බුදුරජාණන්වහන්සේ සැවැත්පුර වසන සමයෙහි සැරියුත් තෙරණුවෝ දිනක් තමන් ජීවත්විය හැකි කාලය බලා “තව ජීවිත කාලය සතියෙකැ” යි දැන මවු සම්‍යග්දෘෂ්ටියෙහි පිහිටුවා, තමන් උපන් ගෙයි දී ම පිරිනිවන් පෑ යුතු යැ යි සනිටුහන් කොට භාග්‍යවතුන් වහන්සේට ඒ බව දන්වා, වැඳ අවසර ගෙන, මහද්භික්ෂු පිරිසක් හා තමන්ගේ උපන් ගම වූ නාලක නම් ගමට වැඩියහ. උන්වහන්සේ වදාළ බණ අසා මවු සෝවාන් පෙළෙහි පිහිටියහ. එදා අලුයම්හි සැරියුත් තෙරණුවෝ පිරිනිවන් පෑහ. ආයුෂ්මත් චුන්ද ස්ථවිරයන් වහන්සේ සැරියුත් තෙරුන්ගේ පාත්‍ර සිවුරු ද ධාතු ඇතුළත් පෙරහන ද ගෙන ජේතවනයට පැමිණ අනඳ තෙරුන් කැටුව භාග්‍යවතුන් වහන්සේ වෙත ගියහ. භාග්‍යවතුන් වහන්සේ ධාතු බහාලූ පෙරහන පිළිගෙන සැරියුත් තෙරුන් ගේ ගුණ වදාරා, ඒ ධාතූන් නිදන් කොට චෛත්‍යයක් කරවා, ඉක්බිති භික්ෂු පිරිස පිරිවරා රජගහ පුරයට වැඩි සේක.