උග්ගසේන සමාගම

රජගහ පුරැ උග්‍රසේන නම් සිටු පුතෙක් එ නුවර පැමිණ ක්‍රීඩා දක්වන තරුණියක දැක ඇය කෙරේ පිළිබඳ සිතැති විය. මා පියෝ ඔහු අදහස වෙනස් කරන්නට හැකි සෑම උපායම කළෝ ද නො හැකි වූහ, පුතු සනසනු කැමැත්තෝ එ තරුණිය ගේ පියාට දන්වා යවා ඇය සිය පුතුට පාවා දෙන්නට කථා කළහ. සිටු කුමරහු තමන් හා එකතු වැ හැසිරෙතොත් ම සිය දුව දිය හැකි බව තරුණිය ගේ පියා තරයේ කියා සිටියේ ය. උග්ගසේන තෙම සිය ධනස්කන්ධය ද හැර දමා තැන තැන නටා ඇවිදිමින් දිවි රක්නා ඒ නාටක ජනයාට එක් වන්නට කැමැති විය. හේ මා පියන් නො කැමැත්තෙන් නික්ම, නටන ජනයා කරා ගොස් ඇය පාවා ගෙන ඔවුන් හා ගම් නියම් ගම්හි ඇවිද්දේ ය. කලෙකින් හෙ තෙමෙ ඔවුන් ගේ ක්‍රීඩා ද මොනවට උගත්තේ ය. තැනින් තැන ඇවිදුනා එ පිරිස යලි රජගහ නුවරට ආහ. “උග්ගසේන සිටු පුතු ක්‍රීඩා ශිල්ප දක්වතැ”යි අසා නුවර වැස්සෝ එහි රැස් වූහ. උග්ගසේන තෙම හුණ ගසක් මත නැඟී අහසට පැන කරනම් සතක් ගසා බැස හුණ ගසෙහි ම පිහිටා සිටියේ ය. මේ වේලෙහි භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස නුවරට වඩනා සේක. ක්‍රීඩා බලා සිටි පිරිස උග්ගසේනයා නො තකා හැර භාග්‍යවතුන් වහන්සේ දෙස බලා ගත් වණ ම සිටියහ. උග්ගසේන තෙම මහජනයා තමා දෙස නො බලා භාග්‍යවතුන් වහන්සේ දෙස බලා සිටිනු දැක ශිල්ප දැක්වීමෙහි පසුබට වූයේ ය.

භාග්‍යවතුන් වහන්සේ සිටු පුතු ගේ චිත්තාචාරය දුටු සේක. දැක මුගලන් මහතෙරුන් අමතා “මෞද්ගල්‍යායනය, ශිල්ප දක්වන්නට සිටු පුතුට කියන්නැ” යි වදාරා ඔහු වෙත යැවූ සේක. තෙරණුවෝ ද එහි වැඩ ශිල්ප දක්වන්නට කීහ. හෙතෙම “ශාස්තෘන් වහන්සේ මගේ ශිල්ප දක්නා කැමති සේක් වනැ”යි සිතා “එ සේ නම් බැලුව මැනැව වහන්සැ” යි කියා කරණම් ගසා හුණ ගස මත ම සිටියේ ය.

එ විට භාග්‍යවතුන් වහන්සේ උග්ගසේනයා අමතා,

“හුණ ගස මුදුන සිට එයින් අහස් පැන කරණම් ගසන්නහු හුණ ගස පෙර පසු දෙ කොණ ද මැද ද යන තුන් තැන ම අතින් මුදන්නා සේ ස්කන්ධ සන්තතිය ගේ පෙර (ස්කන්ධ) කොටස් කෙරේ ඇල්ම මුදාලව (හැර දමව), පසු (අනාගත ස්කන්ධ) කොටස කෙරේ ඇල්ම ද හරුව. මැද (වර්තමාන ස්කන්ධ) කොටස කෙරේ ඇල්ම ද හරුව. මෙසේ හැම තන්හි ඇල්ම හැර මිදුණු සිතැත්තේ ජාති ජරා මරණයට නො පැමිණේයැ”යි

වදාරා දම් දෙසූ සේක.157

දේශනාවසානයේ දී සුවාසූ දහසක් ප්‍රාණිනට ධර්මාභිසමය විය. සිටුපුත් තෙම එසේ හුණ ගස මතුයෙහි සිටියේ ම සිවුපිළිසිඹියා සහිත රහත් බවට පැමිණියේ, බැස අවුත් පසඟ පිහිටුවා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැවිද්ද අයැදී ය. භාග්‍යවතුන් වහන්සේ ඔහු ඒහිභික්ෂු ප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි කළ සේක.