ඒ මහාබෝධිසත්ත්‍වතෙම ප්‍රාණඝාතයෙන් වැලැකි බැවින් සියලු සත්ත්‍වයන්ට අභයදාන දෙන්නේය. නිරායාසයෙන් ම මෛත්‍රිභාවනා වඩන්නේය. “සුඛං සුපති සුඛං පටිබුජ්ඣති” යනාදි එකොළොස් වැදෑරුම් වූ මෛත්‍රියෙහි අනුසස් ලබන්නේය. නිර්ව්‍යාධි වන්නේය, රෝග නැතිවන්නේය, දීර්ඝායුෂ්ක වන්නේය, සැප බහුල කොට ඇතිවන්නේය, මහාපුරුෂ ලක්‍ෂණ හා අසූඅනුව්‍යඤ්ජන ලක්‍ෂණයට පැමිණෙන්නේය, ද්වේෂවාසනාවත් සිඳුනේය.
තවද ඒ මහාබෝධිසත්ත්‍ව තෙමේ අදත්තාදානයෙන් වැළැකි බැවින් සොරුන්, සතුරන්, රජදරුවන්, වේයන්, මීයන්, ගිනි ආදි සියල්ලට අසාධාරණ වූ ප්‍රමාණාතික්‍රාන්ත වූ සම්පත් ලබන්නේය. කිසිසත්ත්‍වකෙනකුන් විසින් සැක නො කටහැක්කේය. සියලුසත්ත්‍වයන්ට ප්‍රියවන්නේය. මනවඩන්නේය. සියල්ලවුන් විසින් විශ්වාස කටයුතු වන්නේය. සම්පත්තියහෙි අලග්න වූ සිත් ඇතිවන්නේය. පරිත්‍යාගශීලී වන්නේය. ලෝභවාසනායෙහි මුල්සිඳුනේය.
අබ්‍රහ්මචරියාවෙන් වැළැකි බැවින් වස්තුවෙහි ලොල් නොවන්නේය, සන්හුන්නාවූ කායප්‍රයෝගය හා මනඃ ප්‍රයොග ඇත්තේය, සියලු සත්ත්‍වයන්ට ප්‍රියවන්නේය, මනවඩන්නේය, සාංකානොකටයුත්තේය. ඔහුගේ සුන්දර වූ කීර්තිඝෝෂය ලෝකයෙහි පැතිර නැඟෙන්නේය, අලග්න වූ සිත් ඇතිවන්නේය. ස්ත්‍රීවිෂයෙහි බලවත් වූ ලෝභසිත් නැතිවන්නේය, නෛෂ්කර්ම්‍ය බහුල කොට ඇත්තේය, මහාපුරුෂලක්‍ෂණ හා අසූඅනුව්‍යඤ්ජන ලක්‍ෂණයට පැමිණෙන්නේය, ලෝභවාසනාවෙහි මුල් සිඳුනේය.
මෘෂාවාදයෙන් වැළැකී බැවින් සියලුසත්ත්‍වයන්ට ප්‍රමාණ වන්නේය. සියලු සත්ත්‍වයන් විසින් ඇදහිලි කටයුතු වන්නේය. ඇදහිලි කටහැකි බස් ඇත්තේය, ගතහැකිබස් කියන්නේය. දෙවියන්ට ප්‍රියවන්නේය, මනවඩන්නේය, සුවඳැති මුඛ ඇති වන්නේය. විශේෂයෙන් රැක්කහැකි වාක්සමාචාර ඇත්තේය. සුප්‍රතිෂ්ඨිත පාදාදි මහාපුරුෂලක්‍ෂණයටද පැමිණෙන්නේය. ක්ලේශවාසනාවෙහි මුල්සිඳුනේය.
කේලමෙන් වැළැකි බැවින් පරොපක්‍රමයෙන් ඡෙද්‍යභෙද්‍යයට පැමිණවිය නොහැක්කා වූ ශරීර ඇතිවන්නේය, කිසි සත්ත්‍වකෙනකුන් විසින් බිඳුවා විසුරුවාපීය නොහැකි පර්ෂත් ඇති වන්නේය, සද්ධර්මයෙහිත් භේදයකට නො පැමිණෙන්නාවූ ඇදහිලි ඇතිවන්නේය, දෘඪසිත් ඇතිවන්නේය, භවාන්තරයෙහිත් පුරුදුවූ සත්ත්‍වයන්ට ඒකාන්තයෙන් ප්‍රියවන්නේය, ක්ලේශ බහුල නොවන්නේය.
පරුෂ වාක්‍යයෙන් වැළැකි බැවින් සියලු සත්ත්‍වයන්ට ප්‍රියවන්නේය, මනවඩන්නේය, සැපවිඳිනාසුලු වන්නේය, මිහිරි තෙපුල් ඇතිවන්නේය, සියලු සත්ත්‍වයන් විසින් සම්භාවනා කටයුතු වන්නේය, අෂ්ටාඞ්ගයෙන් සමන්විත වූ බ්‍රහ්මස්වර ඇති වන්නේය.
සම්ඵප්‍රලාපයෙන් වැළැකි බැවින් සියලු සත්ත්‍වයන්ට ප්‍රිය වන්නේය, මනවඩන්නේය, පාෂාණච්ඡත්‍රයක් මෙන් ගෞරව කටයුත්තේය, සියල්ලවුන් විසින් සම්භාවනා කටයුතු වන්නේය, ගතහැකිබස් ඇතිවන්නේය, පුරුදුවූ බස් ඇතිවන්නේය, මහෙශාක්‍ය වන්නේය, මහානුභාව සම්පන්න වන්නේය, ස්ථානෝචිත ප්‍රඥාවෙන් ප්‍රශ්නවිසර්ජන කරන්ට සමර්ථ වන්නේය, බුද්ධභූමිහෙයිත් එකම වචනයකිාන් නොයෙක් භාෂා ඇති සත්ත්‍වයන්ට නොයෙක් ප්‍රශ්න විසඳන්ට සමර්ථවන්නේය.
