රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන ස්කන්ධ පඤ්චකය උපදවා ගැනීම සඳහා ද, පවත්වා ගැනීම සඳහා ද සත්ත්වයන් විසින් කරන්නා වූ කෑම් - බීම් - නෑම් - ඉඳුම් - හිටුම් - යෑම් - නිදීම් ආදි අනේක ප්‍රකාර ක්‍රියාවන් සිදු කරන්නා වූ චේතනාව ප්‍රධාන කොට ඇති චෛතසික ධර්ම සමූහය සංස්කාරස්කන්ධය යි කියනු ලැබේ.
චේතනාව විසින් අවශේෂ චෛතසිකයන් හා සිත ද සහාය කොට ගෙන ඒ ඒ කායික, වාචසික, මානසික ක්‍රියා සිදු කරනු ලැබේ. එබැවින් සත්ත්වයන් කරන සෑම ක්‍රියාවකට ම චේතනාව ප්‍රධාන වේ. සිතෙහි හා අන්‍ය චෛතසිකයන්ගේ ද සහයෝගය නොමැතිව හුදු චේතනාවටමත් කිසි ම ක්‍රියාවක් සිදු කළ නො හෙන බැවින් එයට අන්‍ය චිත්ත චෛතසිකයන්ගේ සහයෝගය ද වුවමනාය. චේතනාව හා එක්ව ඒ ඒ ක්‍රියා සිදුකරන බැවින් අන්‍ය චිත්ත චෛතසිකයෝ ද, සංස්කාරයෝ ම ය. ක්‍රියා සිදු කරන්නෝ ම ය. එහෙත් චිත්ත, වේදනා, සංඥා යන ධර්ම තුන වෙන් වෙන් වූ ස්කන්ධ තුනක් කොට ගන්නා ලද බැවින්, ඒවාට සංස්කාර යයි නො කියනු ලැබේ. චේතනාව සහිත වූ චෛතසික පනසකට පමණක් සංස්කාරයෝ ය යි කියනු ලැබේ.
චේතනා ප්‍රධාන චෛතසික ධර්ම සමූහය විසින් සිදු කරන්නා වූ ක්‍රියා අතුරෙන් කොටසක් මෙලොව පිණිස ද, කොටසක් පරලොව පිණිස ද සිදු කරනු ලැබේ. කෑම් බීම් ඉඳීම් සිටීම් නිදීම් යෑම් හැඳීම් පැළඳීම් ආහාර පාන වස්ත්‍රාදිය සැපයීම් මුදල් සැපයීම් ආදිය මෙලොව පවත්නා ස්කන්ධපඤ්චකය සඳහා කරන්නා වූ ක්‍රියාවෝය. එයිනුදු ඉරියව් පැවැත්වීම් ආහාර වැළඳීම් ආදිය රූපස්කන්ධය සඳහා කරන ක්‍රියාවෝය. මිහිරි අහර බුදීම්, ක්‍රීඩා පැවැත්වීම්, නැටුම් බැලීම් ආදිය වේදනා ස්කන්ධය සඳහා කරන ක්‍රියාවෝය. අකුරු ඉගෙනීම් ආදිය සංඥාස්කන්ධය සඳහා කරන ක්‍රියාවෝය. ශ්‍රද්ධා ප්‍රඥා වීර්යාදිය වර්ධනය කර ගැනීම සඳහා කරන ක්‍රියාවෝ සංස්කාර විඥානයන් සඳහා කරන ක්‍රියාවෝය. සමහර විටක දී කෑම් බීම් ආදි සියල්ල ම ද ස්කන්ධ පඤ්චකය ම සඳහා කරන ක්‍රියාවෝය. අනාගතයෙහි දෙව් ලොව මිනිස් ලොව ඉපදීම සඳහා කරන දාන ශීලාදි ක්‍රියාවෝ අනාගත භවයෙහි පඤ්චස්කන්ධය සඳහා කරන ක්‍රියාවෝය. ඒ ඒ ක්‍රියා සිදු කිරීමෙහි චේතනාව ම ප්‍රධාන බැවින් පඤ්චස්කන්ධය සැකෙවින් දක්වන නොයෙක් සූත්‍රවලදී තථාගතයන් වහන්සේ විසින් චේතනාව ම සංස්කාරස්කන්ධය වශයෙන් වදාරා තිබේ.
