නිවනට පැමිණීමේ නො වරදින මාර්ගය වූ ලෝකෝත්තර ඥානයට හුදකලාව ම නිවන් දක්නටත් තෘෂ්ණාව නසන්නටත් නො පිළිවන. එයට විශේෂයෙන් උපකාර වෙමින් එය හා බැඳී පවත්නා වූ එක්ව උපදින්නා වූ තවත් ධර්ම සතක් ඇත්තේ ය. ඒ ධර්ම සත ද මේ මාර්ග සත්‍යයට ඇතුළත් වන්නාහ. එබැවින් සර්වාකාර පරිපූර්ණ කොට මාර්ග සත්‍යය දක්වා වදාරන්නා වූ තථාගතයන් වහන්සේ විසින් -
“කතමඤ්ච භික්ඛවෙ, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සච්චං? අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො. සෙය්‍යථිදං? සම්මාදිට්ඨි, සම්මාසංකප්පො, සම්මාවාචා, සම්මා කම්මන්තො, සම්මාආජීවො, සම්මා වායාමො, සම්මාසති, සම්මාසමාධි, ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛ නිරොධගාමිනී පටිපදා අරිය සච්චං” යි
වදාරන ලද්දේ ය. “මහණෙනි, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය කවරේද යත්? මේ ආර්‍ය්‍ය වූ අංග අටක් ඇත්තා වූ මාර්ගය යි. හේ කවරේද යත්? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොහු ය. මහණෙනි, මෙය දුඃඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍ය යයි කියනු ලැබේ” ය යනු එහි තේරුම යි. මේ දේශනාවෙන් “ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය” යි කියනු ලබන-
- සම්‍යක් දෘෂ්ටිය
- සම්‍යක් සංකල්පය
- සම්‍යග් වචනය
- සම්‍යක් කර්මාන්තය
- සම්‍යගාජීවය
- සම්‍යග් ව්‍යායාමය
- සම්‍යක් ස්මෘතිය
- සම්‍යක් සමාධිය
යන මේ චෛතසික ධර්ම අට දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සච්ච යයි දක්වන ලද්දේ ය. මෙහි සම්මා දිට්ඨි යනුවෙන් දක්වා තිබෙන්නේ යට කී තෘෂ්ණාව නසන්නා වූ ප්‍රඥාවය ය. සම්මා සංකප්පො යනාදීන් දක්වන ලදුයේ ඒ ප්‍රඥාව හා බැඳී පවත්නා වූ එයට උපකාර ධර්ම සත ය.
මේ චෛතසික ධර්ම අට පෘථග්ජන පුද්ගලයන් තුළ ද උපදනාහු ය. එහෙත් මේ අට ම එක සිතක් සමග එකවර පෘථග්ජන චිත්ත සන්තානයෙහි නූපදිති. පෘථග්ජන සන්තානයෙහි උපදිනුයේ එක් එක් වරකට එයින් කීපයක් කීපයක් බැගිනි. කීපය බැගින් උපදනා වූ ඒ ධර්මයන්ට මාර්ගාංග යන නාමය ද මාර්ග යන නාමය ද ලැබෙන නමුත් තෘෂ්ණා නාශක ශක්තිය ඒවාට නැති බැවින් ඒවා නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්ච නො වෙති. මාර්ග සත්‍යය වනුයේ අට ම එකවර කෙලෙස් නැසිය හැකි ශක්තියෙන් යුක්තව උපන් කල්හි ය.
ක්ලේශ නාශක ශක්තියෙන් යුක්තව ලෝකෝත්තර භාවයට පැමිණ අට ම එකවර එක චිත්තයක උපදනා කල්හි ඒ ධර්මයන්ට පළමු වර පහළවීමේ දී සෝවාන් මාර්ග ය යි ද, දෙවන වර එසේ පහළවීමේ දී සකෘදාගාමී මාර්ග ය යි ද, තුන්වන වාරයේ දී අනාගාමී මාර්ග ය යි ද, සතරවන වාරයේ දී අර්හත් මාර්ග ය යි ද කියනු ලැබේ. මේ ධර්ම අට ලෝකෝත්තර වශයෙන් එකවර චිත්ත සන්තානයෙහි උපදවා ගත හැකි වන්නේ ඒ ධර්ම වෙන් වෙන් වශයෙන් ම සිය සිත් සතන්හි පෘථග්ජන කාලයේ දී දියුණු කළ තැනැත්තාට ය.
එබැවින් ලෝකෝත්තර මාර්ගය උපදවා නිවන් පසක් කරනු කැමති සත් පුරුෂයන් විසින් සම්‍යග්දෘෂ්ට්‍යාදි ධර්ම වෙන වෙන ම සිය සිත් සතන්හි දියුණු කළ යුතුය. එසේ දියුණු කරන්නා වූ තැනැත්තාට කවදා නමුත් එහි අවසානය වූ ලෝකෝත්තර මාර්ගය පහළ වන අවස්ථාවක් එළඹෙන්නේ ය. එසේ නො කරන්නා වූ තැනැත්තන්ට ඒ අගනා මොහොත කිසි කලෙක නො එළඹෙන්නේ ය. පූර්වභාගයෙහි ඒ ධර්ම වෙන් වෙන්ව දියුණු කර ගත හැකි වීමට ද ඒ ධර්ම අට මනා කොට දත යුතුය. එබැවින් මෙතැන් පටන් එකින් එක ඒවා විස්තර වශයෙන් දක්වනු ලැබේ.