වෙසක් මස පුර තුදුස්වක් විය. එ දින රාත්‍රියෙහි නිද්‍රෝපගත වූ බෝධිසත්ත්ව රාජර්ෂීන් වහන්සේ එළි වීගෙන එන වේලෙහි පහත සඳහන් සීන පස දුටු සේක.
පළමු සීනය
“මහ පොළොව යහනෙක් වී ය. හිමාලය පර්වතය කොට්ටය විය. එහි උඩුකුරු වැ නිදන බෝසතාණන්ගේ දකුණත අවර සයුරෙහි ද, වමත පෙර සයුරෙහි ද, පා දකුණු සයුරෙහි ද බැහුණා හ.” මේ උන් වහන්සේ දුටු පළමු සීනය යි . (මෙය උන් වහන්සේ ලොවුතුරා බුදුවන බවට පෙර නිමිත්ත ය.)
දෙවෙන සීනය
“උන් වහන්සේ ගේ නාභියෙන් රතු ඊතන ගසෙක් ඉතා උසට නැගී අහසැ පැතිර සිටියේ ය.” (මේ ස්වප්නය උන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතිවේධ කොට ලොවට ප්‍රකාශ කරන බවට පෙර නිමිත්ත ය.)
තෙවෙන සීනය
“කළු හිස් ඇති සුදු පණුවෝ පා මුලින් නැගී දණ ඉස දක්වා වසා ගත්හ.” (මෙය බොහෝ ගිහියන් උන් වහන්සේ ගේ උපාසකයන් වන බවට පෙර නිමිත්ත ය.)
සිවු වන සීනය
“නානා වර්ණ ලිහිණියෝ සිවුදෙනෙක් සතර දෙසින් පියාඹා අවුත් උන් වහන්සේ ගේ පා මුලැ හොත්තෝ වහා සුදු පැහැ වූහ. (මෙය සිවු කුලයන් හි ම ජනයා සස්නෙහි පැවිදි වැ පිරිසිදු වැ නිවන් පැමිණෙන බවට පෙර නිමිත්ත ය.)
පස් වන සීනය
“උන් වහන්සේ මහත් අශූචි පර්වතයක් මතුයෙහි ඒ අශූචි යෙන් නො තැවරී සක්මන් කළ සේක.” (මෙය සිවුපස බොහෝ සේ ලැබෙතත් එහි නො ඇලෙන බවට පෙර නිමිත්ත ය.)
අජපල් නුගරුක් කරා යාම
“මහා පුරුෂයාණන් වහන්සේ මෙකී ස්වප්න පස දැක, තුමූ ම ඒ විසඳා බලා, තමන් ‘බුදු වන බව නිසැක’ යි දැනැ, පසු දා උදය ම සිරුරු පිළිදැගුම් කොට, ගොස් අජපල් නුග රුක් මුල භික්ෂාචාර වේලාව තෙක් පෙර දිගට මුහුණ ලා වැඩ උන් සේක.