මෙසේ සිත තුළැ ම උදන් අනා, ඉක්බිති, “මම සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මේ පළඟ (පර්යංකය) පිණිස දිවැ ආමි. මේ මා ජයග්‍රහණය කළ විජයපර්යංක යැ. “චතුරංගික වීර්‍ය්‍ය වඩමි ඉටා මා බුදු වූයේ මේ පළඟෙහි යැ” යි සිතූ සේක්, පළඟ නො ලිහා මැ, උන් සැටියෙන් මැ ඉඳගෙන අර්හත්ත්වඵල සමාපත්තියට සිය දහස් ලක්ෂ කෝටි වාර ගණනක් සමවදිමින් සතියක් මැ කල් යැවූ සේක. සතිය අවසන් වූ දා රෑ අනුලෝම වශයෙන් පටිච්ච සමුප්පාදය63 මෙනෙහි කළ සේක. (ප්‍රත්‍යය වන දෑ ද එයින් එයින් උපදනා (ප්‍රත්‍යයෝත්පන්න) දෑ ඉපිදෙමින් ඉදිරියට යන සැටි ද මෙනෙහි කළ සේක. ඉක්බිති (යාමය අවසනැ) “වීර්‍ය්‍යවත්, ධ්‍යාන වඩන, පව් බැහැර කළ යෝගාවචරයාට බෝධි පාක්ෂික ධර්ම සිතැ පහළ වන ක්ෂණයෙහි සියලු සැක දුරු වේ.”64 යැයි ප්‍රීති වාක්‍යය මුවින් පිට කළ සේක.
යලි රෑ මධ්‍යම යාමයෙහි පටිච්ච සමුප්පාද ය ප්‍රතිලෝම වශයෙන් “මෙය නො උපන් කලැ මෙ නම් දෑ නො උපදී” යැයි මෙනෙහි කළ සේක. මැදුම් ය ම අවසනැ,
“කෙලෙස් තවන වැර ඇති, ධ්‍යාන කරන, පව් බැහැර කළ යෝගියාහට බෝධි පාක්ෂික ධර්ම පහළ වන කෙණෙහි අවිද්‍යාදි ප්‍රත්‍යයන්ගේ ක්ෂයයට කාරණ වූ නිවන නුවණැසට ඉලක්ක වන බැවින් එය පිළිබඳ වූ ඔහු ගේ සියලු සැක දුරුවැ යේ” යැයි මේ දෙවෙනි ප්‍රීතිවාක්‍යය ද මුවින් පිට කළ ස්ක.
රෑ තුන් වන යාමයෙහි උන් වහන්සේ පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙන් ද ප්‍රතිලෝම වශයෙන් දැයි දෙසැටියෙන් ම මෙනෙහි කළ සේක. යාමය අවසන් වූ කෙණහි,
“කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති, ධ්‍යාන වඩන, පව් බැහැර කළ යෝගී තෙම, තමා තුළ බෝධිපාක්ෂික ධර්ම පහළ වූ කෙණෙහි, අඳුර දුරැ ගසා අහස බුබුලුවන හිරු සෙයින් සියලු මර සෙන් බිඳ හරිමින් සිටී” යැ යි මේ ප්‍රීතිවාක්‍යය මුවින් පිට කළ සේක.
යමා පෙළහර
බුදු වීමෙන් පසුත් උන් පළඟ නො ලිහා ම බෝ මුලැ භාග්‍යවතුන් වහන්සේ ඉන්නා දුටු ඇතැම් දේවතා කෙනෙක්නට71 තව ම සිද්‍ධාර්ථයන් වහන්සේ විසින් කළ මනා කෘත්‍ය ඇත්තේ වන. පළඟෙහි ඇල්ම නො හැරියේ එහෙයින් දෝ”යි කල්පනා විය. එවිටැ භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ පරිවිතර්කය දැන, අහස් නැග ඔවුන් විතර්ක දුරු කිරීමෙහි සමර්ථ වූ යමා පෙළහරක් දැක් වූ සේක.