47. ඇතැමුන් ප්‍රාණඝාතාදි බොහෝ පව්කම් කරන්නේත් ඇතමුන් දානාදි පින්කම් කරන්නේත් පූර්‍වකර්‍මයන් ගේ විපාක වශයෙන් ද?

“සියල්ල ම පූර්‍ව කර්මයෙන් සිදුවෙනවාය” යන හැඟීම ඇති පව් කරන්නා වූ ඇතැම්හු “පූර්‍ව කර්මය නිසා අපට පිනක් කරන්න සිත දෙන්නේ නැත, අප පව් ම කරනවාය” යි කියති. එය සත්‍යය නො වේ. කර්මය කුමක් ද? යන බව මෙහි අන් තැනක විස්තර කර ඇත. විපාකයයි කියනුයේ බීජයෙන් අංකුරයක් (පැළයක්) උපදවන්නාක් මෙන් කෙළින් ම කර්මයෙන් උපදනා දෙයට ය. බීජය අංකුරයක් මිස බීජයක් ම නූපද වන්නාක් මෙන්, කර්මය විපාකයක් මිස කර්මයක් නූපද වන්නේ ය. ප්‍රාණඝාතාදීහු අකුශලයෝ ය. දානාදීහු කුශලයෝ ය. කුශලාකුශල දෙක කර්ම කොට්ඨාසයට මිස විපාක කොට්ඨාසයට අයත් නැත. අතීත කර්මයෙන් ප්‍රාණඝාතාදිය කැරෙනවා නම්, ඒවා කර්ම කොට්ඨාසයට නොව විපාක කොට්ඨාසයට අයත් විය යුතු ය. කර්මයෙන් මිස විපාකයෙන් විපාකයක් ඇති කිරීමක් නැත. ඉදින් අතීත කර්මයන් ගේ විපාක වශයෙන් ප්‍රාණවධාදිය කැරෙතොත් ඒවා විපාක නිසා ඒවායින් මතු විපාකයක් වන බව නො කිය හැකි ය. “මතු විපාකයක් ඇති නො කරන විපාක ම වන ප්‍රාණවධාදියක් ඇතැය” යි කියතහොත්, එය බුදු දහමට විරුද්ධ ය. එබැවින් අතීත කර්මයන් ගේ විපාක වශයෙන් පව් පින් කෙරෙනවාය යන්න සත්‍ය නො වන බව දත යුතු ය. කර්මය, විපාක දීමෙන් ගෙවී යන්නකි. කර්ම විපාක වශයෙන් කර්ම ම ඇතිවෙත හොත් වරක් ප්‍රාණඝාතය කළ තැනැත්තකුට නැවත නැවත ප්‍රාණඝාත ම කරන්නට වන්නේ ය. වරක් සොරකම් කළ එකකුට නැවත නැවත සොරකම් ම කරන්නට සිදු වන්නේ ය. කර්ම පරම්පරාව කෙළවර නො වන්නේ ය. එය නො විය හැක්කකි. එබැවින් ද අතීත කර්ම විපාක විසින් පින් පව් කෙරෙනවාය යනු සත්‍යයක් නො වන බව කිය යුතු ය.

අකුශල් කිරීමේ ප්‍ර‍ධාන හේතුව ඒ ඒ පුද්ගලයන් තුළ ඇත්තා වූ ක්ලේශයෝ ය. අකුශල් කිරීමට දුරින් හේතු වන තවත් බොහෝ දේ ඇත්තේ ය. අකුශලයෙන් වැළකී ජීවත්විය නො හෙන ඉපදීමක් ලැබීම, පාපකාරීන් ඇසුරු කිරීම, ධර්මය නො දැනීම, මිථ්‍යා ධර්ම ඇසීම, කාරණානුකූලව නුවණින් මෙනෙහි නො කිරීම යන මේවා ද අකුසල් ඇතිවීමේ හේතූහු ය. අතීත භවවල දී අකුශල් කර පුරුදු බවත් සමහරවිට අකුශල් ඇතිවීමට හේතු වේ. වර්තමාන භවයේ පළමු කළ අකුශල් ද පසුව අකුශල් කිරීමට හේතු වේ. යම්කිසි පාපයක් දෙතුන් වරක් කොට එය රස වැටුණු තැනැත්තාට ඒ ගැන තුබූ විලිබිය දුරුවීමෙන් ඒ පාපය නැවත නැවත ද කරන්නට සිත් වේ. ඔහු ඒ පුරුද්දෙන් ඒ පාපය නැවත නැවත ද කරයි. සත්ත්වයා තුළ කෙලෙස් නැති නම් මෙබඳු හේතු කොතෙක් ඇතත් ඒවා නිසා පව් නො කෙරේ. එබැවින් පව් ඇතිවීමේ ප්‍ර‍ධාන හේතුව කෙලෙස් බව කිය යුතු ය.

පූර්‍ව අකුශල් පසුව ඇතිවන අකුශල්වලට පමණක් නොව සමහර අවස්ථාවක දී කුශලයන්ට ද හේතු වේ. බොහෝ අකුශල් කළ සමහරු තමන් කළ අකුශල් ගැන බිය වී ඒවායේ විපාකය වළක්වා ගැනීමේ බලාපොරොත්තුවෙන් සමහර විට බොහෝ කුශල් කරති. එසේ කුශල් කරන්නා වූ තැනැත්තන් ගේ ඒ කුශල් ඇති වීමට කලින් කළ අකුශලය ද එක් හේතුවකි. අකුශලය අකුශලයට මෙන් කුශලයටත් ප්‍ර‍ත්‍යය වන බව “අකුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස උපනිස්සය පච්චයෙන පච්චයො” යනුවෙන් පට්ඨාන මහාපකරණයෙහි ද වදාරා තිබේ. කුශලාකුශල අව්‍යාකෘත තුනට ම කුශලයත් අකුශලයත් ප්‍ර‍ත්‍යය වන සැටි පට්ඨාන මහාපකරණයෙහි විස්තර වශයෙන් ම වදාරා ඇත්තේ ය. ඒ ප්‍ර‍ත්‍ය භාවය හෙවත් හේතුභාවය විපාකයක් නො වේ. කර්‍ම කර්‍මවලට දුරින් ප්‍ර‍ත්‍යය වෙනවා මිස කර්මයක විපාක වශයෙන් කවදාවත් කර්මයක් ඇති නො වන බව කිය යුතු ය. එබැවින් අතීත කර්මයන් විපාක දීම් වශයෙන් කිසිවකු, දැන් පව් නො කරන බවත් කෙලෙසුන් නිසා ම පව් කරන බවත් ස්ථිර වශයෙන් ම පිළිගත යුතු ය.