“තත්ථ කතමා සම්මාදිට්ඨි? දුක්ඛෙ ඤාණං, දුක්ඛ සමුදයෙ ඤාණං, දුක්ඛ නිරොධෙ ඤාණං, දුක්ඛ නිරොධ ගාමිනියා පටිපදාය ඤාණං, අයං වුච්චති සම්මා දිට්ඨි”
මේ චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය විස්තර කර තිබෙන්නා වූ සිය ගණනක් සූත්‍ර ධර්මවල හා අභිධර්ම පිටකයෙහිත් මාර්ග සත්‍යයට අයත් සම්මාදිට්ඨිය දේශනා කර තිබෙන ආකාරයයි. දුක්ඛ සත්‍ය දන්නා ඥානය, සමුදය සත්‍ය දන්නා ඥානය, නිරෝධ සත්‍ය දන්නා ඥානය, මාර්ග සත්‍ය දන්නා ඥානය යන මේ සතර, සම්‍යග් දෘෂ්ටියයි මෙයින් දක්වන ලදි. චතුස්සත්‍ය සම්බන්ධයෙන් පවත්වා බැවින් මේ ඥානයට චතුස්සත්‍ය සම්‍යග් දෘෂ්ටියයි කියනු ලැබේ.
මෙයට පළමුවෙන් දැක් වූ දශ වස්තුක සම්‍යග් දෘෂ්ටිය වනාහි බුද්ධාගමෙන් අන්‍ය වූ ආගම් වල ද ඇත්තේ ය. මේ චතුස්සත්‍ය සම්‍යක් දෘෂ්ටිය වනාහි බුද්ධාගමෙහි ම මිස අන් කිසි ම ආගමක නැත්තේ ය. බුද්ධෝත්පාද කාලවලදී මිස අබුද්ධෝත්පාද කාලවලදී මෙය ලෝකයෙහි නැත්තේ ය. එබැවින් මෙය දුර්ලභ වූ සම්‍යක් දෘෂ්ටියෙකි. අනේකාකාර සම්‍යක් දෘෂ්ටීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ සම්‍යක් දෘෂ්ටිය ද මෙය ම ය. මේ ශ්‍රේෂ්ඨ සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීම සඳහා චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය මැනවින් උගත යුතු ය. මෙය කියවන්නා වූ සමහරුන්ට “පෙර කී දශ වස්තුක සම්‍යක් දෘෂ්ටිය ඕනෑ නැත. චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය දැන උගෙන චතුස්සත්‍ය සම්‍යක් දෘෂ්ටිය පමණක් ඇති කර ගත්තාම ඇත” යයි සිතෙන්නට පුළුවන. එසේ සිතුන හොත් එය වැරදීමකි.
මේ චතුස්සත්‍ය සම්‍යක් දෘෂ්ටිය ඉතා පුළුල් සම්‍යග් දෘෂ්ටියකි. දශ වස්තුක සම්‍යග් දෘෂ්ටිය ද මෙයට ඇතුළත් වේ. චතුස්සත්‍ය දත් තැනැත්තෙක් වුවහොත් හෙතෙම ඒකාන්තයෙන් පින් පව් ඇති බව, පින් පව් වල ඵල විපාක ඇති බව, පරලොව ඇති බව යනාදිය පිළිගන්නෙක් වේ. ඒවා නො පිළිගන්නකු වුවහොත් ඔහු චතුරාර්‍ය්‍ය සත්‍ය දත් තැනැත්තෙක් හෙවත් චතුස්සත්‍ය සම්‍යග් දෘෂ්ටියෙන් සම්‍යග් දෘෂ්ටික වූවෙක් නො වන්නේ ය. එහෙත් දශ වස්තුක සම්‍යග් දෘෂ්ටියෙන් සම්‍යග් දෘෂ්ටික වූ පමණින් චතුස්සත්‍ය සම්‍යග් දෘෂ්ටියෙන් සම්‍යග් දෘෂ්ටික නො වන්නේ ය.
