ඉසිපතනයට වැඩීම

සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ නගරයට නොදුරු වූ ඉසිපතනයට සමීප වූ සේක. පස්වග තවුසෝ ඈත වඩනා භාග්‍යවතුන් වහන්සේ දුටුවෝ ය. දැක,

“ආයුෂ්මත්නි, ශ්‍රමණ ගෞතමයෝ ප්‍රධන් වීර්‍ය්‍යයෙන් පහ වැ, සුව පහසු ප්‍රත්‍යය පරිභෝගයට පෙරැළී බැස, බුදු වී ගත නොහී, දැන් අප කරා එති. ඔහු දැක හුනස්නෙන් නැඟීම හෝ ඉදිරියට ගොස් පා සිවුරු පිළිගැනීම හෝ වැඳීම හෝ නො කළ යුතු. උසස් කුලෙහි උපන් බැවින් හිඳිනා අසුන් පමණක් පැණැවිය යුතු”යැ යි කතිකා කැරැ ගත්හ.

එහෙත් බුදුරජාණන් වහන්සේ ළං වත් වත්ම ඔහු තමන් කැරැ ගත් කතිකායෙහි පිහිටා සිටින්නට නො හැකි වූහ. එක් තවුසෙක් පෙරමුණට ගොස් පාත්‍ර චීවර පිළිගත්තේ ය. එක් තවුසෙක් අසුන් පැණැවී ය. තවත් තවුසෙක් පා සේදීමට දිය ද පා පුටුව ද පාද කඨලිකාව ද ගෙනවුත් ළං කොට තැබී ය.

භාග්‍යවතුන් වහන්සේ ද පැණැ වූ ආසනයෙහි හිඳ පා සේදූ සේකි. ඉන් පසු තවුසෝ බුදු රජාණන් වහන්සේට පෙරැ සේ තමනට සම කෙනෙකුට කථා කරන්නාමෙන් “ඇවැත්නි,86 ගෞතමයනි,” කියා ආමන්ත්‍රණය කරන්නෝ “ඇවැත්නි ගෞතමයනි, අපි ඒ කාලයෙහි උරුවේලායෙහි වසන්නමෝ ඔබ ගේ පා සිවුරු ඔසොවා ගෙන හැසුරුණමු. මුව දෝනා දිය හා දැහැටි පිළියෙල කොට දුනුමු. ඔබ වුසූ පිරිවෙන ඇමැද්දමු. ඉන් පසු ඔබට වත් පිළිවෙත් කොළෝ කවුරු ද? අප ඔබ හැර දමා ගිය කලැ අප ගැන යමක් සිතුණේ නැද්ද?” යන ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ හා කථාවට පටන් ගත්හ. එ විටැ භාග්‍යවතුන් වහන්සේ ඔවුන් අමතා, “මහණෙනි, තථාගත වූ තැනැත්තහුට “ඇවැත්නි” කියාත්, නම කියාත්, ආමන්ත්‍රණය නො කරවු, මහණෙනි, තථාගත තෙම සියලු කෙලෙස් නැසූයෙකි, මනා කොට සියලු ධර්මයන් තෙමේ ම අවබෝධ කළ කෙනෙකි. මහණෙනි, කන් යොමු කරවු. තථාගත වූ මා විසින් නිවන ලද්දේ ය. ඒ මම් යුෂ්මත්නට අනුශාසනා කරමි, දහම් දෙසමි. කුල පුතුන් ගිහි ගේ හැර දමා නිසි සේ බඹසර රැකීමෙන් ලබන්නට බලාපොරොත්තු වන ඒ ඉතා උතුම් රහත් බව මා අනුශාසනා පරිදි පිළිපැදීමෙන් යුෂ්මත්හු තුමූ ම ලබාගෙන වසවු යැ” යි වදාළ සේක.

එවිට පස්වග මහණහු “ආයුෂ්මත්නි, ඒ දවස්වලැ දී ඒ තරම් වීර්‍ය්‍යයෙනුත් එ තරම් දුෂ්කර ක්‍රියායෙනුත් ඔබට ලෝකෝත්තර ගුණයෙක් නො ලැබුණේ නම්, කිම! ඔබට ලෝකෝත්තර ධර්ම පහළ වූයේ දුෂ්කර ක්‍රියා හැර දමා ආහාරපානාදි ප්‍රත්‍යයයන් බහුල කොට ගැනීමෙන් ශරීරයට සැප පහසු සලසාලීමෙන් දැ?” යි කීහ.

එවිට බුදුරජාණන් වහන්සේ “මහණෙනි, තථාගත තෙම ප්‍රත්‍යය බහුල කොට ගැනීමට බැස්ස කෙනෙක් වත් වීර්‍ය්‍ය හැරැ දැමූ කෙනෙක්වත් නො වේ. තථාගත තෙම, අර්හත් ය, සම්‍යක්සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. මා විසින් නිවන් ලද්දේ ය. මම යුෂ්මත්නට අනුශාසනා කරමි, දහම් දෙසමි, කුලපුතුන් ගිහි ගේ හැර දමා ගොස් පැවිදිව නිසි ලෙස බඹසර රැකීමෙන් ලබන්නට බලාපොරොත්තු වන ඉතා උතුම් වූ ඒ රහත් පදය මා අවවාදානුශාසන පරිදි පිළිපැදීමෙන් යුෂ්මත්හු තුමූ ම මේ අත්බව්හි දී ම ලබා වසන්නහු යැ” වදාළ සේක. මෙසේ වදාළ විට ද පස්වග මහණහු පළමු සේම කීහ. නැවතත් බුදුරජාණන් වහන්සේ පළමු සේ ම වදාළාහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුන් අමතා වදාරන සේක් “මා ඒ උරුවෙල් දනව්වේ යුෂ්මතුන් හා වැස ප්‍රධන් වීර්‍ය්‍ය කරන කාලයෙහි කිසි ම දිනෙකැ යුෂ්මතුන් රවටා සනසනු සඳහා, “මට මෙසේ එලියෙක් පෙනේ යැ කියා හෝ මෙසේ අමුතු අරමුණෙක් පෙනේ යැ කියා (නො ලැබූ යමක් ලැබීමි යි) බොරුවක් කී බවක් මතක ද? යි ඇසූ සේක. මෙ සේ වදාළ විට පස්වග තවුසෝ කාරණය තේරුම් ගෙන උන් වහන්සේ “බුදු බව ලැබුණේ යැ” යි කළ ප්‍රකාශය සත්‍ය යැ යි පිළිගත්හ. “ස්වාමීනී, ඔබ වහන්සේ බොරුයෙන් අප කිසි කලෙකත් නො රැවටූ සේකැ” යි ඔවුහු කීහ. එ විට බුදුරජාණන් වහන්සේ පළමු වදාළ සේ ම “මහණෙනි, තථාගත තෙම අරහත් ය, සම්‍යක්සම්බුද්ධය” යන ආදිය වදාළ සේක. පස්වග තවුසෝ භාග්‍යවතුන් වහන්සේ බුදුබව ලත් බැවින් ම මෙසේ වදාරන සේකැ” යි පිළි ගත් හ. පිළිගෙන ධර්ම ශ්‍රවණයට සැරසුණ හ.