ලෝභී නොවන බැවින් කැමැති කැමැති වස්තු ලබන සුලු වන්නේය, උදාරතර වූ සම්පත්තියෙහි අභිප්‍රාය උපදවන්නේය, ක්‍ෂත්‍රියමහාසාරාදීන් විසින් සම්භාවනා කටයුතු වන්නේය, පසමිතුරන් විසින් මැඩපැවැත්ත නොහැක්කේය, චක්‍ෂුරාදි ඉන්‍ද්‍රිය වෛකල්‍යයට නො පැමිණෙන්නේය, තමාට වැඩිතරම් සත්ත්‍වයක්හු නැතිවන්නේය, ද්වේෂසංඥාව නැතිවන්නේය. සියලු සත්ත්‍වයන් විසින් සම්මානකටයුත්තේය, හිතයෙන්ම සතුටුකරවන බැවින් සියලු සත්ත්‍වයන් නිරායාසයෙන්ම පහදවන්නේය, රූක්‍ෂ ස්වභාව නැතිවන්නේය. මෛත්‍රීබ්‍රහ්මවිහාර සම්පත්තියෙන් යුක්ත බෝධිසත්ත්‍වද වන්නේය, මහානුභාව සම්පන්න වන්නේය.
මිථ්‍යාදෘෂ්ටියක් නැති බැවින් සොඳුරු වූ කීර්තිඝෝෂය පවත්නේය, ශීර්ෂච්ඡේදයට පැමිණෙතුදු අකුශලකර්මයක් නොකරන්නේය, කර්මය ස්වභාව කොට ඇති බැවින් ප්‍රථමමාර්ගය ලද්දක්හු මෙන් කෞතුහලමඞ්ගලිකා නොවන්නේය, සද්ධර්මයෙන් ඒ බෝධිසත්ත්‍වයන්ගේ ශ්‍රද්ධාව මුල්බටුවාක් මෙන් මනාව පිහිටන්නේය, සර්වඥවරයන්ගේ සතරආර්යමාර්ගඥාන නැමැති බෝධිය අදහන්නේය, අපවිත්‍ර වූ කසලගොඩක නො ඇලෙන්නාවූ රාජහංසයකු මෙන් දෙසැටදෘෂ්ටිආදි වූ සමයාන්තරයෙහි නො ඇලෙන්නේය, අනිත්‍යාදි ලක්‍ෂණත්‍රය පිරිසිඳ දක්නට සමර්ථ වන්නේය, කෙළවර අනාවරණඥානලාභී වන්නේය, යම්තාක් සම්‍යක් සම්බෝධියට නො පැමිණෙන්නේ නම් ඒ තාක් ඒ ඒ සත්‍වනිකායෙහි උත්කෘෂ්ට උත්කෘෂ්ටව ම උපදනේය. උදාරතර උදාරතරවූම සියලු බුද්ධකාරකයට පැමිණෙන්නේය. මෙසේ මේ ශීලය නම්. සියලු සම්පත්තීන්ට ප්‍රතිෂ්ඨාවන්නේය. සියලු බුද්ධගුණයන්ට උත්පත්තිභූමියක් වන්නේය, සියලු බුද්ධකාරකධර්මයන්ට ප්‍රථම පාදයෙක ද්වාරයෙක, උපායෙකැයි බුහුමන් උපදවා කාය වාක් සංයමයෙහිද, ඉන්‍ද්‍රියදමනයෙහිද, ආජීවසම්පදායෙහිද, ප්‍රත්‍යයපරිභෝගයෙහිද, ස්මෘතිප්‍රඥාබලයෙන් අප්‍රමාදව ලාභය-සත්කාරය-කීර්තිය යන මේ තුන මිත්‍රයක්හු බඳු මුඛ ඇති සතුරක්හු සෙයින් සලකා “කිකීව අණ්ඩං” යනාදි ක්‍රමයෙන් මනා කොට ශීලසමෘද්ධිය කටයුත්තේය.
තවද මේ ශීලය නම්:- තමහට නරකාදි සතර අපායෙහි දුකින් මිදීමෙන් සුගතියෙහි රාජ්‍යසම්පත්තියක් පිණිසත් නො වන්නේය. චක්‍රවර්ති රාජ්‍යශ්‍රීයක් පිණිසත් නො වන්නේය. දිව්‍යසම්පත්තියක්, ශක්‍රසම්පතක්, මාරසම්පතක්, බ්‍රහ්මසම්පතක් ලබන පිණිසත් නො වන්නේය. තමහට ත්‍රිවිද්‍යා-අෂ්ටවිද්‍යා-පඤ්චාභිඥා-පසළොස්චරණ ධර්ම සඞ්ඛ්‍යාත විශේෂධර්මයන්ගේ ලැබීමක් පිණිසත් නොවන්නේය, ප්‍රත්‍යෙක බෝධිඥානය ලබන පිණිසත් නොවන්නේය. වැලි කුමක් පිණිස ද? යත්:- සර්වඥබවට පැමිණීමෙන් සියලු සත්ත්‍වයන් නිරුත්තරවූ ශීලාලඞ්කාරයෙන් සරහනු පිණිස ම යයි. ශීලය සම්‍යක්සම්බෝධියට පිරිනැමිය යුත්තේය.