රාහුල කුමරුන් මහණ කිරීම

star_outline

බුද්‍ධත්වයෙන් දෙවෙනි වසැ සැටවක්දා

භාග්‍යවතුන් වහන්සේ, කපිලවාස්තු පුරයට වැඩීමෙන් සත් වන දවසෙහි භික්ෂු පිරිස පිරිවරා රජ ගෙට වැඩ, දන් වැළඳූ සේක. යශෝධරා දේවී සත් හැවිරිදි වූ රාහුල කුමරුවා මනා කොට හඳවා පලඳවා “පුත, විසි දහසක් ශ්‍රමණයන් වහන්සේ විසින් පිරිවරන ලදුව, රන් පැහැයෙන් බබලමින් තෙල වැඩ ඉන්නේ නුඹේ පියා ය.”143 යන ආදීන් කියා පියා සතු ධනය ඉල්ලනු පිණිස භාග්‍යවතුන් වහන්සේ කරා යැවූ ය. හේ ද එහි පැමිණ ඉතා සතුටු සිතැති ව පිතෘස්නේහයෙන් “ශ්‍රමණයන් වහන්ස, ඔබ වහන්සේගේ සෙවණ මට ඉතා සැප යි” යන ආදීන් නොයෙක් සුරතල් බස් කියමින් සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අන්තයෙහි අනුමෝදන බණ වදාරා, හුනස්නෙන් නැඟිට වැඩිසේක. රාහුල කුමාර තෙම “ශ්‍රමණයන් වහන්ස, මට දායාද්‍යය දුන මැනවැ”යි කියමින් භාග්‍යවතුන් වහන්සේ පසු පස්සෙන් ගියේ ය. පස්සෙන් එන කුමරහු භාග්‍යවතුන් වහන්සේ නො ම නැවැත්වූ සේක. බලා සිටි පිරිස ද කුමරු ගේ ගමන නැවැත්වීමෙහි නො හැකි වූහ. මෙසේ කුමරු භාග්‍යවතුන් වහන්සේ සමඟ විහාරයට ම ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ “මා බෝ මැඩ දී ලත් සප්ත විධ ආර්‍ය්‍ය ධනය මොහුට දෙමි. ලෝකෝත්තර දායාද්‍යය මොහු හිමි කරන්නෙමි” යි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අමතා රාහුල කුමරු මහණ කිරීමට නියෝග කළ සේක.

“වහන්ස, කෙසේ රාහුල කුමරුවන් මහණ කරම් දැ?” යි සැරියුත් තෙරණුවෝ ඇසූහ. තිසරණ ගැන්වීමෙන් සාමණේර ප්‍රව්‍රජ්‍යාව144 සිදු කරන ලෙසට භාග්‍යවතුන් වහන්සේ අවසර දුන් සේක. ඉක්බිති මහා මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ කුමරුන් ගේ හිස කේ බා කසා වත් හඳවා තිසරණ සමාදන් කැරැවූ සේක. මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ අවවාදාචාර්‍ය්‍ය වූ සේක. ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ උපාධ්‍යාය වූ සේක.

රාහුල කුමරුන් පැවිදි කිරීම සුදොවුන් රජු ගේ බලවත් කනගාටුවට හේතු වී ය. එ බැවින් රජහු බුදුරජාණන් වහන්සේ වෙත එළැඹ වැඳ, එක් පසෙක හිඳ මා පියන් ගේ අවසර නැති ව දරුවන් මහණ නො කරන ලෙස වරයක් ඉල්ලූහ. ශික්ෂාපදයක් පැණවීමට මේ ආයාචනය බලාපොරොත්තුව හුන් බුදුරජාණන් වහන්සේ එයට ද අනුකූල වූ සේක. ඉක්බිති කාලෝචිත ධර්මාවවාදයෙන් රජුන් සතුටු කොට පින් දහම් කිරීමෙහි උත්සාහවත් කළ සේක. රජ බණ අසා සතුටු ව වැඳ නික්ම ගියේ ය. ඉන් පසු බුදුරජාණන් වහන්සේ භික්ෂූන් රැස් කරවා අවවාදානුශාසන කොට “මහණෙනි, මා පියන්ගෙන් අවසර නො ලත් දරුවා මහණ කළ යුතු නොවේ යැ” යි වදාළ සේක.

