ඒරකපත්ත්‍ර නාගරජ සමාගමය

ඒරකපත්ත්‍ර නම් නා රජෙක් “බුදුවරයකු ලොව පහළ වූ විට ඒ පවත් මහ ජනයා මගින් දැන ගනිමි”යි සිතා, සිය දුවට ගාථාවක් උගන්වා ගංගා නදිය මත්තෙහි සිට ඇය නටවමින් ගයවයි.

“යමෙක් මැය ගයන ගීතයට සරිලන ප්‍රතිගීතයක් ගෙනේ නම් ඔහුට මැය මහත් සම්පත් හා පාවා දෙන්නෙමැ” යි ප්‍රසිද්‍ධ කැරැවී ය. හෙතෙම අඩමසක් පාසා පොහෝ දිනයන්හි ඇය ලවා ගයවමින් නටවයි. මෙසේ දීර්ඝ කාලයෙක් ගත විය.

අප බුදුරජාණන් වහන්සේ බුදුවැ සත්සති ගෙවා බරණැස් වැඩ දම්සක් දෙසා පළමු වැසි සමයෙහි ඉසිපතන්හි වසන සේක්, පසොළොස්වක් දිනෙක අලුයම්හි සිරිත් පරිදි නිවන් අවබෝධ කළ හැකි සත්ත්වයන් සොයනු පිණිස ලොව බැලූ සේක්, ඒරකපත්ත්‍ර නාගරාජාදීන් දැක, බරණැසින් නොදුරු තන්හි ප්‍රසිද්‍ධ වැ පැවැති රිටිගස් සතින් එකක් මුලට වැඩහුන් සේක.

මෙදිනැ දඹදිව නොයෙක් පළාත්වලින් බොහෝ ජනයෝ ඒරකපත්‍රනාගරාජයාගේ දුව ගේ ගීතයට ප්‍රතිගීත ගොතා ගෙන ගංගා නදිය අසළ රැස්වූහ. භාග්‍යවතුන් වහන්සේ එහි යන උත්තර නම් මානවකයා දැක “කැඳවා කොයි යෙහිදැ?” යි විචාළ සේක. ඒරකපත්‍රයාගේ දුව ගයන තෙනට යනබව හේ කීය. ඇය ගේ ගීතයට ප්‍රතිගීතයක් දන්නෙහි දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.

“දනින් වහන්සැ”යි මානවකයා කීය.

“එය කියව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. හේ කී ය. භාග්‍යවතුන් වහන්සේ ඔහු අමතා,

“මෙය ඇය ගේ ගීතයට පිළිගීයක් නොවේ. මම නුඹට පිළිගීයක් දෙන්නෙමි. එය ගෙන යවැ” යි වදාළ සේක. හේ “මැනැවැ” යි පිළිගත. භාග්‍යවතුන් වහන්සේද ඔහුට ගීයක් උගන්නා “උත්තරය, මෙය යුෂ්මතා ගැයූවිට ඕ මෙ නම් ගීයක් ගයන්නී ය. එයට ප්‍රතිගීත විසින් මෙය ගයව”යි තවත් ගීයක් උගන්වාලූ සේක.

උත්තර මානවකයා මේ ධර්මනිඃශ්‍රිත ප්‍රතිගීත ඉගෙන ගන්නේ ම එහි අරුත් මෙනෙහි කොට සෝවාන් වීය.

මෙසේ උත්තර තෙම ප්‍රතිගීත ඉගෙන යට කී ගංගා තට ප්‍රදේශයට පැමිණ, රැස් වැ සිටි මහජනයා මැදින් ගොස් තමා පිළිගීයක් ගෙනා බව කී ය.

එවිට නාග මානවිකා තොම,

“කුමකට අධිපති පුද්ගල තෙම රජ නම් වේ ද? කෙසේ වනාහි රජ තෙම රජස්වර නම් වේ ද? කෙසේ නම් ඒ රජ තෙම විරජ වේ ද? ඒ රජ කෙසේ නම් බාලයෙකැ යි කියනු ලැබේ ද?” යන අර්ථ ඇති ගීතයක් ගැයූ ය.

එවටැ උත්තර මානවක තෙම භාග්‍යවතුන් වහන්සේ උගන්වාලූ පරිදි,

“චක්ෂුරාදි සදොරට අධිපති ව ඒ එක් දොරෙකත් රූපාදි අරමුණුවලැ නො මැඩුණු පුද්ගල තෙම රජ නම් වෙයි. යමෙක් වූ කලී ඒ රූපාදි අරමුණුවලැ රජ්ජමාන ද (-ඇලෙන්නේ ද) හෙ තෙම රජස්සර නම් වේ. ඒ අරමුණුවලැ නො ඇලෙන පුද්ගල තෙම විරජ නම් වේ. ඇලෙන තැනැත්තේ වනාහි “බාලයා” යි කියනු ලැබේ.” යන මේ අදහස් ඇති ප්‍රතිගීතය ගැයුවේ ය.

එවිට නාග මානවිකාව -

“බාල (අඥ) තෙම කිමෙකින් පහළට ඇද ගෙන යනු ලැබේ ද? එය පණ්ඩිත තෙම කෙසේ දුරු කෙරේ ද? කෙසේ නම් යෝගක්ෂෙමි (බන්ධනයෙන් මිදී නිරුපද්‍රැත) වේ ද? එය මට කියා දුන මැනැවි.

යන අර්ථ ඇති ගීතයක් ගැයුවා ය.

එයට ප්‍රතිගීත වශයෙන් උත්තර තෙම තමාට භාග්‍යවතුන් වහන්සේ උගන්වා ලූ,

“කාමෝඝාදි සතර ඕඝයෙන් බාල තෙම ඇදී යයි. පණ්ඩිත තෙම සම්‍යක්ප්‍රධාන වීර්‍ය්‍ය නැමැති යෝගයෙන් ඒ සතර ඕඝයන් දුරු කෙරේ. කාමාදි සියලු යෝග (යොත්) වලින් මිදුණු පුද්ගල තෙමේ යෝගක්ෂෙමි නම් වේ” යන අදහස ඇති පිළිගීය ගැයී ය.

ඒරකපත්‍ර තෙම එය අසා “මේ නම් බුදුවරයක්හු ගේ විසර්ජනයෙකැ”යි සිතා අතිප්‍රීත ව උත්තර මානවකයා වෙත අවුත් ඔබට මෙය ඉගැන්වූ “ශාස්තෘන් වහන්සේ කොහි දැ?” යි ඇසී ය. “අර රුක්මුලැ ඉන්නා සේකැ” යි හේ කීය. ඉක්බිති නාරජ ඔහු හා භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. සෙසු සියල්ලෝ ද නා රජහු හා ම ගියහ.

භාග්‍යවතුන් වහන්සේ ඒරකපත්ත්‍රයා ආදි කොටැති ඒ පිරිසට දම් දෙසන සේක්,

“මනුෂ්‍යත්වය දුර්ලභ ය. සත්ත්වයන් ගේ දිවි පැවැත්වීම දුකසේ කටයුතු ය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභ ය. බුදුවරුන්ගේ පහළ වීම දුර්ලභ යැ”යි විස්තරයෙන් දහම් වදාළ සේක. දේශනාවසානයෙහි සුවාසූ දහසක් ප්‍රාණීන්හට ධර්මාභිසමය වී ය.