“කතමෙව භික්ඛවෙ! සංඛාරා? ඡයිමෙ භික්ඛවෙ චෙතනාකායා, රූප සඤ්චෙතනා, සද්ද සඤ්චෙතනා, ගන්ධ සඤ්චෙතනා, රස සඤ්චෙතනා, ඵොට්ඨබ්බ සඤ්චෙතනා, ධම්ම සඤ්චෙතනා, ඉමෙ වුච්චන්ති භික්ඛවෙ සංඛාරා”
මේ චේතනාව ම සංස්කාරස්කන්ධය වශයෙන් වදාළ දේශනාවෙකි. “මහණෙනි! සංස්කාරයෝ කවරහුද?
“මහණෙනි! රූප සඤ්චේතනාවය, ශබ්ද සඤ්චේතනාවය, ගන්ධ සඤ්චේතනාවය, රස සඤ්චේතනාවය, පොට්ඨබ්බ සඤ්චේතනාවය, ධම්ම සඤ්චේතනාවය යන මේ සය චේතනා සමූහයෝ ය. මහණෙනි! මොවුහු සංස්කාරයෝ යයි කියනු ලැබෙත්ය” යනු එහි තේරුමයි.
මෙයින් සංස්කාරස්කන්ධ සංඛ්‍යාත චේතනාව රූපාදීන්ගේ වශයෙන් සවැදෑරුම් වන බව දැක්වේ. කුශලා’කුශල අව්‍යාකෘත වශයෙන් ද චේතනාව ත්‍රිවිධ වන්නීය. අව්‍යාකෘතය යනු කුශලා’කුශල නොවන දෙය ය. චේතනාව මෛත්‍රී කරුණා ශ්‍රද්ධා ප්‍රඥාදි කුශල පාක්ෂික චෛතසිකයන් හා එක් වූ කල්හි කුසල් වන්නීය. ලෝභ ද්වේෂ මෝහාදි අකුශල පාක්ෂික චෛතසිකයන් හා එක් වූ කල්හි අකුසල් වන්නීය. කුශලා’කුශල නො වන චෛතසිකයන් හා එක් වූ කල්හි අව්‍යාකෘත වන්නීය. චේතනාවට සහාය වන සංස්කාර ස්කන්ධ පර්යාපන්න චෛතසික සතළිස් නවයකි.
එයින් :-
ඵස්සය, ඒකග්ගතාවය, ජිවිතින්ද්‍රිය, මනසිකාරය, විතක්කය, විචාරය, අධිමොක්ඛය, විරියය, පීතිය, ඡන්දය යන චෛතසික දශය විටෙක කුශල් වන්නා වූ ද විටෙක අකුශල් වන්නා වූ ද විටෙක කුශලා’කුශල නොවන්නා වූ ද චෛතසිකයෝ ය.
මෝහය, අහිරිකය, අනොත්තප්පය, උද්ධච්චය, ලෝභය, දිට්ඨිය, මානය, දෝසය, ඉස්සාය, මච්ඡරිය, කුක්කුච්චය, ථීනය, මිද්ධය, විචිකිච්ඡාවය යන තුදුස අකුසල චෛතසිකයෝ ය.
සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලොභ, අදොස, තත්‍රමජ්ඣත්තතා, කායපස්සද්ධි, චිත්තපස්සද්ධි, කාය ලහුතා, චිත්තලහුතා, කායමුදුතා, චිත්තමුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්තකම්මඤ්ඤතා, කායපාගුඤ්ඤතා, චිත්තපාගුඤ්ඤතා, කායුජුකතා, චිත්තුජුකතා, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, කරුණා, මුදිතා, පඤ්ඤා යන චෛතසික පස්විස්ස විටෙක කුසල් ද විටෙක අව්‍යකෘත ද වන්නා වූ චෛතසිකයෝ ය. චේතනාවත් සමග පනසක් වූ මේ චෛතසික ධර්ම සමූහය සංස්කාරස්කන්ධය නම් වන්නේ ය.