මහා ධර්මපාල ජාතකය දේශනා කිරීම, රජ අනාගාමී වීම, බුද්‍ධත්වයෙන් දෙවෙනිවසැ වෙසක් අව සතවක් දා

බුදුරජාණන් වහන්සේ පසු දා උදයැ රජ ගෙට වැඩි සේක. දන් වළඳා නිමැවූ විට සුදොවුන් රජහු භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ,

“වහන්ස, ඔබ දුෂ්කර ක්‍රියා කරන කාලයෙහි දිනක් එක් දේවතාවක “මහරජ, තොප පුත්‍රයා මළේ ය” යි කී නමුත් “මගේ පුත්‍රයා බුදු නො වී කළුරිය නො කෙරෙති”යි කියා ඒ දේවතාවාගේ කථාව නො පිළිගතිමි” යි කීහ. එ විට බුදුරජාණන් වහන්සේ,

“මහරජ, දැන් එ බඳු වචනයක් ඔබ කෙසේ නම් අදහත් ද? පෙර කලෙක “මේ මළා වූ නුඹේ පුත්‍රයා ගේ ඇට කැබලි යැ” යි අනෙකකු විසින් පෙන්වා කරුණු කී කල්හිත් ඒ වචන ඔබ නො ම ඇදහූහ” යි වදාරා ඒ ප්‍රවෘත්තිය විස්තර කිරීම් වශයෙන් මහා ධර්මපාල ජාතකය145 වදාළ සේක. ධර්ම කථාවසානයේ දී රජහු අනාගාමී ඵලයෙහි පිහිටියහ.

යශෝධරාවන්ගේ ශෝකය, ඇය පැවිදිවන්නට සැරැසීම

භාග්‍යවතුන් වහන්සේ රාහුල කුමරු මහණ කැරැ වූ බව ඇසූ යශෝධරාවෝ දරු සෙනෙහසින් හටගත් ශෝකය ඉවසා ගත නොහී,

“ම පුතණුවන් මගෙන් උදුරා ගත් බැවින් මම ගිහි ගෙයි නො වසමි. මහණ වෙමි” යි සැහැසි වූහ.

ඒ අසා සුදොවුන් රජ්ජුරුවෝ ඇය කරා ගොස් මෙ සේ ඔවා දුන්හ.

සුදොවුන් රජු යශෝධරාවනට අවවාද කොට සනසාලීම

ලෙහෙළිණියෙනි, එදා වදාළ වෙස්සන්තර ජාතකයෙහි තොප වැදු දරුවන් පූජක බමුණාට බැඳ දුන් කල පවා තොප දරු ශෝකය ඉවසා සිටි බව නො ඇසුවහු ද? දානපාරමිතාව පුරන අනන්ත ජාතීන්හි තොප වැදූ දරුවන් ඉල්ලා ආවුනට බැඳ දුන් වැල් පමණක් ගොඩ කළොත් මේරු පර්වතයටත් වඩා උස් වන බව වදාළා නො ඇසුවහු ද? මේ කිසි තැනෙක දී තොප දොම්නස් නොවූ බව වදාළා නො ඇසුවහු ද? මෙසේ කලැ දැන් උන් වහන්සේ බුදු වී, සිය පියා වූ මාත් ඇතුළු සකල ලෝකවාසීන් දරු කොට ගත් කලැ, තමන්ගේ ම දරුවා මහණ කැරැගත් බව ගැන කවර දොසක් කියමෝ ද? රාහුල කුමරුන් මහණ කැරැවූ බව අසා අද මම උන්වහන්සේ කරා ගියෙමි. ගොස් උන්වහන්සේ ගේ ධර්ම කථාව අසා, තොපට තවත් පුතකු නො සිටින හෙයින් මිස, සිටියි නම් ඔහුත් උන්වහන්සේ වෙතැ පැවිදි කරවා ලනු කැමැති වීමි. අද තෙපි ඒ බණ ඇසුවහු නම් මහණ කරවන්නට තවත් පුතක්හු ඇතොත් කොතරම් යසෙක් දැ”යි සිතන්නහු ම ය. පෙරැ බොහෝ දරුවන් දන් දුන් උන්වහන්සේට දැන් එක පුතකු නිවන් සැප වින්දැවීමට තමන් වහන්සේ වෙතට ගැනීම ගැන තොප ශෝක කිරීම අයෝග්‍ය ය. ඒ තොප වැන්නනට සුදුසු නො වේ. තොප පුතුට හොඳක් ම උන්වහන්සේ කළ සේක. පුත්‍රයා මහණ වී සිය පියාණන් ළඟ, සඳු පස්සේ යන නකත් තරුවක් සේ, සිටින්නහු දක්නා දරුවන් ඇතියවුනට ලොවැ තවත් එ වැනි සතුටෙක් කොයින් ද? තව ද ලෙහෙළිණියනි, මේ කාරණයෙහිදී තොප මහණ වූවොත් “එය සැදැහැයෙන් නො වේ. දරු සොවින් ම කළ එකෙකැ” යි ලෝවැසි තෙම තොප හෙළා දකී. ඒ බැවින් දැන් ම මහණ නො වව.”

මෙ සේ කියා ඇගේ ශෝකය ද නිවා මහණ වියැ නොදී ඇය රඳවා ගත්හ.