ප්‍රඥා ප්‍රතිපත්ති

තවද යම් හෙයකින් අන්‍ධකාරය හා සමඟ නො පවත්නා වූ ප්‍රදීපාලෝකයක් මෙන් ප්‍රඥාව මෝහය හා සමග නො පවතීද, එහෙයින් පළමුකොට බෝධිසත්ත්‍වයන් විසින් මෝහයට නිසි කාරණ දුරුකටයුත්තේය. ඒ මෝහයට නිසි කාරණ කවරේද? යත්:- උකටලී බවය- කාරියෙහි පමාබවය- මැලි ඇඹෙන බවය- අලස බවය- ගණසඞ්ගණිකායෙහි ඇලුම් ඇතිබවය- නිද්‍රාශීලී බවය- ඤාණයෙහි නිශ්චය නොකරණ සුලු බවය- කුහුල්බවය- කාමච්ඡන්‍දාදි පඤ්චනීවරණයන් ඇතිබවය- විපරීතාභිමානය- නො පිළිවිසකරණ කථා ඇති බවය- කයට මනාකොට පරිහාර නොකිරීමය- එකඟවූ සිත් නැතිබවය- අප්‍රාඥ පුද්ගලයන් සේවනය කිරීමය- ප්‍රඥාවත් පුද්ගලයන් සේවනය නො කිරීමය- තමාට අවඥා කිරීමය- විපරීත කල්පනාවය- කායදරථ බහුලබවය- විපරීතාභිනිවෙශය- සංවේගශීලී නොවන බවය- සංක්‍ෂෙප හෙයින් යම් යම් අකුශල ධර්ම කෙනෙකුන් සේවනය කරන්නාහට නූපන්නාවූ ප්‍රඥාව නූපදීද, උපන්නාවූ ප්‍රඥාව පිරිහේද, මෙසේ මෙබඳු වූ සම්මෝහයට නිසි කාරණයන් දුරුකරන්නහු විසින් බහුශ්‍රැත වීමෙහිද, ධ්‍යානාදියෙහිද, අභ්‍යාස කටයුත්තේය.

එහි බහුශ්‍රැතවීමෙහි විභාග කවරේද? යත්:- රූපස්කන්‍ධාදී පඤ්චස්කන්‍ධය-චක්‍ෂුරායතනාදිද්වාදශායතනය-චක්‍ෂුධාත්‍වාදි අෂ්ටාදශධාතූය-දුඃඛසත්‍යාදි චතුරාර්යසත්‍යය-චක්‍ෂුරින්‍ද්‍රියාදි ද්වාවිංශතීන්‍ද්‍රිය-ද්වාදශාඞ්ගප්‍රතීත්‍යසමුත්පාදය-කායානුදර්ශනාදි සතරසතිපට්ඨානය-සතරසම්‍යක් ප්‍රධානය-සතර සෘද්ධිපාදය-පඤ්චෙන්‍ද්‍රියය-පඤ්චබලය-සප්තබොධ්‍යඞ්ගය-ආර්යඅෂ්ටාඞ්ගිකමාර්ගය යන සියලු කුශලධර්ම ප්‍රභේදයද, ලෝකයෙහි නිරවද්‍ය වූ යම්කිසි විද්‍යාස්ථාන කෙනෙක් ඇද්ද, සත්ත්‍වයන්ට හිතසැප එළවීමට කාරණවූ අක්‍ෂර, ලිඛිත, ගණිතාදි යම් චතුෂ්ෂෂ්ටිකලා විශේෂයක් ඇද්ද මෙසේ මෙබඳු වූ ප්‍රකාර ඇති සියලුම ශෘතවිශේෂ විෂයැ උපාය කෞශල්‍යය පූර්වඞ්ගමකොට ඇති ප්‍රඥාවෙන් ස්මෘති වීර්යදෙකට උපස්ථම්භකාරණ හෙයින් සකස් කොට ඉගැනීමය, ඇසීමය, දැරීමය, නැවත නැවත අභ්‍යාසකිරීමය, නොදත් තැන් විචාරීමය යන මෙයින් දැන ඉගෙන ඒ තමා උගත් ධර්මාදියෙහි මෙරමාට පිහිට වීමෙන් ශ්‍රැතමය ප්‍රඥාව ඉපදවිය යුත්තේය. තවද ස්කන්‍ධාදිවූ ස්වභාවධර්මයන්ගේ ආකාර කල්පනාකිරීම් මුඛයෙන් ස්කන්‍ධාදීන් නුවණට වටහන්නහු විසින් චින්තාමය ප්‍රඥාව ඉපදවිය යුත්තේය. එම ස්කන්‍ධාදීන්ගේ ස්වභාව ලක්‍ෂණය සාමාන්‍ය ලක්‍ෂණය පිරිසිඳගැනීම් ගැනීම් ලෞකික ප්‍රඥාව උපදවන්නහු විසින් පූර්වභාග භාවනාප්‍රඥාව සමෘද්ධ කටයුත්තේය. මෙසේ කල්හි මේ නාමරූපමාත්‍රයෙක. සුදුසු සුදුසු පරිද්දෙන් ප්‍රත්‍යයෝ උපදනාහුත් නිරුද්ධවන්නාහුත් වෙති. මේ ශරීරය කරන්නාවුත්, කරවන්නාවුත් කිසි කර්තෘවෙක් නැත්තේය. ඇතිව නැතිවන්නා වූ අර්ථයෙන් අනිත්‍යය. උදාවියෙන් පෙළෙන්නා වූ අර්ථයෙන් දුක්ඛය තමා වශයෙහි නො පවත්නා වූ අර්ථයෙන් අනාත්මයයි, අධ්‍යාත්මික බාහ්‍ය රූපධර්මයන් නිරවශේෂ කොට පිරිසිඳ දැන්මෙන් ඒ ශරීරයෙහි ආලය හැර අන්‍යසත්ත්‍වයනුදු ඒ ශරීරයෙහි ආලය හරවා හුදෙක් කරුණා වශයෙන්ම යම්තාක් බුද්ධගුණය හස්තතලයට සම්ප්‍රාප්ත වේද, ඒතාක් ශ්‍රාවක බෝධි ආදිවූ යාන්ත්‍රයෙහි සත්ත්‍වයන් ඇතුළත්කිරීමෙන් හා නුවණ මිහිකිරීමෙහි පිහිටුවමින් ධ්‍යානවිමොක්‍ෂ, සමාධි, සමාපත්තියෙන් වසඟ බවට පමුණුවන්නේය. ප්‍රඥාපාරමිතාවෙහි මස්තකප්‍රාප්ත වන්නේය.