්නේ.
සාමාන්‍ය මනුෂ්‍යයාට හිතන්න වත් බැරි, සාමාන්‍ය මනුෂ්‍යයන්ට නො තේරෙන, වටහා ගන්න බැරි මාතෘකා උන්වහන්සේ කතා කරලා තියෙනවා. විශ්වය ගැන, ලෝක ගැන, බුදුරජාණන් වහන්සේ සතු වූයේ අසමසම අවබෝධයක්. උන්වහන්සේ සමහර අවස්ථාවල “මහණෙනි මෙන්න මෙහෙමයි නිරය..” කියලා නිරය ගැන විස්තර කරනවා. විස්තර කරලා මහණෙනි, මේ දේවල් ශ්‍රද්ධාවට පැමිණි ශ්‍රාවකයා පිළිගන්නවා” කියලා දේශනා කරනවා. එතකොට ශ්‍රද්ධාව කියලා අදහස් කළේ භාග්‍යවතුන් වහන්සේ ගේ ඒ අවබෝධය විශ්වාස කිරීමයි. බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය විශ්වාස කරන්නේ නැති අය තමයි දිව්‍ය ලෝකයි, නිරයයි ඔක්කොම තියෙන්නේ මෙහේ කියලා කියන්නේ. ඒ අය මේ මනුෂ්‍ය ලෝකයෙ සැප විඳින මිනිස්සු දෙස බලලා “ඔන්න දිව්‍ය ලෝකය..” කියලා කියනවා. දුක් විඳින අය දිහා බලලා “ඔන්න අපාය..” කියලා කියනවා. මේ විදිහට තමන්ගේ පෞද්ගලික මත විග්‍රහ කර කරා ප්‍රමාදී වෙනවා. ඒ කෙනා අමූලිකා ශ්‍රද්ධා මුලක් නැති ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක්. මේ නිසා අපට ආකාරවතී ශ්‍රද්ධාව උපදවා ගැනීම හරි වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් පොදුවේ කතාවක් තියෙනවානේ ප්‍රඥාව නැතුව ශ්‍රද්ධාව තිබුණොත් ඒ ශ්‍රද්ධාව මෝඩකමක් කියලා. එතැන මෝඩකම කියලා කියන්නේ ඔය අමූලිකා ශ්‍රද්ධාවට.
ශ්‍රද්ධාව වඩවා ගැනීම සඳහා කැමති පින්වතුන් රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ සූවිසි මහා ගුණය පොත බලත්වා