මේ චතුස්සත්‍ය සම්‍යග් දෘෂ්ටිය සාමාන්‍යයෙන් එකක් කොට කියනු ලබන නමුත් දුක්ඛ සත්‍ය සම්‍යග් දෘෂ්ටිය, සමුදය සත්‍ය සම්‍යග් දෘෂ්ටිය, නිරෝධ සත්‍ය සම්‍යග් දෘෂ්ටිය, මාර්ග සත්‍ය සම්‍යග් දෘෂ්ටිය යි සත්‍යයන්ගේ වශයෙන් සතරක් වේ.
එයින් දුඃඛ සත්‍ය සම්‍යග් දෘෂ්ටිය ඇති වූ කල්හි පඤ්චස්කන්ධය දුක් රැසක් මිස සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නො වන බව පෙනීමෙන් සත්කාය දෘෂ්ටිය දුරුවේ. සමුදය සත්‍ය සම්‍යග් දෘෂ්ටිය ඇති වූ කල්හි තෘෂ්ණා හේතුවෙන් සත්ත්වයා මතු භවයෙහි උපදවන බව දැකීමෙන් මරණින් මතු ඉපදීමක් නැතය යන උච්ඡේද දෘෂ්ටිය දුරු වේ. නිරෝධ සත්‍ය සම්‍යග් දෘෂ්ටිය ඇති වූ කල්හි හේතු ධර්මයන්ගේ නිරෝධයෙන් ඵල ධර්මයන්ගේ නිරෝධය වන බව දැකීමෙන් ආත්මය නිත්‍යය යි ගන්නා වූ ශාශ්වත දෘෂ්ටිය දුරු වේ. මාර්ග සත්‍ය සම්‍යග් දෘෂ්ටිය ඇති වූ කල්හි ප්‍රතිපත්තිය කරණ කොට ගෙන නිවනට පැමිණෙන බව අවබෝධ වීමෙන් සත්ත්වයන්ගේ ඒ ඒ ජාතිවල ඉපදීම හා විශුද්ධියට පැමිණීම, ඉබේම සිදුවනවා මිස තමා විසින් කරන්නා වූ හෝ ශ්‍රමණ බ්‍රාහ්මණාදි අනිකකු විසින් කරන්නා වූ හෝ ක්‍රියාවකින් ප්‍රතිපත්තියකින් සිදු නො වේය යන “නත්ථි අත්තකාරො නත්ථි පරකාරෙ නත්ථි පුරිසකාරෙ” යනාදීන් දැක්වෙන අක්‍රිය දෘෂ්ටිය ද කිසි ම හේතුවක් ප්‍රත්‍යයක් නැතිව ඉබේ ම සත්ත්වයන්ගේ කෙලෙසීම හා පිරිසිදු වීමත් සිදු වන්නේ ය යන අහේතුක දෘෂ්ටිය ද දුරු වේ.
තවද දුඃඛ සත්‍යය දැනීම හේතු කොට ගෙන සමුදය සත්‍යයාගේ ඵලය වූ නිත්‍ය-සුභ-සුඛ-ආත්ම ස්වභාවයන්ගෙන් විරහිත වූ පංචස්කන්ධය සම්බන්ධයෙන් පවත්නා වූ පංචස්කන්ධය නිත්‍යය, යහපත් ය, සුවයක් ය, ආත්මයක්ය යන වැරදි හැඟීම් දුරුවන්නේ ය. සමුදය සත්‍යය තත්ත්වාකාරයෙන් නො දැනීම හේතු කොට ගෙන ලොව විසූ නොයෙක් ශාස්තෘවරයන් විසින් ඇති කරන ලද දෘෂ්ටි බොහෝ ය.
(1) සර්වබලධාරී වූ යම්කිසි දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ මේ ලෝකය ද මවන්නේ ය. මවා ඔහුගේ කැමැත්ත පරිදි ලෝකය පවත්වන්නේ ය, විනාශ කරන්නේ ය යනු එක් දෘෂ්ටියකි. එයට ඊශ්වර නිර්මාණ වාදය යයි කියනු ලැබේ.
