හස්ති තෙම බුදුරජාණන් වහන්සේ දුටු හැටියේ ම සොඬ අකුලා දන බිම ඇන නමස්කාර කෙළේ ය. ඉන් පසු වට පිට බලා කිසිවකු නො දැක එ රුක යටැ භූමිභාගය පයින් පැහැර අතු කැබැල්ලක් සොඬින් ගෙන හැමැද්දේ ය. එතැන් පටන් හස්ති තෙම භාග්‍යවතුන් වහන්සේට බීමට ද මුහුණ දෙවීම් ආදී පරිභෝගයට ද වතුර පිළියෙල කැරැදෙයි. උණු දියෙන් ප්‍රයෝජන ඇතැයි හැඟුණු විට උණු දිය ද පිළියෙල කෙරෙයි. ඒ මෙසේ ය: ගිනි ඉපැද විය හැකි දඬු සොඬින් ගෙන එකට මැද ගිනි උපදවයි. ඉක්බිති දර කැබලි ගොඩ ගසා ගිනි දල්වා ඒ ඒ ලොකු ගල් ගෙනවුත් ඒ ගිනි ගොඩෙහි දමා රත් කරයි. ගල් රත් වූ පසු දඩු කැබැල්ලක් ගෙන ඒවා පෙරළාගෙන ගොස් දිය පිරුණු කුඩා ගල් වලෙක හෙලා ලයි. ඉන්පසු සොඬය බහා රත් වූ බව දැන භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් සොඬ අකුළා දන බිම ඇන හිඳියි. එවිට බුදුරජාණන් වහන්සේ එහි වැඩ ජලස්නානය කරන සේක. ඉක්බිති හස්තියා නොයෙක් ඵල වර්ග ගෙනවුත් පිළිගන්වයි. භාග්‍යවතුන් වහන්සේ ගමට පිඬු පිණිස වඩනා විට හස්ති තෙම පාත්‍රය හා දෙපට සිවුර කුම්භස්ථලයෙහි තබා ගෙන උන්වහන්සේ හා යයි. වනයෙන් ගමට බස්නා සීමාවේ දී ඇතු නවත්වා බුදුරජාණන් වහන්සේ හුදෙකලා ව ම පා සිවුරු ගෙන ගමේ පිඬු පිණිස හැසිර ආපසු වඩනා සේක. ඇත් තෙම මග බලා සිට භාග්‍යවතුන් වහන්සේ එහි වැඩි කෙණෙහි පාත්‍රය හා දෙපට සිවුර ගෙන ඔබ කැටුව සල් රුක වෙතට යයි. ගොස් පාත්‍ර සිවුරු පන්සලෙහි තබා අත්තෙකින් පවසන් සලයි. නැවැත රාත්‍රී කාලයෙහි චණ්ඩ මෘගයන් ගෙන් උපද්‍රව වළක්වන අදහසින් මහත් දංඩක් සොඬින් ගෙන ඒ ලැහැබෙහි අතර තුරැ හැසිරෙයි. බුදුරජාණන් වහන්සේ රක්ෂිත කැරැ (රැක) ගන්නා අදහසින් ඒ ඇතු හැසිරුණු වන ලැහැබට එ තැන් සිට රක්ෂිත වන ලැහැබ යැ යි නම් විය. එළි වූ කල්හි මුහුණ සේදීමට පැන් දීම් ආදී වශයෙන් මෙසේ ඒ හස්ති තෙම බුදුරජාණන් වහන්සේට සියලු වත් පිළිවෙත් කරයි.