එ සමයෙහි ඒ ඝෝෂිතාරාමයෙහි වැසි විනයධර ස්ථවිර නමක ගේත් ධර්ම කථික ස්ථවිර නමකගේත් විවාදයෙක් වී ය. ස්වල්පයෙන් පටන් ගත් විවාදය ඒ දෙදෙනා ගේ පක්ෂයට බොහෝ පෘථග්ජන ගිහි පැවිද්දන්ගේ බැඳීමෙන් ක්‍රමයෙන් දියුණු වී ය. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට කළහ විවාද අසමග බව්හි ආදීනව වදාරන සේක්, ලටුකික ජාතක, වට්ටක ජාතක, දීඝිති කෝසල ජාතක යන මෙයින් අවවාදානුශාසනා කළ සේක. එහෙත් ඔහු ශමථයකට නො පැමිණියහ. බුදුරජාණන් වහන්සේ මතු ඔවුන් සමගියට පැමිණවියැ හැකි අයුරු ද ඊළඟ වස් කාලයෙහි පාරිලේය හස්ති ආදී කීප දෙනෙකුනට තමන් වහන්සේ නිසා ලැබෙන අර්ථ සිද්‍ධිය ද දැක, විවේකය ද කැමැති වැ, පාරිලේය වනය දෙසට යන්නට අදහස් කළ සේක. එ සේ අදහස් කොට කොසඹෑ පුරයෙහි පිඬු පිණිස හැසිර කිසිවකුටත් නො දන්වා හුදෙකලා ව ම වැඩි සේක.