(2) ප්‍රකෘතිය යි කියන ලද අව්‍යක්ත හේතුවක් ඇත්තේ ය. ලෝකයත් ලොව ඇති සියල්ලත් එයින් හට ගන්නේය: සත්ත්වයෝ ද එයින් ම පහළ වන්නෝය: විනාශය පැමිණි කල්හි නැවත සියල්ල ම ඒ ප්‍රකෘති ස්වභාවයට පැමිණ සැඟවෙන්නේ ය: ලොව මවන්නා වූ, මවා පාලනය කරන්නා වූ, ප්‍රකෘති ස්වභාවයෙන් අන්‍ය වූ ඊශ්වරාදි කිසිවෙක් නැත යනු එක් දෘෂ්ටියෙකි. එයට ‘ප්‍රධාන වාදය’ යි ද ‘ප්‍රකෘති වාදය’ යි ද කියනු ලැබේ.
(3) දිව්‍ය බ්‍රහ්මාදි කිසි ම කෙනකුගේ බලයකින් නොව කාලය හේතු කොට ම ලෝකයේ ද සත්ත්වයන් ගේ පහළ වීමත් විනාශයක් වන්නේ ය: ලොව මවන්නාත් නසන්නාත් කාලය ම ය යනු එක් දෘෂ්ටියකි. එයට “කාලවාදය” යි කියනු ලැබේ.
(4) උල් කරන්නා වූ කෙනකු නො මැති ව ගස්වල කටු උල් වීම ය, වට කරන්නකු නොමැතිව බෙලි දිවුල් ආදි ගෙඩි වටවීම ය, විසිතුරු කොට සරසන කෙනකු නොමැතිව මෘග පාක්ෂීන්ගේ ශරීර නොයෙක් වර්ණවලීන් සැරසීම ය යනාදිය ස්වභාව ශක්තියෙන් ම සිදුවන්නාක් මෙන්, ස්වභාව ශක්තියෙන් ම ලෝකය මැවී ස්වභාව ශක්තියෙන් ම ලෝකය නැසේ ය යනු එක් දෘෂ්ටියකි. එයට ‘ස්වභාව වාදය’ යි කියනු ලැබේ.
සමුදය සත්‍යය නො දැකීමෙන් නැගී තිබෙන්නා වූ තවත් මෙබඳු මිථ්‍යාවාද සියල්ල ම සමුදය සත්‍යය අවබෝධ කරන්නා වූ තැනැත්තාට සම්‍යග්දෘෂ්ටිය නිසා දුරු වන්නේ ය. ඇතැමෙක් සත්‍ය වූ නිර්වාණය නො දැනීම නිසා අසංඥතල අරූපතලාදි ස්ථානයන් නිර්වාණයයි වරදවා ගෙන ඒවාට පැමිණෙනු සඳහා උත්සාහ කරන්නාහු ය. නිරෝධ සත්‍යාවබෝධක ඥානය එබඳු හැඟීම් දුරු කරන්නේ ය. මාර්ග සත්‍යාවබෝධක ඥානය කාමසුඛල්ලිකානුයෝග අත්තකිලමථානුයෝගාදි වූ අවිශුද්ධ මාර්ගයන් විශුද්ධි මාර්ගය යි වරදවා ගෙන පිළිපදින්නවුන්ගේ ඒ වැරදි හැඟීම් දුරු කරන්නේ ය.
මේ සම්‍යග් දෘෂ්ටි සංඛ්‍යාත මාර්ගාංගය ස්වසන්තානයෙහි උපදවනු කැමතියන් විසින් ලබනු කැමතියන් විසින් දුඃඛාදි ආර්‍ය්‍ය සත්‍යයන් වෙන වෙන ම ගුරුන් වෙතින් උගෙන නැවත නැවත පුරුදු පුහුණු කළ යුතු ය. එසේ කරන කල්හි ඒ ඒ සත්‍යයන් දන්නා වූ සම්‍යග් දෘෂ්ටිය ඔවුන් තුළ පහළ වන්නේ ය. ඒ ඥානය ලෞකික ය. එය දියුණු කර ගෙන යන කල්හි යම් කිසි දිනයක දී ආර්‍ය්‍ය සත්‍ය සතර ම එක් වර දැක කෙලෙසුන් නසා නිවනට පමුණුවන්නා වූ ලෝකෝත්තර සම්‍යග් දෘෂ්ටිය මාර්ග චිත්තයන් සමග පහළ වන්නේ ය.